වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පවස නිවන දිය පොදක් නොවී ඔබ

පවස නිවන දිය පොදක් නොවී ඔබ

පසුගිය සතියෙන්...

අම්මා තාත්තගෙන් ඇහුවා ඒ ළමයගේ දෙමවුපියෝ අකමැති වුණොත් මොකද කරන්නේ කියලා ඔයා ඇහුවද? කියලා. ‘ඔව් මම ඇහැව්වා. එයා කිව්වේ ඒවාට කැමති කරගන්න පුළුවන් කියලා. අපි කැමති නම් ඒ ප්‍රශ්නෙ එයා විසඳ ගන්නම් කිව්වා.

ඒ වෙලාවෙ අම්මා මගේ පැත්තට හැරිලා කිව්වා අනේ මන්දා පොඩි දුවේ, අපිට ඉතින් ඒ ගොල්ලොත් එක්ක පෑහෙන්න තරම් දේපළක් නැහැනේ. කළු ගල්වල ඔළුව හප්පාගත්තාම රිදෙන්නෙ අපේ ඔළුවමයි. ඒ නිසා කගෙන්වත් කතන්දරයක් අහන්න ඉඩ තියන්නෙ නැතිව ගන්න තීරණයක් හොඳට හිතලා බලලා කල්පනා කරලා ගන්න ඕනේ. අම්මා එහෙම කිව්වට ඒ වයසෙදි හිතන්නවත්, බලන්නවත් කල්පනා කරන්න තරම්වත් පැසුණු බුද්ධියකින් නෙමෙයි මම හිටියේ. විවාහය කියන්නෙ ජීවිතේ වෙනස් කරන කඩඉමක් කියලාවත් දැනගෙන හිටියේ නැහැ. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න ඒ දෙන්නගෙ සිතුම්, පැතුම්, උගත්, නූගත් කම් දුප්පත්, පොහොසත් කම්, ආගම්, කුලභේද මේ සේරම සම තත්ත්වයක තියෙන්න ඕන කියලාවත් දැනගෙන හිටියේ නැහැ. රවී තාත්තගෙන් මං ගැන ඇහුවා කියලා කියපු ගමන්ම රවී ගැන දෙගිඩියාවෙන් සැකයෙන් හිටිය මට එයා ගැන ලොකු විස්වාසයක් ඇති වුණා.

සුප්‍රසිද්ධ නළුවෙකුගේ බිරිඳ වෙන්න හීනෙන්වත් හිතලා නොතිබුණු මම ඉරණම විශ්වාස කරන්නෙ ඒ නිසාමයි. අම්මා කිව්ව විදියට හොඳට හිතන්නෙත් නැතිව හොඳට බලන්නෙත් නැතිව කල්පනා කරන්නෙත් නැතිව ආදරය නිසාම විවාහ වෙන්න තීරණය කළත් කතන්දරයක් අහන්න සිද්ධ වුණෙත් නැහැ. හැම වෙලාවෙම ඉරණම මට සැලකුවේ හරිම ආදරණීය විදියටයි.

පවස නිවන දිය බිඳක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ

කියලා ලියලා ඇරපු මම දෙසැරයක් හිතන්නෙ නැතුව ඒ සාගරයෙන්ම දිය බිඳක් සොයා ගන්න තීරණය කළා. ජීවිතය ගැන විශාල අත්දැකීමක්, අවබෝධයක් නැති ළාබාල තරුණියක් වශයෙන් මම දැනගෙන හිටියේ නැහැ ඒ සාගරේ මහ විශාල ගල් පර්වත, ගැඹුරු දියරැලි මුණ ගැහෙන බව. දිය රැලිවලට උස් පහත් වෙවී මේ ආපු ගමනේ නොසැලී ඉඳිමින් ඉතාම යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබුණ ශක්තිය ගැන මට තියෙන්නෙ දරාගන්න බැරි තරම් සතුටක්, ආඩම්බරයක්. ඒ ශක්තිය, ඒ පන්නරය ලබාගන්න උදවු උපකාර කරපු රවීටත් ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කරපු රවීගෙ දෙමවුපියන් ඇතුළු පවුලේ සාමාජිකාවන්ටත් මගේ පවුලේ සියලුම දෙනාටත් මම හිස නමා ආචාර කරනවා.

මතු සම්බන්ධයි

අත්තිකාරම්වලින් අල්මාරියක්