වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ ඉතිහාසයේ මහා ඛේදවාචකය

අපේ ඉතිහාසයේ මහා ඛේදවාචකය

ඇහැලේපොළ ගැන පිරිස කියන කතා

ඇහැලේපොළ කුමාරිහාමි චරිතය ඇසුරෙන් සුගත් සමරකෝන් නිර්මාණය කරන ඇහැලේපොළ කුමාරිහාමි සිනමා සිතුවමේ වැඩකටයුතු පසුගිය දා ආරම්භ කෙරිණ. මෙරට ඉතිහාසයේ වැඩියෙන්ම පීඩාවට පත්කොට, ඝාතනයට ලක්කළ කාන්තාව ඇහැලේපොළ කුමාරිහාමි යැයි පැවසීම වරදක් නැත. තම කුසින් වැදූ දරුවන් ඇය ඉදිරියේම මරණයට පත්වනු දැක දැක අවසන් ගමන් යැවූ ඇහැලේපොළ කුමාරිහාමි ගේ ඛේදවාචකය සිදුවී මේ වනවිට අවුරුදු 200 ක් සපිරීම ද විශේෂත්වයකි. එම සිනමාපටය නිර්මාණය කරන අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන් සහ නිෂ්පාදක ගයාන් රණධීර ඇතුළු ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙකු මේ ඓතිහාසික සිනමාකරණය පිළිබඳ අදහස් දැක්වූ අයුරුයි මේ.

බ්‍රිතාන්‍ය, අපි‍්‍රකානු නළු නිළියන් 1500 ක්

සුගත් සමරකෝන් – අධ්‍යක්‍ෂ

මේක අති දැවැන්ත කාර්යයක්. ලේසි පහසු නෑ. මම පිටපත සකස් කළේම නළු නිළියන් හිතේ තියාගෙන. විශේෂයෙන් ලකී ඩයස් මීට ප්‍රථම අපේ ඓතිහාසික චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇහැලේපොළ කුමාරිහාමි ට රඟපාන්නේ දුලානි අනුරාධා. ඇයගෙන් මම උපරිම රංගන දායකත්වය ලබා ගන්නවා. ඒ වගේම බ්‍රිතාන්‍ය සහ අපි‍්‍රකානු ජාතික නළු නිළියන් 1500 කට අධික ප්‍රමාණයක් මෙහි රංගන දායකත්වය සපයනවා. ඒක තමයි මං කලින් කිව්වේ මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි කියලා.

පිටපත් 55 ක් සූදානම් කරනවා

ගයාන් රණධීර – නිෂ්පාදක

හැමෝම මගෙන් අහනවා විජය කුවේණි සිනමාපටයෙන් අනතුරුව නැවතත් ඓතිහාසික චිත්‍රපටයකට අත ගහන්න බය නැද්ද කියලා. මම සුගත්ගෙ ආරාධනය නොබියව බාරගත්තෙ පොඩ්ඩක්වත් බයනැති නිසා. මං දන්නවා මේක විජය කුවේණි වගේම මෙරට සෑම වයසකම ප්‍රේක්‍ෂකයන් නරඹාවි. මං නළු නිළියන් තෝරා ගැනීමට කිසිදු බලපෑමක් සුගත්ට එල්ල කළේ නැහැ. අනිවාර්යයෙන්ම කොපි 55 ක් යටතේ මෙය මම රටවටාම පෙන්වන්න හිතාගෙන ඉන්නවා.

මාතෘ පදවියේ, පති භක්තියේ, වීරත්වයේ සංකේතය

දුලානි අනුරාධා - ඇහැලේපොළ කුමාරිහාමි

ලාංකේය ඉතිහාසය ගත්තොත් ඇහැලේපොළ කුමාරිහාමි තරම් සුවිශේෂී කාන්තාවක් ගැන මම අහලා නැහැ. ඇය සුවිශේෂී යැයි මං කියන්නේ මෙන්න මේ කරුණු කාරණා හින්දා. ඇහැලේපොළ කුමාරිහාමි කාන්තා ගෞරවය, මාතෘත්වය, වීරත්වය, සවාමි භක්තිය යන ගුණාංග ඉහළින්ම ප්‍රකට කළා.

එවන් වූ චරිතයක් මට ලැබීමත් භාග්‍යයක්. මං ඒ චරිතය ගෞරවාන්විතව රඟපානවා.

මේ චරිතය බිය ගුලුයි

අනුර ධර්මසිරිවර්ධන – ඇහැලේපොළ අදිකාරම්

මේ වගේ චරිතයකට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මම සුගත්ට තුති පුදනවා. මං හිතනවා මේක මගේ රංඟන ජීවිතයේ කඩඉමක් වේවි කියලා. චිත්‍රපටය නරඹද්දී සමහරවිට මා ගැන කේන්තියක් එන්න පුළුවන්. මොකද ඇහැලේපොළ අදිකාරම් බියගුලු මිනිසකු නිසා. මේ චිත්‍රපටය සමස්ත ජනතාවටම වැදගත් එකක් වේවි. විශේෂයෙන් ළමුන්ට මෙමඟින් ඉතිහාසය ගැන තවත් කතාවක් දැනගන්නට ලැබේවි.

ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ සැබෑ චරිතය

ජැක්සන් ඇන්තනි - ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳ මෙරට ජනයා මේ වනවිට සිතා ඉන්නේ විශාල වරදක් කළ, කුරිරු, දුෂ්ට, කාමුක, බීමත් අයකු හැටියට. එලෙස වන්නට ප්‍රධාන හේතුව වන්නේ අපේ ඉතිහාසය ඒ යුගයේ රචනා කළේ සුද්දන් වීම. ඔවුන් ඇත්ත වසන් කළා.

ඇත්තටම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මතුපිට පෙනුමට වඩා අහිංසක කෙනෙක් යටින් හිටියා. මං උත්සාහ කරන්නේ අන්න ඒ චරිතය ඉස්මතු කරන්න. රාජසිංහ රජුගේ සත්‍ය හැඩය නිරූපණය කරන්න මං උත්සාහ ගන්නවා.

ප්‍රධාන දුෂ්ටයා මමයි

ක්ලීටස් මෙන්ඩිස් - මොල්ලිගොඩ මහදිසාව

හැමදාම මට ලැබුණෙ දෙයක් කරන්න පුළුවන් චරිත. එවන් වූ විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ගැන මට සතුටුයි. මේකත් එවැන්නක්. මොල්ලිගොඩ තමයි මේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා. ඔහු නිසයි ඇහැලේපොළ කුමාරිහාමිට මිය යන්න සිද්ධ වෙන්නේ. ඔහු වටේම ඉන්න අයව අවුස්සනවා. ඒ වගේම ස්ත්‍රී ලෝලියෙක්. ඔන්න මට ඓතිහාසික චිත්‍රපටයකත් දුෂ්ටයා වෙන්න ලැබුණා. මං වර්තමානයෙත් දුෂ්ටයා අතීතයෙත් දුෂ්ටයා.

මේ උදාර ලෙයත් සමඟ

බුද්ධදාස විතානාච්චි – වාරියපොළ සුමංගල හාමුදුරුවො

සුමංගල හාමුදුරුවො තමයි 1815 සුද්දො, ඉංගී‍්‍රසි කොඩිය ඔසවද්දි ඒක බිම දාලා පාගලා සිංහ කොඩිය එසෙව්වේ. එවන් වූ උදාර චරිතයකුයි මම නිරූපණය කරන්නේ. අපිත් ඒ උදාර ලේ ඇෙඟ් තියෙන කට්ටියනේ. මේ චරිතය නිසාත් ජයන්ත චන්ද්‍රසිරි ගෙ මහරජ ගැමුණු චිත්‍රපටයේ මං රඟපාන පැවදි චරිතයක් හේතුවෙන් මං හිස බූ ගානවා.

එකම කාලයේ භික්ෂු චරිත දෙකක් රඟන්නට ලැබීම රංගන ශිල්පියකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.

මම දැන් අරිට්ඨ කී වෙන්ඩු

ලකී ඩයස් - අරිට්ඨ කී වෙන්ඩු

අරිට්ඨ කී වෙන්ඩු කියන්නේ රාජසිංහ රජතුමාගේ ප්‍රධාන ඇමැති. නමින් කියන්න පුළුවන්නේ ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් කියලා. මගේ රංඟන ජීවිතයෙ ලොකු අඩුවක් තිබුණා ඒ ඓතිහාසික චිත්‍රපටයක චරිතයක් නොලැබීම. ඒක සුගත් විසින් පුරවලා දුන්නා. අරිට්ඨ කී වෙන්ඩු හරිම නපුරු, රෞද්‍ර කෙනෙක්.

ඔහු තමයි රජුට උපදෙස් දෙන්නේ. මාව මේ චරිතය වෙනුවෙන් මේකප් සහ ඇඳුම්වලින් නපුරු කළා. ඇත්තටම මේ චිත්‍රපටය ඉතා හොඳ උත්සහයක් කියලා කියන්න පුළුවන්.