වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අධ්‍යක්ෂවරයකුගෙන් ලක්ෂිකාට අයුතු යෝජනාවක්

අධ්‍යක්ෂවරයකුගෙන් ලක්ෂිකාට අයුතු යෝජනාවක්

සරසවිය දෙපාර්තමේන්තුවට නව පරපුරේ රංගන ශිල්පිණියක් පැමිණෙයි.

අයියෙ මම ලක්ෂිකා ජයවර්ධන.

ඔව් ලක්ෂිකා . . .

මට ලොකු අසාධාරණයක් වුණා. මට ඒක ගැන කියන්න ඕනෑ.

සරසවිය පත්තරේ හැමදාමත් කලාකරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ හින්දා ඔයාට වෙච්ච අසාධාරණය කියන්න. හැබැයි එක කොන්දේසියක් පිට තේරුණාද?

මොකක්ද අයියේ?

අපේ පත්තරෙන් කාටවත් මඩ ගහන්නෙවත්, කලාකරුවෙකුගේ චරිත ඝාතනය සිදු කරන්නේවත් නැහැ. ඒ හින්දා ඔයාට වුණු දේ කියන්න. නමුත් නම් ගම් සඳහන් කරන්න බැහැ.

හරි. මං කියන්නම්කෝ මෙහෙමයි කතන්දරේ. මට එක්තරා නාට්‍යයකට කතා කළා. ඒ අධ්‍යක්ෂවරයාගෙන්මයි මට ඇරැයුම ලැබුණේ. ඔහු මගේ රූපය දැකලා තියෙන්නේ පත්තරේක ගිය කවර් පේජ් එකකින්.

* ඉතින්?

මට නාරාහේන්පිට එක්තරා තැනකට එන්න කිව්වා. එතෙන්දි ඔහුව හමු වුණාට පසුව චරිතයට මාව සුදුසුයි කිව්වා. ඔහු මට ඔහුගේ කාර් එකට නගින්න කියලා ගල්කිස්ස ගෙස්ට් හවුස් එකකට එක්කගෙන ගිහින් අයුතු යෝජනාවක් කළා.

* ඔබ මොනවද කිව්වේ?

මම වහාම එතැනින් යන්න ඕනෑ කිව්වා. මං බලෙන් වගේ එතනින් ආවේ. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මට ඒත්තු ගැන්නුවා. ඒත් මං රැවටුණේ නැහැ.

ඔන්න ආයෙත් ඔහුගේ නාට්‍යයට නිළියන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකටත් එන්න කිව්වා. එදා ඔහු හැසිරුණේ මාව නොදන්නවා වගේ. එම නාට්‍යයේ පිටපත් රචකයා මට චරිතයට අදාල ඩයලොග් ටිකක් දුන්නා. මාත් හැකි පරිදි ඒවා කිව්වා. ඔහු මාව චරිතයට සුදුසුයි වගේ කියලා අධ්‍යක්ෂවරයාට දැන්නුවා. ඒත් අධ්‍යක්ෂවරයා දැක්වූයේ මාව නිකම් ගැළපෙන්නේ නැහැ වගෙයි. පිටපත් රචකයානේ දන්නේ චරිතයට මාව හොඳයි කියලා. එහෙයින් මාව ඒ චරිතයට තෝරාගෙන ළඟ ඇති තැනකට ගියා ඇඳුම් මහන්න දෙන්න. එවලෙත් අධ්‍යක්ෂවරයා මට අයුතු කතා බොහොමයක් කිව්වා.

* ඔබ ඒ නාට්‍යයෙහි දර්ශන තලයට ගියාද?

ඔව්. ඒ නාට්‍යයේ මුහුරත් එක තිබුණේ කොළඹින් දුර බැහැර පිහිටි එහි දර්ශන තලයේ. ඊට කලින් දවසේ රෑ නාට්‍ය කණ්ඩායම එහෙ ගියා. මට අධ්‍යක්ෂවරයා කතා කළා ඔහුත් එක්ක කාර් එකේ යන්න. මං බොරුවක් කියල ඔහුව මඟ හැරලා පිරිසත් එක්ක වෑන් එකේ ගියා.

* එහිදී මොකද වුණේ?

පළමු දවස් දෙකේ මට ෂූටිං තිබුණේ නැහැ. මේ අතරවාරයේ අධ්‍යක්ෂවරයා මට අයුතු විදිහට බලපෑම් එල්ල කළා. කරන යෝජනාවලට කැමැති වෙන්න කිව්වා. ඔහු මේ සියල්ල කළේ නාට්‍ය කණ්ඩායමේ අයට නොදැනෙන්න. මම ඉතින් එවාට සද්ද නැතුව හිටියා.

තෙවැනි දවස උදා වුණා. මම මේකප් එහෙම දාලා චරිතයට සූදානම් වුණා. මගේ පළමු දර්ශනය ගත්තා. ඉන් පසුව අධ්‍යක්ෂවරයා මගේ ළඟට ඇවිත් නැවතත් අයුතු යෝජනාවක් කළා. මං එවලේ තදින් හිටියා. ඔහු කියූ දේවල්වලට අවනත නොවුණු නිසා මාව ඒ මොහොතේ ඉඳලා එලෙව්වා. මං යන හේතුව කවුරුන් හෝ ඇහැව්වොත් කියන්න කිව්වේ මට රඟපාන්න බැරි නිසා යන්න වුණා කියලා.

* ඔබ එවෙලේ මොකද කළේ?

මං අන්ත අසරණ වුණා. රඟපාන්න බැරි නම් කොළඹදිම මාව දාලා එන්න තිබුණනේ. මේ වෙලාවෙ එතැන හිටපු ප්‍රවීණ ශිල්පීන්ටත් කර කියා ගන්න දෙයක් නැහැ. මාව බලෙන්ම වගේ එලෙව්වා. මං මහ පාරට ඇවිත් බස් එකක නැගලා කොළඹ ආවා. ඒ මනුස්සයත් එක්ක ෆීල්ඩ් එකේ හැමෝම තරහයිලු. ඔය වගේ වැඩ නිතරම ගැහැනු ළමයින්ට කරනවලු.

* ඒ බව දැන දැනත් ඔබ ඇයි ඔහුගේ නාට්‍යවලට සම්බන්ධ වුණේ?

ඉතින් ඔය වගේ යෝජනා කරලා බැහැ කියපුවම ඔච්චර අඩන්තේට්ටම් කරයි කියලා මම කොහොමද හිතන්නේ. ඔහු ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහකටත් වැඩියි. ඔහුට දැන් හැටත් පැනලා. අනේ දෙවියනේ ඔච්චර වයස ගිහිල්ලත් පොඩි ළමයකු වගේ හැසිරෙයි කියලා කීයටවත් මං හිතුවේ නැහැ.

* ඔබ දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

මං මේක දන්න දන්න හැමෝටම කියනවා. එතකොටවත් ඔහු ගැන තවත් අය දැනගන්නවනේ. අනික ඔයා දන්නවාද මගේ ඇඳුම් බෑග් එකත් තවම එහේ. මං ඉල්ලුවට ඔහු දෙන්නේ නැහැ. ඕනෙ නම් ඇවිත් ගන්නලු. මං මෙතනින් නවතින්නේ නැහැ.

* ඔබට මේ ක්ෂේත්‍රයේ තිබෙන තැන ගැන කියන්න පුළුවන්ද?

ඔව්. මං මේ වන විට ප්‍රීතිරාජ් වීරරත්න, රටගෙදර, මිචෙල් ෆොන්සේකා වැනි අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා තියෙනවා. ඔවුන් කිසිම කෙනෙක් මට කියලා නැහැ රඟපාන්න බැහැ කියලා. මේ ක්ෂේත්‍රය හරිම උතුම්. ඒ උතුම් බව අර වගේ අධ්‍යක්ෂවරු නිසා කෙලෙසෙනවා. අනේ එහෙම මිනිස්සු තිරිසන්නු වෙන්නේ ඇයි. ඒක තමා මටත් තියෙන ගැටළුව.