වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුරංජිගේ සුන්දර හඬ මතකද?

සුරංජිගේ සුන්දර හඬ මතකද?

මොනරු මුව ගෝණ රඟන වන බැද්දයි

කුරහන් හේනෙ වෙල් යායෙත් හරි සද්දයි

මේ ගම් පෙතේ අය කවුරුත් හරි දක්ෂයි

සුන්දර ගම්මානෙ අසිරිය පරසිද්දයි

 

 

පද්මසිරි කොඩිකාර අධ්‍යක්ෂණය කළ කෝරළේ මහත්තයා හි තේමා ගීතය වන එය පසුගිය දිනවල ලැබුවේ ඉහළ ජනප්‍රියත්වයක්. එය ගායනා කරනු ලබන්නේ බන්දුල විජේවීර සමඟ එක්තරා තරුණියක්.

සුන්දර හඬ පෞරුෂයකින් හෙබි ඇය කවුද කියලා අප ටිකක් හොයලා බැලුවා. ඒ කටහඬ හිමි තැනැත්තිය සුරංජි ශ්‍යාමලී. කෝරළේ මහත්තයා හි විතරක් නෙවෙයි දෝනි සිනමාපටය අතරතුරදී ඇගේ හඬ අපට අහන්න පුළුවන්.

සුරංජි වෘත්තියෙන් ගුරුවරයක්. එමෙන්ම ගායනයත් ඇයගේ අනෙක් වෘත්තීයක් කියලයි ඇය කියන්නේ.

 ඔබට මතකද ජීවිතය ලස්සනයි ටෙලි සිතුවම? එහි හිරු ළඟ සීතල සොයනා ගීතය රන්ජන් සාලිය එක්ක ගැයුවේද සුරංජි. එමඟින් තමයි ඇයව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ.

අනතුරුව ටෙලි නාට්‍ය කිහිපයකටම ගායනයෙන් සම්බන්ධ වූ ඇය ඒ අතරතුරදි සංගීතය හදාරන්නේ පරපුරකට දැනුම බෙදා දෙන්න තියෙන ආසාව නිසයි.

ඇය මේ දිනවල සිටින්නේ විදෙස් ගත වෙලා. සුරංජි ඉන්දියාවේ බරනැස කාෂි හින්දු විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව සහ සංගීතය හදාරනවා. එහිදිත් ඇය සංගීත කටයුතුවල නියැලෙනවලු. විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ තේමා ගීතය ගයද්දී අනිවාර්යයෙන්ම ඇයට කතා කරනවාලු.
 

සමනල්ලු නෙක ආරේ

නිදහස සොයා පාරේ

 

දෝණි සිනමාපටයේ ඇය ගයන ගීිතයේ පද පේලියක් ඒ. එයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි කියලා සුරංජි අපිත් එක්ක කිව්වා. සුරංජි වරදකාරී මං නම් වූ ගීතයක් එළිදැක්වූවා. එය ද මේ දිනවල ගුවන් විදුලි නාලිකා කිහිපයකම ප්‍රචාරය වෙනවා.

දැන් තියෙන්නේ කොත්තු ගහනවා වගේ සිංදු. මේ තත්ත්වය මත අප වගේ අයට උඩුගං බලා පීනන්න අමාරුයි. ඒත් මං රැල්ලට ගීත කරන්නේ නැහැ කවදාවත්. සල්ලි තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ගායකයෙක් වෙන්න පුළුවන්. සල්ලිවලින්ම ඒ ගීත ප්‍රචාරව කර ගන්නත් හැකියි. ඒත් පැවැත්මක් නැහැ.

සුරංජි පවසාගෙන යන්නීය. ඇය ක්ෂේත්‍රයට ගොඩක් ළෙංගතුව සිටින බව ඒ වදන්වලින් පැහැදිලිය. ඉදිරියේදී තිරගතවීමට නියමිත මනෝනෙ මගෙ සුදු නෝනේ, රන්ජා, සුපර් මෑන් ශ්‍රී ලංකා වැනි චිත්‍රපටවලද, අපූරුගම, මන්දාකිණි වැනි ටෙලි සිතුවම් හරහා ද සුරංජිගේ හඬ අපට විඳගන්න පුළුවන්.

සුරංජි වඩාත් ප්‍රිය කරන්නේ ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල ගීත ගයන්නලු. අනාගතයේදී දක්ෂ පසුබිම් ගායිකාවක් වන බවට ද ඇය පෙර මග සලකුණු පෙන්නලා හමාරයි. එමෙන්ම නුදුරු දිනයකකදී ඇය තම කුලුඳුල් ගීත ඇල්බමය ද නිකුත් කරාවි. ඒ සඳහා මේ දිනවල ලකලැහැස්ති වෙනවා කියලා වැඩිදුරටත් කිව්වා. අනාගතයේදී තමන්ගේ ගෝල බාලයන් ද ක්ෂේත්‍රයට හඳුන්වා දී ඔවුන්ගේ නම හදා ගැනීමට උදව් කරන බව සුරංජි අවසන් කොට පැවසුවා.