වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවට මේ සම්මානය ලැබුණේ පළමු වතාවට

ලංකාවට මේ සම්මානය ලැබුණේ පළමු වතාවට

වාර්තා වැඩසටහන් සඳහා සම්මානයෙන් පසු අතුල දිසානායක හමුවෙමු

‘වට රවුම’, ‘උඩරට මැණිකේ’ ආදී වැඩසටහන් නිර්මාණය කරමින් නරඹන්නන්ගේ ආදරය දිනාගත් අතුල දිසානායකට පසුගියදා ජාත්‍යන්තර සම්මානයක් හිමි විය. මේ වනවිට ඔහු 2006 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම කාලීන වැඩ සටහනට හිමි සම්මානයත්, 2007 දී හොඳම සඟරාමය වැඩසටහනට හිමි ජනමාධ්‍ය සම්මානයත්, 2010 වසරේදි හොඳම අධ්‍යාපන වැඩසටහනට හිමි රාජ්‍ය සම්මානයත් හිමි කරගෙන සිටියි. ඒ ඔහු නිෂ්පාදනය කළ ‘වට රවුම’ හා ‘උඩරට මැණිකේ’ වැඩසටහන් සඳහායි. මේ සාකච්ඡාව වෙන් වන්නේ ඔහුට මෙවර හිමි වූ ජාත්‍යන්තර සම්මානයත්, ඔහුගේ නිර්මාණ ජීවිතයත් අළලායි.

* ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කුමන අයුරින්ද?

මුලින්ම මම මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ 1990 වසරේදී. ඒ ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවෙක් විදියට දිනමිණ පුවත්පතටයි. ඒ වගේම මම රූපවාහිනියට සම්බන්ධ වෙන්නට පෙර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ජනමාධ්‍ය කියන දෙය විෂයයක් විදියට හැදෑරුවා. ඒ සුදුසුකම් ඇතුව ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙලා මම මේ වෙනකොට වාර්තා වැඩසටහන් අංශයේ නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කටයුතු කරනවා.

* පසුගිය වසරෙහි ඔබ ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගන්නවා. ඒ කුමක් සඳහාද?

‘මම මේ වැඩසටහන පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ ජාතික රූපවාහිනියටයි. ඒ ‘ස්කූලින් අලෝන් වයිල් ට්‍රැක්’ කියන වාර්තා වැඩසටහනයි. මෙහි සිංහල අදහස වෙන්නේ ‘වන මං පෙත දිගේ අකුරට’ කියන අදහසයි. මේ වාර්තා වැඩසටහන් යෝජනාවටයි මට සම්මානයක් ලැබෙන්නේ. ඒ පෑන් ප්‍රයිස් - 2013 සම්මානයයි. ‘පෑන් ප්‍රයිස්’ සම්මානය කියන්නේ ලෝකයේ නැගෙනහිර කලාපයේ තියෙන වාර්තා වැඩසටහන් සඳහා තිබෙන හොඳම උළෙලයි. මේ කටයුතු සියල්ලම සංවිධානය කරන්නේ NHK කියන රූපාවාහිනියයි.

ඔවුන් සම්මාන දෙන්නේ තරග අංශ දෙකක් සඳහායි. ඒ කරන ලද වැඩසටහන් හා ඉදිරියට කරන්න තියන වැඩසටහන් කියන අංශවලටයි. රටවල් 36 ක් මේ තරගය සඳහා තමන් කරන ලද වැඩසටහන් හා යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. අවසාන වැඩසටහන් පහේ ඉදිරිපත් කිරීම තිබුණේ ජපානයේ NHK රූපවාහිනියේ. එහි ජූරිය සාමාජිකයන් දොළහකින් සමන්විත වුණා. ඒ අතරින් තමයි මට මේ සම්මානය හිමි වන්නේ. මේ සම්මානයේ තිබෙන විශේෂත්වය වෙන්නේ ලංකාවේ රූපවාහිනියක් පළමුවරට මේ සම්මානය දිනාගැනීමයි.’

* ‘වන මං පෙත දිගේ අකුරට’ කියන මේ වැඩසටහන දිවෙන්නේ කුමන තේමාවක් මුලික කර ගනිමින්ද?

‘මේ වාර්තා වැඩසටහනෙන් කියැවෙන්නේ ලංකාවේ ගැමි පළාත්වල ළමයි පරිසරයත් එක්ක ජීවත් වෙමින් ඉගෙන ගන්න හැටියි. පරිසරය මැදින් පාසල් යන ගමනේදී ඔවුන්ගේ ජීවිතවලට යම්කිසි අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ අත්දැකීම් ලබමින් ඔවුන් කොහොමද තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නේ කියලා මේ වැඩසටහනෙන් අපූරුවට කියා පානවා. ඒ වගේම ගැමි ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින්, ඒවා ජය ගනිමින් අවදානම් සහගත පරිසරයක ළමයි හදා ගන්න හැටි තමයි මෙයින් කියැවෙන අනිත් කාරණය වෙන්නේ.’

* අනිත් වැඩසටහන් අභිබවා ඔබගේ වැඩසටහනෙහි යෝජනාවටම සම්මානයක් හිමිවීමට බලපෑ හේතුª සාධක මොනවාද?

‘මෙවන් සම්මාන උළෙලකදී ඇගයීමට පාත්‍රවීමට මූලික හේතු කාරණව ලෙස මා දකින්නේ මානුෂීය කාරණා සමඟ බැඳුණු දේවල් පිළිබඳ වැඩසටහනක් ඉදිරිපත් කිරීමයි. එයයි මගේ ඉලක්කය වුණේ. අනිත් කාරණය වාර්තා උළෙලේ ප්‍රධානම කාරණය වුණේ අධ්‍යාපනික අරමුණයි. ඒ අය, ඉදිරිපත් කරන වාර්තා වැඩසටහනේ තියෙන්න ඕනෑ කියලා අදහස් කළේ කවුරු හරි යමක් ඉගෙන ගන්න එක වගේම, ඉගෙන ගන්න විදිය ගැනයි.

මගේ මේ වාර්තා වැඩ සටහනෙන් කියන්නේ ළමයි පරිසරයත් සමඟ ජීවත් වෙමින් ඉගෙන ගන්න විදියයි. නාගරික පරිසරයක ඉන්න ළමයකුට වඩා ගම්බදව ඉන්න ළමයකුට නිදහස වැඩියි. අවස්ථා වැඩියි. ඒ නිසා ඒ අය ඒ පරිසරයෙන් හැම දෙයක්ම ඉගෙන ගන්නවා. මේ වැඩසටහන වඩාත් ඔවුන්ගේ ඇගයීමට ලක්වෙන්නේ එහි තිබෙන අධ්‍යාපනික වටිනාකමත් සමඟයි.

* මේ වාර්තා වැඩසටහන අනෙක් වාර්තා වැඩසටහනකින් වෙනස් වෙන්නේ කොහොමද?

‘වර්තමානයේදී ජාත්‍යන්තරයේ පවා වාර්තා වැඩසටහනක බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික කථනයත් සමඟ යන රූප පෙළකට එහා ගිය දෙයක්. ආකෘති හා අන්තර්ගත වෙනස්කම් එය සතුයි. උදාහරණයක් විදියට අප වාර්තා වැඩසහනක් ලෙස ගන්නේ සාම්ප්‍රදායික ඉතිහාසය ගැන යමක් කියලා ඒකට පසුබිම් කථනයක් දාලා කාගේ හරි අදහස් ටිකක් එකතු කිරීමයි. නමුත් වර්තමානයේදී වාර්තා වැඩසටහන් ගැනෙන්නේ වෙනස්ම විදියකටයි.

විශේෂයෙන්ම කාලීන, සමාජ සංසිද්ධි සහ මිනිසුන්ගේ මානුෂීය කාරණායි වර්තමානයේ ලෝකයේ වාර්තා වැඩසටහන් සඳහා පාදක වෙන්නේ. මගේ ඉලක්කය වුණේත් එයයි. මගේ වාර්තා වැඩසටහන අන් වැඩසටහන්වලින් වෙනස් වෙන්නේ එතනදියි. ඉදිරියේදී ජාතික රූපවාහිනිය HD තාක්ෂණයට යනවා. HD තාක්ෂණයෙන් තමයි මේ වාර්තා වැඩ සටහනත් නිර්මාණය වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඈත පළාත් කිහිපයක්ම මේ වැඩසටහන පාදක වෙනවා.

* මෙවැනි වැඩසටහනක් නිර්මාණය වීමේ සංකල්පය ඔබට ඇති වෙන්නේ කොහොමද?

‘මේ වැඩසටහනෙන් මූලික වශයෙන්ම පෙන්වන්නේ ළමයි පාසල් යන හැටියි. ඈත පළාත්වල ළමයි කිලෝ මීටර හතර, පහ එක පැත්තකට කැලේ මැදින් පාසල් යනවා. ඒක සුන්දර අත්දැකීමක්. නමුත් අවදානමකුත් තියෙනවා. ඒ වුණාට ඒ අය පරිසරයෙන් ඉගෙන ගන්නවා. ඒ අත්දැකීම මටත් තියෙනවා. මගේ ගම අම්පාර. මම පාසල් ගියේ අම්පාරේ දමන මහා විද්‍යාලයටය. මේ සංකල්පය බිහිවන්නට පිටිවහලක් වුණේ ඒ කාලයේ මා ලැබූ අත්දැකීීම් බවත් කියන්න ඕනෑ. අපි හැම දේම ඉගෙන ගත්තේ පරිසරයෙන් බව මට අද වගේ මතකයි.’