වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ද්‍රවිඩ රිදී තිරයේ ජනප්‍රිය නිළි යුවළක් වූ බී. සරෝජා දේවි සහ කේ. ආර්. විජයා ගැන විස්තරයක් කරන්න.

විජයානන්ද පොඩි නිළමේ

නුගේගොඩ

1938 ජනවාරි 07 වැනිදා කර්ණාටකයේ පොලිස් නිලධාරියකුගේ දියණියකව උපන් බී. සරෝජා දේවි 50 සහ 60 දශකයේ දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනාදරයට පත් වූ නිළියක්. ඇය කණ්නඩ, දෙමළ, තෙළිඟු සහ හින්දි චිත්‍රපටවල රඟපෑවා. ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ පත්මභූෂණ සම්මානයෙන් පිදුම් ලද ඇය චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී තියෙනවා. ඇය එකල ජනප්‍රියව සිටි එම්. ජී. රාමචන්ද්‍රන්, සිවාජි ගනේෂන්, ජෙමිනි ගනේෂන් සහ එම්. ආර්. රාධා සමඟ සමීප සබඳතා තිබුණා. තවද වරක් ඇය පුවත්පතකට පවසා තිබුණේ එකල තමාට එම සිව් දෙනාගේම නිවෙස් තමාගේ නිවාස වූ බවයි.

දැන් ඒ සිව් දෙනාම ජීවතුන් අතර නැතත් ඉංජිනේරුවකු වන ශ්‍රී හර්ෂ සමඟ විවාහ වූ සරෝජා 1986 ඔහුගේ මරණය තෙක්ම විවාහය රඳවා තබා ගත්තා. එසේම ඇය පැවසූයේ ඔහු ඉතා වැදගත් මහත්මයෙක් බවයි. මේ දෙපළට දරුවන් දෙදෙනකු සිටින අතර සරෝජා, ඉන්දිරා ගාන්ධි මැතිනියට කෙතරම් ගරු කළාදැයි කිවහොත් තම දියණියට නම තැබූයේ ද ඉන්දිරා ලෙසිනි. එම්. ජී. රාමචන්ද්‍රන් වෙනුවෙන් පුතුට රාමචන්ද්‍රන් ලෙස නම තැබීය. දැන් ඇයගේ වයස අවුරුදු 75 කි.

තෙළිඟු ජාතික පියෙකුට සහ මලයාලම් ජාතික මවකට දාව උපන් කේ. ආර්. විජයා 70 දශකයේ අතිශය ජනප්‍රිය නිළියක්. ඇය දෙමළ, මලයාලම්, තෙළි¼ගු, කණ්නඩ, හින්දි චිත්‍රපට 400 ට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. එම්. ජී. රාමචන්ද්‍රන්, සිවාජි ගනේෂන් සේම මෑතකදී රජිනි කාන්ත්, කමලහසන් සමඟ ද ඇය චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. වර්තමානයේ ටෙලි නාට්‍යවලට ද දායක වන ඇය මෙරට විකාශය වූ රාජ රාජේශ්වරී සහ කුඩුම්බම් ටෙලි නාට්‍යවලට දායක වුණා. පී. ප්‍රවීන් සමඟ විවාහ වූ ඇය එක දියණියකගේ මවකි.

මේ රටේ දේශපාලඥයන්ගේ දරුවන් දේශපාලනයට යොමු කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

ආරියරත්න ලොකු බණ්ඩාර

කැස්බෑව

ගායක ගායිකාවන්ගේ දරුවන් තාත්තලා අම්මලාගේ සිංදු කියනවා නම් පුවත්පත් කලාවේදීන්ගේ දරුවන් පුවත්පත් කලාවට යොමු වෙලා ඉන්නවා නම් දේශපාලනඥයන්ගේ දරුවන් දේශපාලනයට යොමුවීම වරදක්ද?

වී. ශාන්තාරාම් සහ ඔහුගේ නිර්මාණ ගැන විස්තරයක් දැනගන්න හැකිද?

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

අයිලින් සෝවිස් - වැලිසර

ඉන්දියානු සිනමාවේ බිහි වුණු සිනමාකරුවන් අතර ඉන්දියානු කලාවේ ආභාෂයෙන් තමන්ගේ සිනමා නිර්මාණ පෝෂණය කළ හොඳම සිනමාකරුවා කවුරුදැයි මගෙන් විමසුවොත් මගේ පිළිතුර නම් ඒ ශාන්තරාම් බවයි. සිනමාව නැමැති රූපීය භාෂාව නව නළු රසයෙන් පිනවීමේදී ස්වකීය දේශයේ අනන්‍යතාව ගොඩනැගු ඉන්දියාවේ ශාන්තාරාම් තරම් සිනමාකරුවකු නැති තරම්. ඔහුගේ දෝ ආන්කේ තාරහාත්, ඩොක්ටර් කොට්නිස්කී අමර් කහානි, නව්රාංග්, ජනක් ජනක් පයාල් බාජී, ස්ත්‍රී යන චිත්‍රපටම එයට උදාහරණ සපයනවා. රාජා රාම් වන්කෘද්‍රේ ශාන්තාරාම් නමින් 1901 නොවැම්බර් 18 වැනිදා උපත පද ඔහු කොලහපූර් හි මහාරාෂ්ඨ සිනමා සමාගම බිහි කිරීමට දායක වුණා. ඔහු විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙක් නොවුණත් ඉන්දීය කලාවන් පිළිබඳ ඔහුගේ දැනුම ඉතා විශාලය.

පසු කලෙක ඉන්දීය සිනමා සමාගමක් වන ප්‍රහානී සිනමා සමාගම බිහි කරන්නත් දායක වුණා. එයින් ටික කලකට පසු ඔහු තමාගේම රාජ් කමල් කලා මන්දිර ආයතනය ගොඩ නැගුවා. ඉන්දියානු මහාරාෂ්ඨ ප්‍රාන්තය වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය පිරිනමන්නේත් ඔහුගේ නමිනි. ශාන්තාරාම් බොහෝ චිත්‍රපටවල විශිෂ්ඨ සංගීතයන් ඇතුළත්ව තිබූ අතර එහි වෙනත් සංගීතඥයන් සංගීතය සැපයුවත් ඇත්තටම පසුබිමේ සිටියේ ශාන්තාරාම්ය. තුන් වරක් ඔහු විවාහ වූ අතර සුප්‍රකට සිනමා නිළි රාජ් ශ්‍රී ඔහුගේ එක් දියණියකි.

ජනකාන්ත සිනමා නළු විජය කුමාරණතුංග සහ එච්. ආර්. ජෝතිපාල චිත්‍රපටවල එකට රඟපා තිබේද? ඒ මොනවාද?

එම්. ඉන්ද්‍රපාල

මුංහේන

අභිරහස චිත්‍රපටයේ ඔවුන් එකට රඟපෑවා.

දෙබස් කවන ලද සිංහල චිත්‍රපට මොනවාද?

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

මන ප්‍රයත්නය, අහිංසක ප්‍රයෝගය, මනුෂ්‍යත්වය, සල්ලි එපා, පතිවත, අංගුලිමාල, වාසවදත්තා, අම්රපාලි, මිදෙන මුහුද, මගේ පුතා, සුදු නංගි, අයියයි මල්ලියි ඇතුළු චිත්‍රපට රැසක් දෙබස් කවන ලද චිත්‍රපට අතරට ඇතුළත්.

‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ සංගීතය සපයා ඇති ගයත්‍රි කේමදාස සහ අනූපා කේමදාස සංගීත විශාරද ප්‍රේමසිරි කේමදාසයන්ගේ කවුරුන්දැයි පහදා දෙන්න.

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

කෑගල්ල

ගයත්‍රි සහ අනූපා ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණියන් දෙදෙනායි.

කොලිවුඩයේ වර්තමාන නළු විජේ විවාහ වී සිටින්නේ ලාංකික කාන්තාවක් සමඟද?

ශානි

ගම්පහ

ඔහු විවාහ වී සිටින්නේ සංගීතා සෝමලිංගම් නැමැති ලාංකික දෙමළ කාන්තාව සමඟිනි.

මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘බ්ලෙන්ඩින්ස්’ චිත්‍රපටය පිළිබඳ හැඳින්වීමක් කරන්න.

සුමිත් සුදර්ශන

වතුරුගම

බ්ලෙන්ඩින්ස් චිත්‍රපටයට පාදක වුණේ ලංකාවට වතු කම්කරුවන් රැගෙන ඒමයි.

ටි. එන්. එල්. රූපවාහිනියේ ඒ. එස්. පී. ලියනගේ මහත්මයාගේ පැදුරු පාටියට මොකද වුණේ?

එච්. වී. කේ. පියදාස

මාබෝලේ

පේන හැටියට නම් මේ දවස්වල අකුළලා තියෙන්නේ.

සිනමාවේ සටන් නළුවන්ට පමණක් සම්මාන නොදෙන්නේ ඇයි? ඔබ ඒ ගැන හිතන්නේ මොනවාද?

රාජා සරත් වික්‍රමආරච්චි

ගම්පහ

මා දන්නා තරමින් පිළිගත් සිනමා උළෙලවල හොඳම චරිතාංග නළුවන්ට විනා සටන් නළුවන්ට, විකට නළුවන්ට යනුවෙන් සම්මාන ලබා දෙන්නේ නැහැ. පොදුවේ හොඳම චරිතාංග රංගනයට පමණක් සම්මාන පිරිනැමීම සිදු කරනවා.සටන් නළුවෙකු වුණත් හොඳ චරිතයක් කළොත් සම්මාන දිනා ගන්න පුළුවන්.

සුනිල් බමුණුආරච්චි, රාජු ගමගේ, සරත් සිල්වා, මිල්ටන් ජයවර්ධන, ශ්‍රීනාත් මල්දෙණිය, සම්පත් ශ්‍රී නන්දලෝචන යන නළුවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ කවුද?

ප්‍රියංකා ප්‍රියදර්ශනී

තල්ගම

මිල්ටන් ජයවර්ධන, ශ්‍රීනාත් මල්දෙණිය, සම්පත් ශ්‍රී නන්දලෝචන ජීවතුන් අතර නැහැ.