වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඌ මට ගැහුවා මට ඌ ගැහුවා

ඌ මට ගැහුවා මට ඌ ගැහුවා

බර්ටි ගුණතිලක

කුඩා කල පටන් ඉතා සරල දිවි පෙවතක් ගත කළ මා පොදු ජනතාව සමඟ ජීවත්වීමේදී ඇසෙන දකින දේ ඇසුරින් වේදිකාව, රූපවාහිනිය, ගුවන් විදුලිය දෙවනත් කිරීමට තරම් අපූරු හාස්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමට උත්සුක වීමි. ප්‍රතිභාපූර්ණ විකට රංගධරයකු වීමට නිතර සමාජය සමඟ සමීප සබඳතාවක් පවත්වා ගනිමින් සමාජයේ සියුම් දේ ක්ෂණිකව අවබෝධ කරගනිමින් සමාජයේ බාල, තරුණ, මහලු කාගේත් සිත් සතන් ප්‍රබෝධමත් කිරීම සුළු පටු කටයුත්තක් නොවන බව ද මම හොඳාකාරව අවබෝධ කොට සිටියෙමි. එදා මා සමාජය තුළින් උකහාගෙන ඉදිරිපත් කළ උපහාසාත්මක අපූරු නිර්මාණ දශක කිහිපයක් ගෙවා ඇතත් අදත් ඒවා එලෙසින් සමාජයේ මුල් බැස ඇත.

එදා ප්‍රථම වතාවට ‘විනෝද සමය’ වැඩසටහන මඟින් මා ඉදිරිපත් කළ ‘ඌ මට ගැහුවා මට ඌ ගැහුවා’ කියමන අදත් සමාජයේ කොයි කා අතරත් ප්‍රකට කියමනකි. සාමාන්‍ය රසිකයන් අතර පමණක් නොව රටේ ප්‍රබල දේශපාලනඥයන් පවා මා එදා කියූ මේ කියමන උපහැරණ ලෙස දක්වමින් කතා කළ අවස්ථා එමටය. මේ කියමන මා සොයාගනු ලැබුවේ සමාජය තුළින්මය. මා වැඩිපුරම විහිළු නිර්මාණය කරනු ලැබුවේද සමාජය තුළින්මය. මේ කියමන මා සොයාගත් කතාවද හරිම අපූරුය.

දවසක් මමත්, ඇනස්ලි ඩයසුත් විනෝදාත්මක වැඩසටහනක් අවසන්කොට නිවස බලා යාමට ගුවන් විදුලිය ළඟින් 154 මාර්ග අංකය දරන කිරිබත්ගොඩ බස් රථයට ගොඩ වුණා. තරමක් සෙනඟ හිටිය මේ බස් එකේ මැද හරියේ හිස් ආසනයක වාඩිවුණු අපි දෙන්නා පොඩි පහේ කතාවක් දාගෙන යනවා. ඔය අතරේ දෙමටගොඩ දී තරමක් හැඩි දැඩි මිනිහෙක් ඇගේ හැමතැනම පච්ච කොටාගෙන අත් නැති දැල් බැනියමක් කලිසන් කොටයක් ඇඳලා බස් රියට ගොඩ වුණා. ඒ පුද්ගලයා බස් එකේ පිටිපස්සේ කෙළවරට ගිහින් හිටගත්තා. ඒවන විටත් බස් රථයේ ආසන තිබුණා. එහෙත් මේ පුද්ගලයා වාඩිවෙන පාටක් නැහැ. වාඩිවෙන්න ඕන තරම් ඉඩ තියෙද්දී හිටගෙන යන මේ මිනිහා දිහා බස් රථයෙ හිටිය හැමෝම වුවමනාවෙන් බලන්නට වුණා.

ඔහොම ඉතින් හෝල්ට් එකෙන් හෝල්ට් එකට බස් රථය නවත්වමින් ඉදිරියට යද්දී ඔරුගොඩවත්තෙදි තවත් හැඩි දැඩි පුද්ගලයෙක් නැග්ගා. ඒ පුද්ගලයා බස් රථයේ ඉස්සරහා කෙළවරින් හිටගත්තා. මිනිහගේ මුහුණේ තිබුණ රැවුල සහ බැල්ම අනුව ඔහු බජාර් එකේ බැහැලා ඉන්න කෙනෙක් වගේ කියලයි මට හිතුණේ.

මේ විදියට හිටගෙන ඉන්න මේ පුද්ගලයා බස් රථයේ වාඩිවෙලා ඉන්න මිනිස්සු දිහා පෙළින් පෙළට ඇස් කරකවමින් බලන්නට වුණා. මම මේ පුද්ගලයාගේ හැසිරීම හොඳට බලාගෙනයි උන්නේ. ඔය විධියට ඇස් කරකවමින් බලන් ඉන්න මේ පුද්ගලයා ගේ ඇස් එකපාරටම අර කලින් බස් රථයට නැගලා පිටිපස්සටම වෙලා හිටගෙන ඉන්න පුද්ගලයා දුටුගමන් ගැස්සිලා ඇස් දෙක උඩ ගිහින් නතර වුණා.

කලාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා රාජ්‍ය සම්මාන ඇතුළු විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලැබූ බර්ටි කලා කිර්තී, නාට්‍යශූරී, දේශබන්දු සහ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. මේ එවැනි මොහොතකදී.

ඒ වන විටත් අර කලින් බස් රථයට නැග්ග පුද්ගලයාගේ ඇස් රැඳිලා තිබුණේ අලුතෙන් බස් එකට නැග්ග පුද්ගලයා දෙසටයි. පස්සේ බස් රථයට ගොඩවුණු මිනිහා ඉස්සරහා ඉන්න ගමන් පසුපසට වී ඉන්න මිනිහාගෙන් මෙන්න මෙහෙම ඇහුවා.

“අඩෝ කොහොමද එදා ගුස්තිය”

පිටුපස ඉන්න එකා ඒ ගමන උත්තර දෙනවා

“මොනවද ඩෝ..... උඹ කියන්නේ....දුන්නා නියමෙට. ඌ මට ගැහුවා මට ඌ ගැහැවා” කියලා.

ඊට පස්සේ බස් එකේ ඉස්සරහා ඉන්න අනිත් මිනිහා අහනවා

“ඉතින් මොකක්ද වුණේ” කියලා.

එතකොට පස්සේ ඉන්න අනෙකා උත්තර දෙනවා “මොනවා වෙන්නද ඩෝ පැය තුනක්ම ඌ මට ගැහුවා මට ඌ ගැහුවා” කියලා.

මේ දෙන්නා මේ විදියට බස් රථයේ දෙකෙළවර ඉඳගෙන මේ ආකාරයට අතපය දික්කරමින් කතා කළේ හරියට බස් රථයේ ඒ දෙන්න විතරක් ඉන්නවා වගේ. බස් එකේ තව අය ඉන්නවා කියලා මේ දෙන්නට වගක් නෑ. බස් රථයේ මැද වාඩිවෙලා හිටිය බොහෝ දෙනෙකුට මේ දෙන්නගේ කතාව තේරුණේ නැති තරම්.

සිද්ධිය ගැන විපරමින් මා ළඟ හිටිය ඇනස්ලිගෙන් මම ඇහුවා ඌ මට ගැහැවා මට ඌ ගැහුවාම ගුටිකාලා තියෙන්නේ කවුද කියලා. ඒත් මම එහෙම ඇහුවාම ඇනස්ලිටත් ඒක එකපාරටම තේරුණේ නැහැ.

මම මේ දෙන්නගේ කතාව ගැන හොඳ විපරමින් හිටිය නිසා මට මේ දෙන්නගේ කතාව හොඳට තේරුණා. ඇඟේ හැම තැනම පච්ච කොටාගෙන අත් නැති බැනියමකුයි කලිසන් කොටයකුයි ඇඳගෙන හිටපු අර බොරු චණ්ඩියා පැය තුනක්ම තව එකෙකුගෙන් හොඳට ගුටි කාලා තියෙනවා කියලා මම ඇනස්ලිට තේරුම් කරලා දුන්නා. ඒ ගමන ඇනස්ලි ඒ කතාව අහලා හොඳහැටි හිනා වෙලා මෙහෙම කිව්වේ නැතෑ ‘එහෙනම් බර්ටි අපි හොඳ විහිළු කතාවක් හදමු ඔය වචන ටික දාලා’ කියලා. ඒ අනුව අපි විනෝද සමය වැඩසටහනට සුද්දෙක්ගේ චරිතයක් අරන් හොඳ විනෝද වැඩසටහනක් හැදුවා. ඒකෙදි මම රඟපෑවේ ගුටිකාපු පුද්ගලයාට. ඉතින් මම කිව්වා “ඌ මට ගැහුවා මට ඌ ගැහුවා” කියලා. බලපුවාම අන්තිමට මම ගහලා නෑ. මම කරලා තියෙන්නේ ගුටිකන එක විතරයි.