වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




‘පරාවර්ථන’ දෙවියන්ගෙන් සමාව නොලද මිනිසුන් ගැනයි . . .

‘පරාවර්ථන’ දෙවියන්ගෙන් සමාව නොලද මිනිසුන් ගැනයි . . .

අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන

අප ඔහු හොඳින්ම හඳුනා ගන්නේ තෙවන ඇස හරහා දේශීය සිනමාවට විචිත්‍රත්වයත්, විශිෂ්ටත්වයත් එක්කළ නිර්මාණශීලී කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසිනි.

කලාත්මක හා ජනප්‍රිය සිනමා ධාරාවන් ද්වයෙහිම සිය අපූර්ව දස්කම්, විස්තම් ප්‍රකට කළ ඔහු වර්තමානයෙහි සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ද ප්‍රේක්ෂකයා හමුවට පැමිණ තිබේ. ඒ ‘පරාවර්ථන’ චිත්‍රපටය සමඟිනි.

මේ ජයනාත් ගුණවර්ධන නමැති සිනමාවේදියා සමඟ ‘සරසවිය’ පවත්වන ප්‍රථම සංවාදයයි.

* ඇයි ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණ කාර්යයට අත පොවන්නේ?

කිසියම් පුද්ලයකු යම් ක්ෂේත්‍රයක තම වෘත්තියේ නියැළෙන කොට අඩියෙන් අඩිය ඉහළම තැනට යන්න උත්සාහ කරනවානේ. මම ඉස්සර වෙලාම සිනමාවට ආවේ කාර්මික ශිල්පියෙක් හැටියට. එතැනින් සහාය කැමරා ශිල්පියෙක් වුණා. ඊට පස්සේ කැමරා අධ්‍යක්ෂණයට පිවිසුණා. මගේ අලුත්ම භූමිකාව තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය. ‘පරාවර්ථන’ සමඟ මම ඒ කාර්යයටත් පා තැබුවා.

* මේ අහම්බයෙක් නොවේ. ඔබේ හිතේ කාලාන්තරයක් පුරාවට තිබුණ සිහිනයක්?

ඔව්. ‘පරාවර්ථන’ වස්තු බීජය කාලයක් මුළුල්ලේ මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා. මේ කතා තේමාව බුද්ධ ධර්මය මේ ලෝකයේ පවතින තාක් කල් වලංගු සනාතන සත්‍යයක්. ඕනෑම කාලයකට ගැලපෙන සර්වකාලීන තේමාවක් ඔස්සේයි මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ. අපි යමක් කරන්නේ ද ඒ සියල්ල නැවත කවදා හෝ අපි කරා එනවා. දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ ඒකයි.

* ඒ අර්ථයෙන්මයි ඔබ චිත්‍රපටයට ‘පරාවර්ථන’ කියන නම යෙදුවෙත්?

අපි කැඩපතක් ඉදිරියට ගිහින් බැලුවොත් අපේ රුව පරාවර්ථනය වෙලයි අපට පෙනෙනේනේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය. පුංචි ළමයෙක් වුණත් ඒක දන්නවා. ඉතින් ‘පරාවර්ථන’ කියන්නේ බොහොම පැහැදිලි නමක් මේ කතා තේමාවත් එක්කලා. සමහරු මේ නමට වෙනත් අර්ථකථන දෙන්න හදනවා.

* ඔබ සිනමාවේ නොයෙක් කඩඉම් පසු කරගෙන ආපු කෙනෙක්. ඒවා අධ්‍යක්ෂවරයකු වීම සඳහා සුදුසුකම් කියා ඔබ සිතනවාද?

සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක් කියන්නේ සිනමා කර්මාන්තයේ ඉතාමත් බැරෑරුම් කාර්යයක් ඉෂ්ට කරන පුද්ගලයෙක්. අද නෙවෙයි මීට පෙර තිබුණ තාක්ෂණයත් එක්කලා කිසියම් චිත්‍රපටයක් කරන කොට ඒ කෑම, බීමට පවා වියදම් කරන මුදල අර දළ සේයා පටයේ තිබිය යුතුයි. කැමරා ශිල්පියා තමන්ගේ කාර්යය නිසියාකාරව ඉටු නොකළොත් අර විය පැහැදම් කළ මුදල් පවා අපරාදේ. ඩිජිටල් තාක්ෂණය නිසා අද අපට එවෙලේම දැකගන්න පුළුවන් රූපරාමුවල ස්වභාවය. සීයට සීයක්ම එහි තත්ත්වය අපට එවෙලේම නිර්ණය කළ හැකියි. නමුත් ඉස්සර අපි ගන්න shot එක චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් දකින්නේ නෑ. අද නම් අඩු ගාණේ මොනිටර් එකවත් තියෙනවානේ බලන්න.

* ඔබ ඔය කතා කරන්නේ එච්චර දිගු ඉතිහාසයක් ගැන නෙවෙයිනේ?

නැහැ. දැන් අවුරුදු පහකට, හයකට කලින් වුණත් කැමරා අධ්‍යක්ෂවරයා කරන දේ අධ්‍යක්ෂවරයාවත් දන්නේ නැහැ. කැමරා අධ්‍යක්ෂවරයාට පවා ඒ තමන් ගන්න රූප රාමුව දකින්න පුළුවන් එවෙලෙට විතරයි. රසායනාගාරයට ගිහින් එහි මුද්‍රණ කටයුතුª කරලා ආවාට පස්සේ තමයි අපට දකින්න ලැබෙන්නේ මොනවද අපි කළේ කියලා. ඒත් මාසෙකට විතර පස්සේ. ඉතින් එහෙම බලන කොට සිනමා කැමරා ශිල්පියාට ලොකු වගකීමක් තිබුණා තමන්ගේ කාර්යභාරය ගැන. සමහරදාට මට රෑට නින්ද යන්නෙත් නෑ. ඇයි මේ සේරටම මම වගකියන්න එපායැ.

* ඒ තරම් භාරදූර වගකීමක්...?

සමහර දර්ශන තියෙනවා, ඒවා ආයේ දෙපාරක් ගන්න බෑ. ඉතින් එවැනි දර්ශනයකට මොනවා හරි වෙලා තිබුණොත් තමන්ගේ වෘත්තියට ආදරය කරන කෙනෙකුට ඒක වාවන්න බෑ. මට නම් වාවන්න බෑ. මොකද මම මගේ වෘත්තිය කළේ හරිම ආදරයකින්, ගෞරවයකින්. ඒනිසා තමයි සිනමා කර්මාන්තය ඇතුළේ බොහෝ දෙනා මාව ඉහළින් පිළිගන්තේ. ඒක මම බය නැතුව කියනවා. ආඩම්බරයෙන් කියනවා.

* කැමරා අධ්‍යක්‍ෂවරයකු වීම, චිත්‍රපට අධ්‍යක්‍ෂණය සඳහා පූර්ණ සුදුසුකමක් කියා ද ඔබ ඔය කියන්නේ?

ඇත්තෙන්ම. මම මේ කිව්වේ සිනමා කැමරා අධ්‍යක්‍ෂණය ගැන. ඒත් තාක්‍ෂණය මත යැපෙන අය ගැන නෙවේ. තමන්ගේ නිර්මාණශීලිත්වය පිළිබඳ විශ්වාසයක්, අභිමානයක් තිබෙන උදවිය ගැන. “සොල්දාදු උන්නැහේ”, “දොරකඩ මාරාව“, “තීර්ථ යාත්‍රා”, “පාදඩයා” වගේ කලාත්මක ධාරාවේ චිත්‍රපටත්, “අංජලිකා”, ආසයි මං පියාඹන්න”, “හිරිපොද වැස්ස”, “රෝස වසන්තේ”, “රෝස කැලේ” වගේ ජනපි‍්‍රය රැල්ලේ චිත්‍රපටත් මම හොඳට කරලා තියෙනවා. ඉන් සමහරක් සම්මානයට පාත්‍ර වුණා. තව එකක් මම කියන්න ඕනෑ. කැමරා අධ්‍යක්‍ෂවරයාට තමන්ගේ රංගන පාසල තමයි දර්ශන තලය. නළු, නිළියන්ගේ රංගනය, ඒ රංගනයේ හරි, වැරැදි මොනවද එතකොට තිරනාටකවල තියෙන දුර්වලතා යනාදී වශයෙන්. මම හිතන්නේ දර්ශන තලය තමයි හොඳම සිනමා පාසල. අවුරුදු තිස් ගණනක අත්දැකීම් මගේ ලේවල පවා තියෙන්නට ඇති.

* ඒ අත්දැකීම් හරහා ඔබ අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවට හොඳින් පණ පෙව්වා කියා හිතනවාද?

ඒක මට හරියටම කියන්න බෑ. මම සියයට සීයක් නිවැරදිව, සාර්ථකව මේ කාර්යය කළා කියන්න මට බැහැ. හැබැයි වෙන කෙනෙක් මම සාර්ථකයි කියා කියනවානම් ඒක වෙනම දෙයක්.

* එහෙම හොඳයි කියපු අය නැති වෙන්න බෑනේ...?

විශේෂයෙන්ම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ගැන කියන්න ඕනෑ. චිත්‍රපටය මෙතෙක් නරඹපු ප්‍රේක්‍ෂකයන්ගෙන් ඇහුවොත් 99% ක්ම කියන්නේ හොඳ චිත්‍රපටයක් කියලා. සිනමාහල් හිමියන්, කළමනාකරුවන්, සේවකයන් මේ හැම කෙනෙකුම කියපු කතාවක් තමයි ඒක. ඇහුවොත් කියන්නේ “ෂා මරු චිත්‍රපටය” කියලයි. දැන් ඔබ මගෙන් ප්‍රශ්න අහනවා. ඔබත් මේ චිත්‍රපටය නැරඹුවානේ අසංක, ඔබටත් දැන් ඕනෑනම් ඔබේ මතය ගැන කියන්න පුළුවන්.

* ‘පරාවර්තන’ හරහා ඔබ කිසියම් ප්‍රේක්‍ෂක පිරිසක් ඉලක්ක කළාද...?

විශේෂයෙන්ම මම මේ චිත්‍රපටය හැදුවේ තරුණ, තරුණියන්ට. ඔවුන්ට විශාල ආදර්ශයක්, පණිවිඩයක් මේ චිත්‍රපටයෙන් මම ලබාදෙනවා. යමක් කරන්නට පෙර ඒ ගැන දෙවතාවක් හිතලා බලන්න ඕනෑ කියන පණිවිඩය, එහෙම වෙනවානම් මේ ලෝකෙට අවි, ආයුධ, පොලිසි, හිර ගෙවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ‘නීතියෙන් ගැලවුණද, දෙවියන්ගෙන් සමාව නොලද මිනිසුන්ගේ කතාව’, ඒ තමයි “පරාවර්තන” තේමාව. මගේ චිත්‍රපටයෙන් මම අවධාරණය කරන්නේ ‘කිසියම් විනාශකාරී ක්‍රියාවකින් කෙනෙකු ලබන ජයග්‍රහණයක් නොමැත’ කියන කාරණයයි.

* ‘පරාවර්තන’ පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්...?

එයත් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුමයි. “පරාවර්තන” චිත්‍රපටයෙන් මම වැඩිපුර තරුණ පිරිස ඉලක්ක කළාට මේක පවුලේ කතාවක්. පවුලේ කාටත් එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක්, විදුහල්පතිවරු කිහිපදෙනෙක් චිත්‍රපටය නරඹලා මට කියපු දෙයක් තමයි, මේක සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් එහා සියලුම දෙනා නැරඹිය යුතු අගනා චිත්‍රපටයක් කියන එක.

* මෙහි දෙබස්, තිරනාටකයත් ඔබේමයි. කොහොමද මෙවැනි වස්තු බීජයක් සිතේ ඇති වුණේ...?

හරක් මරපු මිනිස්සුන්ට, මිනී මරුවන්ට සිදුවුණ දේවල් මම සියැසින් දැකලා තියෙනවා. ජීවිතයේ නොයෙකුත් අනර්ථකාරී දේවල් කරපු අය හරි ෂෝක් එකට කාලයක් ජීවත් වෙනවා. ඒත් ඔවුන්ගේ අවසානය හරිම ඛේදනීයයි. එවැනි සිය ගණනක් සිදුවීම් මම අහලා තියෙනවා. අන්න ඒවා කැටි කරලා තමයි මම මේ සමාජයට මගේ පළමුවැනි චිත්‍රපටයෙන්ම කිසියම් ආදර්ශයක් දෙන්න හිතුවේ. සිරගෙවල්වලින් නිදහස් වෙලා ඉන්න අය, රිමාන්ඩ් බාරයේ ඉන්න අය එහෙම නැත්නම් මේ පාතාල ලෝකයේ සැරිසරන අය මේ චිත්‍රපටය බැලුවොත් මම හිතන්නේ ඔවුන්ගේ මනසත් කිසියම් ප්‍රමාණයකට හෝ සුවපත් වේවි. ඒ විශ්වාසය මට තිබෙනවා.

* වසර දහතුනකට පසු සොමී රත්නායක නැවත අපේ සිනමාවට කැන්දාගෙන එන්නේ ඔබ. ඇයි ඔබ සොමීවම මේ චරිතයට තෝරා ගත්තේ...?

නෑ ඉතින් සොමී, රංගනයේ දක්‍ෂ නළුවෙක්. ද්විත්ව චරිත නිරූපණයක් ඔහුට තියෙන්නේ. ඒ කියන්නේ එකම චරිතයේ ස්ටේජස් දෙකක්. වයස අවුරුදු අසූවක පමණ වයෝවෘද්ධ අවස්ථාවක ඔහුගේ එක් රංගන පරාසයක් දිවයනවා. ඔහු රංගනයෙන් මෙන්ම හඬ පෞරුෂයෙනුත් දක්‍ෂයෙක්. චිත්‍රපටයේ වර්තමාන ස්වරූපයට සොමී ගේ බාහිර පෙනුම හරියටම හරි. එතනදි මම ඔහුට කිසිම වේශ නිරූපණයක් සිදු කළේ නැහැ. නැවත ඒ චරිතයේ තරුණ කාලෙට ඔහු එනවා. ඒ කියන්නේ අවුරුදු තිස් අටක වගේ. අන්න එතනදි අපි ඔහුට යම් වේශ නිරූපණයක් කළා.

* සොමීව තරුණ කළා...?

මම ඉන්දියාවට ගිහින් බොරු කොණ්ඩයක් ගෙනාවා. ඒ විදිහෙ දේවල් කරලා තමයි සොමී මේකප් කළේ. කොහොම හරි අපි ඒ කරපු කර්තව්‍යය මොනතරම් සාර්ථකද කියනවානම් අද සමහරු කියනවලු ඒ ෂොට්ස් සොමීගේ පරණ ෆිල්ම්වලින් අරගෙන කියලා. නිර්මාණකරුවකු හැටියට මම සතුටු වෙනවා ඒ එක්දහස් නවසිය පනස් ගණන්වල දිවෙන ඒ චරිත, වටපිටාව මම හරියට චිත්‍රපටයේ නිරූපණය කළා කියලා. ඒ දර්ශන මම රූගත කළේ පිටකොටුවේ ඩයස් ප්ලේස් එකේ. එහෙම නෑ කියනවානම් කවුරුහරි මට එතනට ගිහින් පෙන්නන්න වුණත් පුළුවන්. අර කුකුළන් කොටවන දර්ශනයක් තියෙනවා, ඒක කළේ කොටහේනේ. පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම් පොළ පැන්න ගමන් තියෙන පරණ බිල්ඩිමක් තමයි සොමී ගේ තිප්පොළ හැටියට යොදා ගත්තේ.

* ඒ අතීත කාලය (Flash Back) ඔබ ඉදිරිපත් කරන්නේ කළු, සුදු රූපරාමු හරහා. එයත් විශේෂත්වයක්..?

ඒ වෙනස මම කළේ හිතාමතාමයි. කාර්මික දැනුම තියෙන අය ඒකට ගොඩක් සතුටු වුණා. ප්‍රේක්‍ෂකයාට වුණත් නිතැතින්ම අවබෝධයක් එනවා ඒ රූපරාමුවලින් පිළිඹිබු වෙන්නේ අතීත කාලය කියලා. අපේ වේශ නිරූපණ ශිල්පියා, කලා අධ්‍යක්‍ෂවරයා, ඇඳුම් නිර්මාණ ශිල්පියා මේ හැමෝම සාර්ථක වුණා ඒ කාර්යයේදී.

* මේ චිත්‍රපටයේ එක් අන්තයක ඔබ ගැමි සුන්දරත්වය ඉස්මතු කරන්න උත්සාහ කරන බව පේනවා. අතිශය සෞන්දර්යාත්මක පරිසරයකට ඔබ අපව කැඳවාගෙන යනවා. මේ පෙලැඹීම ඇති වෙන්නෙම ඔබ කැමරා අධ්‍යක්‍ෂවරයකු නිසා වෙන්නට ඇති...?

මම හැමදෙයකම සුන්දරත්වයක් දකින කෙනෙක්. මම අසුන්දර දේවල් බලන්න ආසත් නෑ. ගමක් කියන්නේ මොන තරම් සුන්දරද? දැන් අපි කොළඹ ඉඳලා ගමකට ගියාම ආයේ කොළඹ එන්න හිතෙන්නේ නෑ. ඇයි ඒ..? ගමේ සුන්දරත්වය තමයි ඒ විඳින්නේ. ෂූටිං කරන්න ගමකට ගියාම ආපසු එන දවසට හරිම දුකයි. මඟදි විශාල පාළුවක් දැනෙනවා. ආපසු දුවලා යන්න හිතෙනවා. මම ඒ තරම් ගමට ආදරෙයි. මම අහනවා ඕනෑම කෙනෙකුගෙන් මේ පිටකොටුවද සුන්දර ගමද කියලා. “පාදඩයා” චිත්‍රපටයෙත් මම සුන්දරව ගම ඉදිරිපත් කළා. එතකොටත් මට ප්‍රශ්න ආවා ගම මේතරම් සුන්දරද කියලා. එතකොටත් මම කිව්වේ ගම හරි සුන්දරයි. සමහරවිට ගමේ ජීවත්වෙන සමහරු අසුන්දර වෙන්න පුළුවන් කියලයි. ගමේ සුන්දරත්වය විඳින්න හුඟ දෙනෙක් දන්නේ නෑ.

* දිනේෂ් සුබසිංහ කියන තරුණ සංගීතවේදියා තමයි ඔබට සත්සර මෙහෙයුමෙන් දායක වෙන්නේ, ඇයි මෙබඳු තෝරා ගැනීමක් සිදු කළේ...?

මට අවශ්‍ය වුණේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ හැඩ රුවට සමාන සංගීත රටාවක් මේ චිත්‍රපටය ඔස්සේ ඉදිරිපත් කරන්න. පුබුදු චතුරංග තමයි මට දිනේෂ් ගැන ඔත්තුව දුන්නේ. මම දිනේෂ්ට මගේ සිතුම් පැතුම් කීවා. අපි ගොඩක් මේ ගැන සාකච්ඡා කළා. මම හිතන්නේ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී දිනේෂ් කිව්වා “ජයනාත් මට හරි කරදරයක් වුණා සමහර වෙලාවට” කියලා. ඇත්තෙන්ම චිත්‍රපටයේ සංස්කරණය නොකළ දර්ශන දකිද්දී මට ඒ තුළින් කිසියම් නාද රටාවක් ඇහුණා. ඒ දේ නොපිරිහෙලා දිනේෂ් විසින් ඉටුකර තිබුණා. මේ සංගීතය ගැනත් දැන් හැමෝම කතා කරනවා.