වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හමුදාවට වඩා මම කැමැති සිනමාවට

හමුදාවට වඩා මම කැමැති සිනමාවට

යසස් රත්නායක
හමුදාපති පුතු රංගනයට

* ඔබ කවුද?

යසස් රත්නායක.

* වර්තමාන යුද හමුදාපති දයා රත්නායකයන්ගේ පුතා?

ඔව්. ඒත් මං කැමැති නැහැ එහෙම හඳුන්වනවාට.

* ඒ මොකද?

තාත්තගේ තරුවලින් මට බැබලෙන්න ඕනෑ නැහැ. මං තාත්තාගේ නමින් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නැහැ. ඒකයි එහෙම කිව්වේ.

* යසස් රත්නායක තමයි සිංහල සිනමාවේ අලුත් කතානායකයා. එහෙම කිව්වොත් හරිද?

හප්පේ එච්චර ලොකුවට මාව හඳුන්වන්න එපා. මං තවම සිංහල සිනමාවට පුංචි කෙනෙක්.

* නමුත් ඔබ සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම චිත්‍රපටය වන ආකර්ෂා හී ප්‍රධාන චරිතය රඟපානවා නේද?

ඒක නම් එහෙම තමයි. ඒක ළඟදීම රූගත වෙනවා. එහි කර්නල් වික්‍රමසිංහ කියලා චරිතයක් මම රඟපාන්නේ. පූජා තමයි පෙම්වතිය.

* පළමු චිත්‍රපටයේම පූජා වගේ කෙනෙක් පෙම්වතිය වීම ගැන මොකද හිතෙන්නේ?

ටිකක් ලැජ්ජයි. ඒත් සතුටුයි. පුළුවන් උපරිම සාධාරණය ඉටු කරනවා.

* මොනවද රංගනය සඳහා ඔබට තියෙන සුදුසුකම?

මං ලංකාවේදී ඉංග්‍රිසි වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. 2008 වසරේ වයි. එම්. සී. ඒ. මඟින් සංවිධානය කළා ෂේක්ෂ්පියර් නාට්‍ය තරගාවලියක්. එහි හොඳම නළුවා වුණෙන් මම මුළු ලංකාවෙන්ම. ඊට පසුව මං උසස් අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට ගියා.

* කොහොමද ඔබට ආකර්ෂාව හමුවන්නේ?

සමන් වීරමන් මහතා හරහායි මට සුනෙත් මාලිංග ලොකුහේවා හමු වන්නේ. ඔහු මට පිටපත දීලා චරිතයට කතා කළා. මමත් වැඩේට සෙට් වුණා. මට මීට ප්‍රථම සමන් මහත්මා ඔහුගේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමාපටයේ නන්ද කුමාරයාගේ චරිතයට ඇරැයුම් ලැබුණා. ඒත් කාර්යබහුලකම නිසා මට ඊට දායකවන්න වුණේ නැහැ. ඒත් මේ කාලය හොඳයි. ඒකයි කර්නල් වික්‍රමසිංහ චරිතය භාර ගත්තේ.

* සැබෑ ජීවිතයේදී ඇයි හමුදා නිල ඇඳුමට ප්‍රිය නොකළේ?

මං කොහොමත් සටන්කාමී පුද්ගලයෙක් නෙවෙයි. ඒක නිසා හිතුණේ නැහැ හමුදාවට බැඳෙන්න. ඒත් චිත්‍රපටය වෙනුවෙන් හමුදා නිල ඇඳුම ඇන්දා.

* තාත්තගේ නම පාවිච්චි කරලා බේරුණු අවස්ථා මොනවද තියෙන්නේ?

කවදාවත් මං තාත්තගේ නම පාවිච්චි කරලා අයුතු ප්‍රයෝජනයක් අරගෙන නැහැ. පාසල් කාලේ එක පාරක් මං හෙල්මට් නැතුව ගිහින් පොලීසියට අහු වුණා. එදා මට අවවාද කරලා මුදා හැරියා. එවලේවත් මං තාත්තගේ නම පාවිච්චි කළේ නැහැ බේරෙන්න.

* සාමාන්‍යයෙන් ඔබ චණ්ඩි වැඩ කරලම නැද්ද?

මම සාමාන්‍යයෙන් නිවුණු කෙනෙක්. ඒ වගේම භාවනා කරන්නත් මං ආසයි. මං ආරණ්‍යවලට ගිහින් මාස ගණන් ඉඳලා තියෙනවා.

* ඉදිරියේදී දිගටම භාවනාවේ නියැලෙයිද?

තවම තීරණයක් නැහැ. හැබැයි මට කලාවෙන් ඉදිරියටම යන්න හිතක් තියෙනවා. බලමු. ආකර්ෂා චිත්‍රපටයෙන් පසුව ඒ හැම දෙයක්ම තීරණය වේවි.

* එත් මට දැනගන්නට ලැබුණා ඔබ අධ්‍යක්ෂණයටත් පිවිසෙන්න සූදානමක් තියෙනවා කියලා?

ඔව්. මං කරනවා නම් කරන්නේ අමෙරිකාවේ තාක්ෂණයයි ලංකාවේ ශිල්පීනුයි දාලා වෙනස්ම සිනමාපටයක්. කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.

* පොඩි කාලේ ඉඳලා ඔබ නීත්‍යනුකුල පරිසරයක හැදෙන්න ඇති?

හරියට හරි. අපේ ගෙදර හමුදා නීතිය තිබුණා. ඒක නිසා මං නීට් එකට වැඩ කරන්න පුරුදු වුණා. කිසිදු අයහපත් වැඩකට යොමු වෙන්න තිබුණු ඉඩකඩ වැලකුණා. අදටත් මගේ කාමරය පොඩ්ඩක් හරි හැඩිවෙලා තිබුණොත් තාත්තා කෑගහනවා.

* මේ වෙන කොට සිංහල සිනමාවට ඇල්මක් ඇති වෙලාද තියෙන්නේ?

බොරු කියන්න ඕන නැහැනේ, ලංකාවේ සිනමාව ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ලංකාවේ චිත්‍රපවලට වඩා හොලිවුඩ් චිත්‍රපටයි මං බලලා තියෙන්නේ. ඒ වුණත් මේක මගේ රට. සිංහලකම මගේ ලේවල තියෙනවා. ඒකයි මම කිව්වේ කවදා හරි මේ රට වෙනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියාලා.

* ඔබේ පියා ඔබ කලා කටයුතුවල නියැලෙනවාට කැමැතිද?

ඔව්. ඔහු මට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා.

* ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුත් සඳහන් කරමු?

මං ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. මගේ උපන් දිනය 1988. 05. 04 වැනිදා. මට මල්ලියෙකුයි නංගියෙකුයි ඉන්නවා. ඒ ඇති නේද?

* මේ වන විට ආකර්ෂාට අතරව තවත් සිනමාපට හෝ වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවාද?

චිත්‍රපට දෙක තුනකට කතා කළා. තවම කන්ෆෝම් නැහැ. ටෙලි නාට්‍ය ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒත් හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.