වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඛාන්ලා තිදෙනා පක්ෂ තුනක

ඛාන්ලා තිදෙනා පක්ෂ තුනක

කොංග්‍රස් ෂාරුක්ගේ හිස මතට දොරක් වැටිලා

 

ෂාරුක්ගේ හිස මතට කඩා වැටුණේ දොරක් වුවත් ඒ ආරංචිය රසිකයන්ගේ හිස්වලට නම් හෙන පහරක් හා සමානය. සිය සිනමා පුරවරයේ සුපිරි වීරයා ෂාරුක් ඛාන්ට ‘සුබ නව වසරක්’ (හැපි නිව් ඉයර්) රූගත කිරීම සුබ වූයේ නැත. දර්ශන තලයේදී දොරක් වැටීමෙන් ඔහුගේ හිසට සුළු තුවාල සිදු වූ බවට ආරංචි ලැබුණත් සත්‍ය එය නෙවෙයි. සති දෙක තුනක් ඇඳ විවේකය ගැනීමට තරම් ඔහුගේ තුවාල දරුණුය.

අනතුර සිදු වූ වහාම ඔහු ඥානවතී රෝහලට ඇතුළත් කර තිබේ. පරීක්ෂණ කර, ඖෂධ නියමකර ෂාරුක්ට රෝහලෙන් යාමට අවසර දී ඇතත් පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල ලැබුණු පසු සිතූ තරම් තත්ත්වය සුළු නැති බව හෙළි වී තිබේ.

ෂාරුක් ඛාන්ගේ දකුණු උරහිසේ සහ වම් දණහිසේ බරපතළ තුවාල කිහිපයක්ම දක්නට ඇත. යළිත් ඔහුට මේ නිසා පරික්ෂණ ගණනාවකට මුහුණ පෑමට සිදු වී තිබේ. ඔහුගේ උරහිස් අස්ථිය පුපුරා ඇත. දණහිස් අස්ථිය ද බිඳී ගොස් තිබේ. සැබෑ වෘත්තීය නළුවකු ලෙස අනතුරින් පසු දර්ශන තලයට පැමිණියත් අධ්‍යක්ෂ ෆාරන් ඛාන් ඇතුළු කණ්ඩායම සිය සගයා වෙනුවෙන් රූගත කිරීම් අවලංගු කර තිබේ.

‘තුවාලවලින් සුවය ලැබුණත් කැළැල් කිහිපයක් ඉතිරි වේවි. එහෙත් සිතේ සතුටේ නම් කැළැල් නැහැ’ ඔහු අනතුරින් පසු ට්විටර් වෙබ් අඩවියට ලියා දැන්වීය. ඉතා බර අඩි 10ඔ5 දොර වැටෙන විට ෂාරුක් රංගනයෙහි යෙදෙමින් සිට ඇත්තේ අභිෂේක් බච්චන් හා දීපිකා පදුකෝන් සමඟයි. කෙළින්ම දොර ෂාරුක් මතට කඩා වැටී තිබේ. මේ හදිසියේම කඩා පාත්වන අජීවි දුෂ්ටයාගෙන් සම්පූර්ණයෙන්ම ගැලවීමට ෂාරුක්ට ඉඩක් නොලැබුණේය. දොර වැදී ඔහුගේ නළලේ දකුණු පසින් රුධිරය ගලන්නට ගත්තේය.

කිහිපවරක්ම සැත්කමකට ලක්කර ඇති දකුණු උරහිසට අනතුර සිදුවීම ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම හා සමානය. නිරන්තරයෙන්ම සැත්කම්වලට ලක්වීමේ දෛවයක් ෂාරුක්ට උරුමය.

සිද්ධියෙන් පසු මුළු සිනමා කණ්ඩායමම ඔහු සමඟ රෝහලට ගොස් තිබේ. සී ටී ස්කෑන්, එම් ආර් අයි ස්කෑන් ආදී පරීක්ෂණ කෙරෙන තුරුම පැය හතරකට වැඩි කාලයක් ඔවුන් ඔහු සමඟ ගතකර ඇත.

ෂාරුක්ගේ මේ අනතුර කොංග්‍රස් පක්ෂයේ ද සිත රිදවන කරුණකි. ඔහු පක්ෂයේ ප්‍රවර්ධන කටයුතුවලට නිරන්තරයෙන්ම දායක වන්නෙකි. බොලිවුඩයේ ඛාන් රජුන් ත්‍රිත්වය දේශපාලනයේදී දරන්නේ පරස්පර මතයි. ෂාරුක් කොංග්‍රස් පාක්ෂිකයකු වුවත්, අමීර් සහ සල්මන්ගේ දේශපාලන මත ඊට හාත්පසින්ම වෙනස්ය.

2014 වසරේ නත්තලට තිරගතවීමට නියමිත අමීර්ගේ ‘පී කේ’ සිනමාපටය ද දේශපාලන සිනමාපටයකි.

ජාතික මහජන ඒකාබද්ධ ක්‍රියාකාරී සංගමයේ සහ නමදා බචාවෝ ආන්දෝලන් කමිටුවේ නායිකා මේධා පත්කර්ට අමීර් 2006 වසරේදී සහයෝගය ලබා දුන් අතර එනිසාම ඔහු රැඟූ ‘ෆනා’ (2006) සිනමාපටය අර්ධ වශයෙන් තහනමකට ද ලක්විය.

එහෙත් අගමැති මන්මෝහන් සිං ඕනෑම කෙනකුට නිදහසේ හැඟීම් ප්‍රකාශ කිරීමට අවසර ඇති බව පවසා තහනම ඉවත් කළේය. පසුව අමීර් අන්නා හසාරේගේ ජන්ලෝක්පල් බිල් ක්‍රියාකාරිත්වයට ද සහයෝගය ලබා දුන්නේය. දැන් ඔහු ප්‍රසිද්ධියේම සහයෝගය ලබා දෙන්නේ ‘ආම් ආද්මි’ පක්ෂයටයි.

සල්මන් ඛාන් දේශපාලනයෙන් තරමක් දුරස් වී සිටීමට කැමැති අයෙකි. ‘ජායි හෝ’ සිනමාපටයේ ගීතය, දේශපාලනයට යොදා ගැනීමෙන් වළකින ලෙස සල්මන් ඛාන් ආම් ආද්මි පක්ෂයෙන් ඉල්ලීමක් කර තිබේ. ‘ජායි හෝ’ සිනමාපටයේ නිෂ්පාදිකා එක්තාර් කපූර් පවසන්නේ දේශපාලනයට ඔහු අවංක වැඩි බවයි. එහෙත් සල්මන් ද මුළුමනින්ම දේශපාලනයෙන් දුරස් වී නැත.

මෑතකදී ඔහු මෝඩි සමඟ සරුංගල් යැවූ අතර පසුව නරඹන්නන්ට කියා සිටියේ ‘ඔබ මෝඩි මහතාට ඡන්දය දෙන්න. මං ඉන්නේ මූම්බායිවල බන්ද්‍රවාල. එහි සිට බාබා සිදීක්ට සහ ප්‍රියා දත්ට ඡන්දය දෙන්නම් කියායි.’