වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි

සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන්‘සරසවිය’ ගෙන එන කතාව

අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි

03 කොටස

ඇහැළේපොළ සිය වලව්වට ගියේ කිසියම් ශෝකජනක හැඟීමෙන් යුක්තවය. රජ මාලිගයේ සිදුවන බොහෝ දේ ගැන ඔහුගේ සිතේ ඇති වී තිබුණේ ප්‍රසන්න හැඟීමක් නොවේ. දවසෙන් දවස තම රාජධානිය පරිහානියට පත් වේ යැයි ඔහුට දුකක් ඇති විණ. මාලිගාවේ මහ නිලමේ හැටියට තමා සතු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම ඔහුගේ අවශ්‍යතාවය විය. එහෙත් ඒ සියල්ලටම බාධා වෙමින් පවතින්නේ රජුගේ නොමනා ක්‍රියා කලාපයයි. කලකට ඉහත ජනහිතකාමී රජකු වුව ද දවසෙන් දවස සුරාවටත් නුරාවටත් ලොල් වන රජුගේ පිළිවෙත නිසා දිනෙන් දින කන්ද උඩරට රාජධානිය පිරිහෙන්නේ යැයි ඇහැළේපොළ සැක කළේය. මාලිගාවෙන් පිටතට විත් සිය වලව්ව කරා ඇහැළේපොළ තම අසු මෙහෙය වූයේ කල්පනා සාගරයක ගිලෙමිනි.

ඔහුට එකම සැනසීම නම් තම ආදරණීය බිරිය සහ දූ දරුවන්ය. රාජකාරියට යන තමා ආපසු එනතුරු කුමාරිහාමි බලා සිටින බැව් ඇහැළේපොළ දැන උන්නේය. බිරින්දෑ ඔහුට වඩා අවුරුදු දාහතකට පමණ බාලය. ඇය කැන්දා ගෙන පැමිණ වෙසක් පෝය දොළහක් ගෙවුණු වග ඇහැළේපොළට සිහි විය. ඇය සිව් දරු මවක වුව ද තවමත් කැන්දාගෙන ආ තරුණ යුවතියම යැයි ඇහැළේපොළට සිතිණි. තම වලව්වට ඈතෙන් දළදා මාලිගාව පෙනෙයි. ඇහැළේපොළ පැමිණි වේගයෙන්ම අසු මිදුලට හැර වූයේය. ඩිංගිරි මැණිකා උන්නේ වැලිපිල්ලේ අකුරු ලියමිනි. ඇයට යන්තම් අවුරුදු හයකි. අප්පච්චිගේ අසු කුර හඬ ඇසුණු සැනෙන් ඇය සිය කටයුත්ත පසෙකලා ඉදිරියට දිව ආවාය.

‘අප්පච්චි එනවා. අප්පච්චි එනවා’

ඒ සමඟ පසු පසෙන් දිව ආ කුමාරිහාමි දැරිය ඉවතට ගත්තාය.

‘හා . . . හා . . . දුවේ , අසුන් ඉදිරිපිටට දුවන්න එපා කියලා අප්පච්චි කියල තියෙනවා නේද’

කුමාරිහාමි උන්නේ පුංචි මැණිකා උකුළෙහි රඳවාගෙනය. ඇයට යන්තම් මාස පහක් ලැබුවා පමණි. ඈ ඉපදුණ කල වේලාපත්කඩය කියවා බැලූ මල්වතු විහාරයේ වැඩහුන් කුංකුනාවේ හාමුදුරුවෝ ඇයට අපල ඇතැයි පවසා ඇස් දෙක මෙන් පරිස්සම් කර ගන්නට යැයි නිලමේට කීහ. ඩිංගිරි මැණිකා අම්මාගේ බහට අවනත වූවාය. අසු පිටෙන් බට

ඇහැළේපොළ ඩිංගිරි මැණිකා වඩාගෙන ගෙට ගියාය. ඇහැලේපොළගේ ලොකු දරුවන් වූ ලොකු බණ්ඩාර හා මද්දුම බණ්ඩාර වලව්වට පැමිණියේ ද ඒ මොහොතේය. ඔවුහු දිවා කාලයේ මල්වතු පන්සලේදී අකුරු කිරීමට යවනු ලැබූහ. කුරුණෑගලට නුදුරු වාරියපොල සිට පැමිණි සුමංගල හාමුදුරුවෝ වියත් පඬිවරයකු ලෙස මහත් කීර්තියට පත්ව සිටියේය. පිරිමි දරුවන් දෙදෙනාට අකුරු කියවන්නට උන් වහන්සේ සිය කැමැත්තෙන් භාර ගත්තේය. උන් වහන්සේ ළඟ දිනපතාම

ළමයි තිස් දෙනකු පමණ අකුරු ඉගෙනීමට පැමිණියහ. ඒ සෑම දරුවෙක්ම ඇහැළේපොළ පවුල මෙන්ම බලසම්පන්න ප්‍රභූවරුන්ගේ දරුවන් විය. හාමුදුරුවන් අකුරු ශාස්ත්‍රය පමණක් නොව සිංහලකම හා බුද්ධාගම පිළිබඳ ද දරුවන්ට කියා දුන්නේය. එමෙන්ම රටෙහි සිදුවන දෑ ගැන උන් වහන්සේගේ සිතෙහි ඇතිවන අප්‍රසන්නභව වරින්වර එළිදරව් වීම වළක්වා ගත නොහැකි කරුණක් විය.

‘ඉංග්‍රීසීන්ගේ මත්පැන්වලට ලොල් වෙච්ච අපේ වඩුග රජ්ජුරුවෝ විතරක් නෙවෙයි, දැන් අපේ සමහර නිලමේ උන්නැහැලත් රහමෙර පානයට හුරු වෙලාලු බොලව්. උඹලා දන්නවද ඒ බව?’

තම පැනයට පිළිතුරක් ඇවැසි නියායෙන් සුමංගල හිමිපාණන් තම සිසුන්ගේ මුහුණ බැලුවේය. එකෙණෙහිම මද්දුම බණ්ඩර නැඟී සිටියේය.

‘අවසර අපේ නායක හාමුදුරුවනේ, අපේ අප්පච්චි නම් තෙලිජ්ජවත් බොන්නේ නැහැ’

සුමංගල හිමිපාණන්ගේ මුවෙහි සිනහවක් නැඟිනි. එහෙත් එය වහා වළක්වා ගත් උන්වහන්සේ,

‘මද්දුම බණ්ඩාර වගේ මෙතන ඉන්න අනිත් පැඟිරන්ටත් තම තමන්ගේ අප්පොච්චිලා ගැන එහෙම කියන්නට ඇහැකිද?’

යනුවෙන් විචාළහ. දරුවන් අත් ඔසවන්නට පටන් ගත්තේය. එහෙත් සිව් දෙනෙක් පමණක් බිම බලා ගත්හ. හිමිපාණන් ඒ දරුවන් වෙතට සමීප වූයේ තමන්ට ආවේණික එහෙත් ගාම්භීර සෙමෙන් ගමනෙනි. අනතුරුව උන් වහන්සේ දයාවෙන් යුතුව එක් එක් දරුවාගේ හිස අත ගෑහ.

‘මුසාවාද නොකියා නිහඬ උන එක බොහොම හරි. උඹලා ගිහිල්ලා උඹලගේ මහ උන්ට කියාපල්ලා මේ විදියට මත්පැන්වලට පුරුදු වුණාම අනාගතේ මේ රට බේබද්දන්ගෙන් පිරිච්ච රටක් වේවි කියලා. දැන් හැංගිලා බොන මත්පැන් අනාගතයේදී ප්‍රසිද්ධියේම බොයි. කඩ වීදිවල ප්‍රසිද්ධියේ මත්පැන් වෙළෙඳාම් කරයි.’

දරුවන් සිව් දෙනාගේ කටහඬ එක්තැන් වූ කළ ඇහැළේපොළ වලව්ව පිරී ගියහ. දරුවන් සිව් දෙනාට අමතරව මවු පාර්ශවයෙන් කුමාරිහාමිට නෑදෑකම් ඇති පුස්සැල්ලේ කුමාරිහාමි ඇගේ දියණිය ද ලැඟුම් ගත්තේ ඇහැළේපොළ වලව්වේය. සේවකයන් සමඟ පවුලේ සියලු දෙනාට පමණක් නොව ඉඳහිට ගොඩ වදින නෑ සිය මිතුරන්ට ද වලව්වේ ඉඩක් තිබුණේය. කවර සේවිකාවක සිටිය ද ආහාර පිළියෙළ කිරීමේදී කුමාරිහාමි ඒ සියල්ල ගැන පිරික්සා බැලුවාය. හිරු බැස යන්නට ඉතිරිව තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි.

‘මොකද දන්නේ නෑ අයියණ්ඩි තවම ප්‍රමාද?’

දොරකඩට ගිය කුමාරිහාමි විපරම් කර බැලුවාය. ඇගේ සොහොයුරා කැප්පෙටිපොළ ඉර බසින්නට කලියෙන් වලව්වට පැමිණෙන වග දන්වා පණිවිඩයක් එවා තිබුණි.

ඇහැළේපොළ මෙන්ම කැප්පෙටිපොළ ද සම වයසේ උන්හ. එමෙන්ම ඔවුහු දිගු කලක් මිත්‍ර සන්ධානයෙන් ද බැඳුණාහ. කැප්පෙටිපොළගේ නැඟණිය කෙරෙහි ඇහැළේපොළගේ සිත ඇඳුණේ තම සඟයා බලන්නට පැමිණි විටෙකය. කැප්පෙටිපොළ අතිශය විරල ගණයේ රණ ශූරයකු බව ඇහැළේපොළ දැන සිටියේය. එබැවින් තම අනාගත සහකාරිය ගැන විමසා සිටිමේදී ඇහැලේපොළ ඒ සඳහා දෙවරක් සිතුවේය. එහෙත් එයටත් පෙර බලසම්පන්න අනාගතයක් ඇතැයි සැලකූ ඇහැළේපොළ පිළිබඳ කැප්පෙටිපොළ මවුපියන්ගේ තිබුණේ බලවත් උනන්දුවකි. කොහොමටත් මහ වාසල මහ නිලමේ ධුරය දැරූ පිළිමතලාවේ බෑණන්ඩිය වූ ඇහැලේපොලට ඉදිරියට යෑමට තිබුණු ඉඩකඩ වැඩි යැයි කැප්පෙටිපොළ දෙමහල්ලෝ අනුමාන කළහ. ඇහැළේපොළට මාලිගාවේ ඉහළ තනතුරක් ලැබුණේ පිළිමතලව්වේගේ පිහිටෙන් යැයි රටතොට කටකතා පැතිර තිබිණි.

බලාපොරොත්තු කඩ වූ මුහුණෙන් යුතුව දොරකඩ සිට ආපසු හැරුණු ඇහැළේපොළ කුමාරිහාමි වහා ආපසු හැරුණේ අසු කුර හඬක් ඇසුණු නියාවෙනි. මොහොතකින් කැප්පෙටිපොළගේ අසු ඇහැළේපොළ වලව්ව ඉදිරිපස නතර විණ. ඇහැළේපොළ දූ දරුවන් ඉදිරියට දිව ගියේ තම මාමණ්ඩියට වැඳ නමස්කාර කර පිළිගන්නටය. එයට පෙර කුමාරිහාමි සිය සොහොයුරාට වැඳ පිළිගත්තාය.

‘රජ්ජුරුවෝ මාව සභාවලට තියා උත්සවයකටවත් කැඳවන්නේ නැහැනේ මස්සිනා’

වලව්ව ඇතුළට යන ගමන් කැප්පෙටිපොළ පැවසුවේ මැසිවිල්ලක ස්වරූපයෙනි.

‘රජ්ජුරුවෝ වඩුගයො වට කරගෙන ඉස්සර වගේ බුද්ධාගමටයි, භික්ෂූන් වහන්සේලාටත් ගෞරවයක් නැහැ වගේ මස්සිනා’

ඇහැළේපොළ කිව්වේ සිය මස්සිනාගේ මුහුණ බලමිනි.

‘රජ්ජුරුවෝ නුවර වැවයි, පත්තිරිප්පුවයි හදපු එක නම් ලොකු දෙයක්. හරිම ලස්සනයි. මම නම් කැමැතියි’

කුමාරිහාමි පැවසුවේ සිය සොහොයුරාගේ සිත සැනසීමට මෙනි. එහෙත් එයට උත්තර දුන්නේ ඇහැළේපොළය.

‘ඒ වුණාට එයා පත්තිරිප්පුවෙත්, ස්ත්‍රීන් වැලඳගෙන මත්පැන් බොනවානේ’

‘ඒ මදිවට ඉන්දියාවෙන් වඩුග නෑයෝ ගෙන්නා ගෙන මාලිගාවේ තනතුරු දෙනවා. අපිව කොන් කරනවා’

කැප්පෙටිපොළ ඒ කතාවට ඌන පූර්ණයක් එක් කළේය. ඇහැළේපොළගේ වැඩිමහල් දරුවන් දෙදෙනා මාමණ්ඩියගේ අතේ එල්ලුණේය.

‘කෝ පුතාලා දෙන්නාට එදා මං කියා දුන්න අංගම් සටන් පහරවල් පුහුණු වුණාද?’

කැප්පෙටිපොළ ඇසුවේය. දරුවන් දෙදෙනාම මාමණ්ඩිය ඉදිරියේ ශිල්ප ක්‍රම පෙන්වන්නට එකඟ විය. කැප්පෙටිපොළ නිතරම තම සොහොයුරියගේ දරුවන්ට ආදරය කළේය. අයිය – මලෝ දෙදෙනාගේ සටන් ක්‍රීඩාව දෙස අම්මා බලාගෙන සිටියේ භීතියෙන් යුතුවය. ඒ අතරවාරයේ කැප්පෙටිපොළ ඇහැළේපොළ වෙත නැඹුරු වූයේ රහසක් කියන්නටය. ඇහැළේපොළ පුදුමයට පත් වන බව ඔහුගේ දෙඇස කියා පෑවේය.

‘මස්සිනාට ආරංචිද? රජ්ජුරුවන්ට විරුද්ධව සබරගමුවේ කලබලයක්ලු’

තවත් කොටසක් ලබන සතියේ


පසුගිය කොටස්

01 කොටස - උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්

02 කොටස - කිළිකුණු ඇති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්