වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK
 

රන්ජා සාර්ථක රන්ජන් නිසා

මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවන්වල තිරගත වන රන්ජා චිත්‍රපටය අති සාර්ථක එකක් බවට පත්ව ඇත්තේ රන්ජන් රාමනායක නම් ප්‍රබල චරිතය නිසාය.
 

වැලිකලගේ සිරිපාල

කීරන්තිඩිය

මතුගම

කාංචනා මෙන්ඩිස්ට

කාංචනා මොකද මේ ලොකු නිහඬ බවක්. පුංචි තිරේ හරි පාළුයි ඔයා නැතුව. ඔයාගේ බබාට විතරක් නෙවෙයි කාංචි ඔයාව අපිටත් ඕනෑ. ඇවිත් යන්න අපිට පෙනෙන්න.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

ස්වර්ණපාලියේ හිමාලි අගයමි

ස්වර්ණපාලි ටෙලි සිතුවම ලස්සනයි. හැමෝම හොඳට රඟපානවා. ඒ අතරින් හිමාලි සිරිවර්ධන ස්වර්ණපාලිගේ චරිතය සිත් ගන්නා ලෙස කරන රංගනය අගය කරමි මම.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

වරාමලී මංජුලා ආදර්ශයක්

වරාමලී ටෙලි නාට්‍යයේ තරුණ මවකගේ චරිතය මංජුලා කුමාරි හරිම අගේට නිරූපණය කරනවා. නැන්දම්මාගේ එරවිලි ගැස්සිලිවලට පුදුම ලෙසට ඉවසීමේ ගුණයක් එම චරිතයෙන් ඉස්මතු වෙනවා. එය වර්තමාන ලේලිලාට හරිම ආදර්ශයක්.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

රනා ඉහළයි

ඒකාකාරී නාට්‍ය නරඹා හෙම්බත් වූ අපට රනා ගෙන එන්නේ ඉහළ රස වින්දනතාවයකි.
 

අතුල රම්‍යසිරි

පානදුර

පුංචි වලව්වේ දුලීකා සිත් ගනී

පුංචි වලව්ව ටෙලි සිතුවම වඩත් විචිත්‍ර වී ඇත්තේ මේඛලා නම් වූ චරිතය නිසාය. එය දුලීකා මාරපන බොහොම දක්ෂ අයුරින් නිරූපණය කර ඇති බැවින් ප්‍රේක්ෂකයාගේ සිත ඇද ගන්නා සුළුය. එනේම වැඩිහිටි ළමා භේදයකින් තොරව රස විඳි හැකි පුංචි වලව්ව සාර්ථක බව මම සඳහන් කරන්නට කැමැත්තෙමි.
 

පාලක සමන් පෙරේරා

හැඳල

කළු අරලියා නාට්‍යය සහ එහි ශිල්පීන් අගය කොට ගල්කිස්ස ඉන්ද්‍රාණි ආරියවංශත් අපට තැපැල්පතක් එවා තිබුණා.

පසුබිම් ගායනයට උරේෂා

චිත්‍රපට පසුබිම් ගායනයට උපන් හපනියක් ඉන්නවා. ඇය තමයි උරේෂා රවිහාරි. උරේෂාගේ මෝහනීය හඬ නිර්මාණයකට ආභරණයක්.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ

ඔබ නැතිව ප්‍රණාමය

පසුගිය හතළිස් තුන්වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි ‘රජත මයුර’ සම්මානය ලැබුණේ ප්‍රසන්න විතානගේ අදියුරුගේ ඔබ නැතුව ඔබ එක්ක හි ප්‍රධාන නිළි අංජලි පාටිල්ටයි. එම සිනමාපටය ඉන්දියාවේ දින පහක් සිනමාහල් 17 ක දර්ශනය වීම ගැන එතුමාට සිනමාලෝලී අපගේ ප්‍රණාමය. මීට ඉහත සිනමා උත්සවයකදී හැර දින පහක් මෙසේ චිත්‍රපටයක ප්‍රදර්ශනය වී නැත.
 

රෝෂිනී ඩිල්රුක්ෂි ගෝමස්

මොරටුව

උද්දිකට වචනයක්

උද්දික අයියේ,

ඔයා කළු අරලියා ටෙලි නාට්‍යයේ කරන රඟපෑම ගැන වර්ණනා කිරීමට වචන එන්නෙත් නැහැ. ඔබට සම්මානයක් ෂුවර්ම ෂුවර්. ඒ තරමටම අනර්ඝයි. ඒ වගේම ඔබ ඔප්පු කළා ඔබට පෙම්වතාගේ පමණක් නොව ඕනෑම චරිතයක් කළ හැකි වග ඔහොම යං, ඔහොම යං.
 

කමලා සෙනෙවිරත්න
හෝකන්දර දකුණ
 

S.M.S

ලංකාවේ කොතරම් ගුවන් විදුලි නාලිකා තිබුණත් ඒවා අතර හිරු මෙන් බැබලෙන්නේ හිරු නාලිකාවයි. එහි දහසය වන උපන් දිනය පසුගිය ජූලි පළමුවනිදාට යෙදී තිබුණි. වසර දහසයක් පුරා අපට බොහෝ සෙයින් ළෙංගතුව සිටි හිරු නාලිකාවේ සදාදරණීය මිතුරු කැල සුදේව, අරවින්ද, ප්‍රසාද්, බුද්ධික, නිදර්ශි, රංග, සමීර, මහේෂ්, මධුශාන්, සාගර, දිස්නා, අයන්ති, නිසලි ඇතුළු හිරු කණ්ඩායමට තවත් චිරාත් කාලයක් හිරු බබලවන්න ලැබේවා යැයි මම පතමි.
 

ලක්මාලි

වරකපොළ

නිපුනිකා හේවාගමගේ නංගියාට,

ඔබ හරිම අවිහිංසක පාටයි. ඒ වගේම ඔබට ගවුම් විලාසිතාව හොඳට ගැළපෙනවා. දිගටම ගවුම් අඳින්න. එමඟින් ඔබේ සරලකම, ගැමිකම ඉස්මතු වෙනවා.
 

ඩී. පී දිලිනි

මාතර

ත්‍රාසයට, භිතියට කුතුහලයට මැදි කොට අපව වෙනම ලොවකට ගෙන යාමට සමත් ටෙලි සිතුවමකි සාරංග මෙන්ඩිස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි. එහි රඟන නළු නිළියන් තම වගකීම හොඳින් ඉටු කරනු දැකිය හැකියි.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

මුතු පලස ටෙලි සිතුවම මඟින් නව පරපුරේ රංගන ශිල්පීන්ට ලබා දෙන්නේ හොඳ පාඩමකි. එය නරඹා වැරැදි කරන අය හැදෙනවා නම් තවත් හොඳයි.
 

හර්ෂ

මාකඳුර

අපේකම දේශීයත්වය ලෝකයට ගෙන ගිය ලයනල් රන්වලයන්ගේ අඩුව මකාලන සහන් රන්වල දක්ෂ නළුවකු ද වශයෙන් කැපී පෙනෙනවා. ඔහු පියාගේ ගීත නොගැයීම නම් අපට ප්‍රහේළිකාවකි. ලයනල් රන්වලගේ ගීත සහන්ගේ හඬින් අහන්න සලස්වනා නම් හරිම අගෙයි.


නිමේෂ්

මාකොල

ආත්මා ලියනගේ ගේ හඬ ඉතාම මියුරුයි. කසුන් කල්හාරගේ හඬ හදවතට දැනෙනවා. ගුණදාස කපුගේ ගේ හඬේ ගැමිකමක් තියෙනවා. සේනානායක වේරළියද්දගේ හඬ සදා තරුණයි. ඒත් අද ඉන්න සමහර ගායකයින්ගේ කටහඬවල් බෙලෙක් වගේ, හරිම අමිහිරියි.
 

කසුන් විජේසිංහ

කොට්ටාව

හඬ කැවීම් ශිල්පිණියක මෙන්ම ගායිකාවක, නිළියක ලෙසින් ද අප හමු වුණ මල්කුමාරි ගීතරාණි දැන් වැඩිය පේන්නවත් නැහැ. ඇය යළිත් කලාවට අවතීර්ණ වෙනවා නම් හොඳයි.
 

ෆාතිමා

වැලිගම

මට හිතෙන පරිදි කලාකරුවන්ට ආචාර්ය පදවි අවශ්‍ය නැහැ. ආචාර්ය පදවි දෙන්න ඕනෑ වෙනත් ක්ෂෙත්‍රවල අයට. කලාකරුන්ට අප අමතන්නේ අයියේ අක්කේ කියලා. ඔවුනට ආචාර්ය පදවි දුන්නම එහෙම අමතන්න අමාරුයි.

එතකොට කලාකරුවන් සහ අප අතර දුරස්ථ බවක් දැනෙනවා.
 

නිමල් ශාන්ත

කටුගස්තොට

මිල්ටන් මල්ලවාරච්චි විරහා ගීත උල්පතයි. ඔහුගේ ගීත නිහඬව විඳින විට වෙනමම ලෝකයක අප තනි වේ.

රටකට එවන් වූ ගායකයන් පහළ වන්නේ ඉතාම කලාතුරකිනි.
 

ලක්මාලි

වරකපොළ

ළඟදි දිනක චිත්‍රපටයක් නරඹන්නට ශාලාවකට ගොස් සිටි අතරතුරදී චිත්‍රපටය ආරම්භයට ප්‍රථම අද හෙට තිරගතවීමට ඇති සුගත් සමරකෝන්ගේ ඇහැළෙපොළ කුමාරිහාමි සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය දුටුවෙමු. එය මගේ නෙත සිත බැඳ ගැනීමට සමත් විය. ඇහැළෙපොළ කුමාරිහාමි සිනමාපටය ඉතාමත් අලංකාර එකක් වේවි යැයි ප්‍රචාරක පටය නැරැඹූ මට සිතිණ.
 

ගිම්හාන

අම්බලන්ගොඩ

මේරියන්ස් නායක නලීන් පෙරේරා සංගීත ලොව බොහෝ දස්කම් දැක් වූ අයෙකි. ඒ වගේම ප්‍රසංග වේදිකවේ ද කාගෙත් සිත් ගත් සුපිරි තරුවකි. නලීන්ගේ මා දකින සුවිශේෂීම ගති ගුණය නම් ගමේ සමාජ සත්කාරක වැඩසටහන්වලදී නිතරම පෙරමුණ ගැනීමය. ඔහුගේ නොසැලෙන ජනප්‍රියත්වයට හේතුව ද එයයි.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

රුවන් ශ්‍රීලාල් දල්පදාතු හෙවත් අපේ පුංචි වෙළෙන්දාටයි මේ කියන්නේ. ඔබ වෛද්‍ය වෘත්තියේ වැඩි වශයෙන් නියැලීම හොඳයි. නමුත් ඔබේ ගීතවලට ළැදි අපේ සාපිපාසාව සංසිඳුවන්නට අලුත් ගීත එකතුවක් ඉදිරිපත් කරන්න.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ