වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අහස් ගව්ව ළඟ හතලිස් වසරක්

අහස් ගව්ව ළඟ හතලිස් වසරක්

මේ ලිපිය ලියන්නට මා සූදනම් වූයේ ගිය බ්‍රහස්පතින්දා එනම් 24 වැනි දින පත්තරයටය. එහෙත් මේ එය ඔබට කියවන්නට ලැබෙනුයේ එයින් සතියක් ගෙවුණ තැනය.එයට හේතුව මෙරට සිනමාවේ උපත අවුරුදු විසි ගණනකින් තිරිහන් කිරීමේ වෑයමට විරුද්ධව මා විසින් ලියන ලද ලිපිය දීර්ඝ වීම ය. එබැවින් මේ ලිපිය ඔබ අතට පත්වනුයේ නියමිත දිනට වඩා සතියක් ප්‍රමාදවය. නියමිත පරිදි ජනවාරි 23 වැනි දින මෙම පිටුවෙහි පළවිය යුතුව තිබුණේ මේ ලිපියයි. අහස් ගව්ව චිත්‍රපටයට හතලිස් වසරක් පිරීමේ සංවත්සරය යෙදුනේ 24දා බැවිනි. අහස් ගව්ව මුල්වරට තිර ගත වූයේ 1974 ජනවාරි 24 වැනි දින මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේය. එදින එහි ප්‍රධාන අමුත්තා වූයේ රැකියා විරහිත තරුණයෙකුවීම විශේෂයකි. අහස් ගව්ව මුල් වටයේ තිර ගත වද්දී කුඩා දරුවෙකු ව සිටි මට එය මුල් වරට නරඹන්නට ලැබෙනුයේ එයින් වසර හතකට පසුවය. ඒ 1981 වසරේ මැයි මාසයේය. ඒ එය මුල් වරට ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වන විටය.පුළුල් සිනමාහලක එය මට නරඹන්නට ලැබෙනුයේ එයින් තවත් වසර ගණනාවකට පසුවය.

ලාංකික සිනමා ඉතිහාසයේ පිරික්සීමේ දී 1956 වසරේ රේඛාව චිත්‍රපටය බිහි වීම අතිශය වැදගත් මං සළකුණකි. එයින් පසු අපේ සිනමා ඉතිහාසයේ වැදගත් මංසළකුණක් වනුයේ අහස් ගව්ව බිහි වීමය. රේඛාව බිහි වන විට මෙරට සිනමාව මුළුමනින්ම දකුණු ඉන්දියානු සිනමාවේ ආභාෂය ලබමින් වැඩුණු යුගයක් විය. අහස් ගව්ව බිහි වනුයේ එයින් වසර 18 කට පසුවය. ඒ වන විට මෙරට සාමාජිය ආකල්ප වලින් ද වෙනස් යුගයක් ව බිහි ව තිබිණ. අහස් ගව්ව බිහි වන විට චිත්‍රපට නිර්මාණය සඳහා මෙරට දායක ව සිටි අවසන් ඉන්දියානුවා ද නික්ම ගොසිනි.නිදහස ලබා වසර අවුරුදු විසි හයක් ගත ව තිබිණ. මෙරට පූර්ණ ස්වාධින ජනරජයක් වී මෙන් ද වසරකට වඩා කල් ගත ව තිබිණ. එමෙන්ම ඒ වන විට මෙරට සිනමාව සියයට සියයක්ම ලාංකික ව තිබිණ. චිත්‍රපට පිළිබඳ පූර්ණ බලාධිකාරිය සඳහා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ද පිහිටුවා ගෙන තිබිණ. අහස් ගව්ව ප්‍රදර්ශණය සඳහා සංස්ථාව සෘජු මැදිහත් වූ බව ද කියැවේ.

අහස් ගව්ව නිර්මාණය කරන පරම්පරාව ඉතිහාසයේ එයට පෙර පරම්පරාවට වඩා ජීවන ගැටලු වලට මැදිහත් ව සිටියේය. ඔවුන් බහුතරය නිදහස් අධ්‍යාපනයේ විපුල ඵල නෙලූ පරම්පරාවකි.එයින් කොටසක් ස්වභාෂාවෙන් පමණක් අධ්‍යාපනය ලද්දාහුය. ඒ පරම්පරාව අහස් ගව්ව බිහි වන්නට පෙරාතුව කැරැල්ලකට ද දායකව අමිහිරි අත්දැකීම් ලැබ සිටියහ. සම්ප්‍රදාය ජීවිතයෙන් වියුක්ත කරන්නට හේතුපාදක වන බොහෝ කරුණු කාරණා ඔවුන්ගේ පරම්පරාව සතු විය.

අහස් ගව්ව ට පාදක වනුයේ නන්නත්තාර යෞවනය පිළිබඳ කතාන්තරයකි.එහි සිටින දෙමිතුරන්ට රැකියා නැත. ජීවිතය පිළිබඳ බලාපොරොත්තු එමටය.එහෙත් එය යථාර්ථයක් බවට පත් කරන්නට නම් මුදල් අවශ්‍යය.අද පරම්පරාව සමග වෙනස්කම නම් එදා ඔවුන්ට අද මෙන් ජංගම දුරකතන බිල ගෙවීමේ අවශ්‍යතාවක් නොවීමය. අහස් ගව්වට නිශ්චිත කතාවක් නොවීය. එය සිදුවීම් මාලාවකි. එහෙත් එහි චරිත විය.ඒ චරිත සිදුවීම් සමග බද්ධ වන්නේය. ඒ සිදුවීම් බොහෝ යෞවනයන්ට පොදු වන්නේය. සමහරු එය අතික්‍රමණය කරමින් ජීවිතයට මුහුණ දීම වෙනම කතාවකි. ඇත්ත නම් අහස් ගව්ව ට පාදක වනුයේ දළු එන එහෙත් මුල් නැති පරම්පරාවක් ගැනය.

ධර්මසේන පතිරාජයන් සිනමාවට එක්වනුයේ සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කතාව හරහාය .ඔහු එහි සම තිර නාටක රචකයා විය.හන්තානේ කතාව චිත්‍රපටයේ එන විශ්ව විද්‍යාල ජීවිතය මනා ලෙස ගොඩ නගන්නට සුගතපාල සෙනරත් යාපා ට මහත් අත්වැලක් වූවන්ගෙන් පතිරාජ ද කෙනෙකි. අහස් ගව්ව පතිරාජ යන්ගේ මුල්ම වෘතාන්තයයි. එය නිෂ්පාදනය කරන ලද්දේ පතිරාජයන්ගේම සමකාලින පාසල් සගයෙක් වූ මිත්‍රරත්න හේරත්ය. අහස් ගව්වට පෙරාතුව පතිරාජයන් සතුරෝ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.

අහස් ගව්ව සිනමා කෘතිය මෙරට බිහිවීම ඕපපාතික උත්පත්තියක් නොවන්නේය. හැටේ දශකයෙන් ඇරඹි ලොව පුරා තරුණ සිනමා කරුවන්ගේ චිත්‍රපට රැල්ලක් එදවස දකින්ට ලැබිණ. ඔවුන් සම්ප්‍රදායික සිනමාව සමග ආකල්ප සහ දේශපාලන වශයෙන් ද ගැටිණ. සම්ප්‍රදායික ජනප්‍රිය සිනමාව පිළිබඳ නිර්දය විවේචකයන් වූ ඔවුන් එයට පෙර ගොඩ නැගුණ සම්භාව්‍ය සිනමා කෘතින් ගේ මිනුම් දඬු ද පිටු දැක්කාහ. මේ සිනමා රුල්ල පුරා හඹා ගිය ආකල්පය වනුයේ සමකාලින තරුණ ආකල්ප හා ජීවිතය පැවැති සිනමාව මඟින් හෙළි දරව් නොවන බවය. අද මෙන් සිනමා භාවිතය තරුණයන් අත පෑන් පැන්සල් ගානට වැටුනේ නම් එකල සිය ජීවිත අත්දැකීම් විදහා ලන සිනමාකරුවන් බහුල වන්නට ඉඩ තිබිණ. සිනමාව නැතිනම් රූපයෙන් කතා කියන්නට අද මෙන් එදවස පහසු වූයේ නැත. එහෙත් සිනමා මානයෙන්ගේන් ඔද වැඩුණ ඇතැම් ගැටවරයන් සමාජ යථාර්ථයන් ගවේෂණයට රූපය උපයෝගී කර ගෙන සිය ආත්ම කථනය සඳහා රූපය භාවිතා කළහ. මේ රැල්ල සිනමාවේ පමනක් නොව ගීතයේ ද නාට්‍යයේ ද සාහිත්‍යයේ ද පොදුවේ දේශපාලනයේ දී දැක ගත හැකි විය.

එය ලොව පුරා බොහෝ සිනමාකරුවන් ගේ චිත්‍රපට වල දැක ගත හැකි විය. කොටින්ම අමෙරිකානු සිනමාව ආතර් පෙන් වැනි සිනමාකරුවන් බිහි කරන ලද්දේ මේ ගැටවර සිනමාවේ හොලිවුඩ් ලකුණ ඉස්මතු කරවමිනි. තම ගැටළු වලින් මිදී චිත්‍රපටකරණයෙහි යෙදෙන්නේය යන චෝදනාවෙන් මිදෙනු වස් සත්‍යජිත් රායි එතෙක් තමන් ගේ පැවැති සිනමා ශෛලිය පසෙකලා ප්‍රතිද්වන්දි, සීමාබද්ධ සහ ජන ආරණ්‍යය යන චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කරන ලද්දේ කල්කටාවේ රැකියා වියුක්තිය පාදක කර ගෙනය.එමෙන්ම මේ යුගය බොහෝ රටවල තරුණ නැගී සිටීම් පිළිබිඹු කළ අතර එය චෙකොස්ලෝවැකියාව වැනි එවකට සමාජවාදී කඳවුරේ රටවලට පවා පොදු ලක්ෂණයක් විය. ඇතැම් දේශපාලන කැරළි පසුපස තරුණ සිනමා කරුවන් සිටි වග ජාත්‍යන්තරයේ නොරහසක් විය. මේ අරගලය වරක් කාන් සිනමා උළෙල පවා රත් කරන්නට හේතු වූයේය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක් වන ධර්මසේන පතිරාජයන් සමකාලින සම්භාවනීය වියතුන් ඇසුරු කළේය. සමකාලින ලෝකයේ සිනමාවෙන් පෝෂණය ලැබුවේය.

හැටේ දශකයේ අගබාගය වන විටත් අපේ රටේ තරුණ සිනමාකරුවන් පිරිසක් සමකාලින සමාජ ගැටළු සිනමාවට නැගීමට උත්සුක වෙමින් සිටියහ. හන්තානේ කතාව,මොකද වුනේ,සිහින ලොවක්, වෙස් ගත්තෝ, වැනි චිත්‍රපට අහස් ගව්වට පෙරාතුව බිහි වූ චිත්‍රපට විය. එපමනක් නොව සාම්ප්‍රදායික සිනමා රැල්ලේ බිහි වූ නමුදු නීල් රූපසිංහගේ දැන් මතකද සහ හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපට අයත් වනුයේ ද එබඳු නාගරික රැකියා විරහිත තරුණ පරම්පරාව පාදක කර ගෙනය.

එහෙත් පතිරාජයන් සිය සමකාලින සිනමා කරුවන් අතික්‍රමණය කරමින් අහස් ගව්ව නිර්මාණය කරනුයේ සම්මත සිනමා රීති පවා බිඳ හෙළමිනි. සිනමා සම්ප්‍රදායන් බිඳීය හැක්කේ එය වඩාත් දැනුවත් කෙනෙකුට පමණී. අහස් ගව්ව සම්මතය පුපුරුවා හැරීම කිසි විටෙකත් විලමිබීතයක් හෝ ආධුනික උත්සාහයක් නොවන්නේ එහෙයිනි. පතිරාජයන් ම පසු කලක පවසන පරිද්දෙන් අහස් ගව්ව තනන විට ඔහු ලෝකය හමුවේ හුදකලාවූවෙකු නොවීය. ඔහු සිනමාවේ පමනක් නොව සමකාලින ලෝක දේශපාලනයේ ද අත්දැකීම් බහුල තරුණයෙකු බවට පත් ව සිටියේය. අහස් ගව්වේ දී පතිරාජයන් ගේ සිනමා භාවිතය වඩා වැදගත් වනුයේ එහි එන නිර්ව්‍යාජ අත්දැකීම සමඟය. එය බොහෝ තරුණයන් ගේ ජීවිත සමග සසඳා කථා කළ හැකි මට්ටමේ විය. බොහෝ විට සිනමා කරුවෙකුගේ මුල් නිර්මාණයේ පමණක් දකින අව්‍යාජ ලක්ෂණ ඉතා ඉහලින් අහස් ගව්ව නිදසුන් කොට පෙන්වා දුන්නේය.

ධර්මසේන පතිරාජ ගේ සිනමාව ගැටවරයන්ගේ වීරයෙක් ලෙස අබිසෙස් නගනුයේ අහස් ගව්ව සමගය. එහෙත් අහස් ගව්ව එකවර ග්‍රහණය කර ගන්නට සමකාලින තරුණ ප්‍රේක්ෂකයන් අපොහොසත් විය.පසුගිය දශකය ඇතුළත මේ චිත්‍රපටය නව පරම්පරාවකට දැක ගැනීමට අවස්ථාව ලැබුණේ අඩුවෙනි. අද සිනමාව හදාරණ බොහෝ ගැටවරයන්ට අහස් ගව්ව ගැන අසා ඇති නමුදු එය අධ්‍යයනය කරන්නට ඉඩ ලැබී ඇත්තේ මද වශයෙනි. සිනමාව සිය ආගම කර ගන්නා වර්තමාන තරුණ පරම්පරාවට ඔවුන්ගේ අත්දැකීම් රූපය හරහා කියන්නට පමනක් නොව ඒ පිලිබඳ අධ්‍යයනයක යෙදෙන්නට අද ඇති පහසුකම් එදාට වඩා සාපේක්ෂව පුළුල්ය. සම්ප්‍රදායික සිනමා ශාලා ජාලය නොතකා හරින්නේ නම් ඔවුන්ගේ නිර්මාණ එයටත් වඩා පුළුල් ලෙස වාණිජ අරමුණින් තොරව ප්‍රේක්ෂකයා වෙත මුදා හරින්නට ඇති ඉඩ කඩ ද එදාට වඩා සාපේක්ෂව ගත් කළ විශාලය.

එහෙත් අහස් ගව්ව බිහි වන සමය වනවිට පතිරාජ වැන්නන්ට එබඳු මාවතක් නොවිණ.එබැවින් එය දුෂ්කර ව්‍යායාමක් විය. එම යුගයේ තරුණ පරම්පරාවට ජාත්‍යන්තර සිනමා උත්සව සඳහා චිත්‍රපට ගෙන යෑමේ අවස්ථාවන් ද අද මෙන් සුලබ නොවිණ. පතිරාජ ගේ අහස් ගව්වේ ඇති නිර්ව්‍යාජත්වයත් අභියෝගාත්මක ප්‍රකාශනයත් අදටද වළංගු වන්නේය එය අලුත් පරම්පරාවකට ආදර්ශයක් වන්නේය. එය සැබැවින්ම සිනමාකරුවකුගේ අවංක ආත්ම ප්‍රකාශණයක් වන්නේය. සම්ප්‍රදායික සිනමාව ඔහු උඩු යටිකරු කරන්නේ සිනමාවේ චිරාගත සම්ප්‍රදායන් පසෙකලා එයට භද්‍ර යෞවනය හා සමාජ ජන ජීවිතය එක් කරලමිනි. අහස් ගව්ව පරම්පරාවකට ආශ්වාදයක් ගෙන දුන්නා සේම තවත් පරම්පරාවකට ගුරු කොට ගත හැකි වන්නේය. එහි ලා අත්දැකීම අතිශය නිර්ව්‍යාජය. ඔහු සිනමාව ගෙන එන විලාසය එතෙක් අප සිනමාවේ කිසිවකුට වස්තු විෂයය නොවීය. එයට හේතුව පතිරාජයන් නියෝජනය කළ සිනමාව ඔහුගේ පරම්පරාවේ සංකේතය බඳු වීමය. එය වඩා ප්‍රඥාගෝචර වනුයේ ද එහි අත්දැකීම විඳ ඇත්තෙකුටය. එහි ජීවත් වූ සියළු නළු නිළියන් ඇතුළු කාර්මික ශිල්පින් ඇතුළු බහුතරය එකල තරුණයන්ය.අහස් ගව්ව පුරා ඇත්තේ තරුණයන්ගේ උණුසුමයි. එය අදටත් ආශ්වාද ජනක වන්නේ ඒ උණුසුම නිර්ව්‍යාජ බැවිනි.

එබැවින් කඳුළක් සුසුමක් හදින් ගලන තෙක් එකමුතු වී අපි ඉමු මිතුරෝ.

එන්න මගේ පිය මිතුරෝ