ඒ මගේ ජීවිතයේ දිගම රාත්‍රියයි
ඒ මගේ ජීවිතයේ දිගම රාත්‍රියයි
අසේල ජයකොඩිගේ බිරිය චාන්දනී
කලක් අප සමඟ කලා ලෝකයේ සහෘද රසවතුන්ව සිට අප අතහැර ගිය ඔවුන්ගේ පවුල් සාමාජිකයන්
සොයා යන ලිපි මාලාවක ආරම්භය.
අවරගිරින් මළහිරු සැඟවෙද්දී, වෙන කවර දිනකවත් නැති තරම් පාළු මූසල බවක් චාන්දනී ගේ
සිතට දැනෙන්නට විය. ඒ සවස් යාමයේ කොහේදෝ සිට පැමිණි පාන් කිරිත්තෙක් චානදනී දෙස බලා
දුක් ගීයක් මිමිනුවේය. සෙමෙන් සෙමෙන් රාත්‍රියේ අඳුර දලුලා වැඩී, කළු සළුව පොරවාගත්
නිසා, හනි හනිකට රිෂිනි සුරතල් දියණියටත්, බිනුර දඟකාර පුතණුවන්ටත් ඕ රාත්‍රී
කෑමවේල සරි කළාය. තම සෙනෙහෙබර පුතනුවන් සහ දියණිය යහනේ සැතපූ චාන්දනී, දෑස් කෙවෙනි
රිදෙනතුරු මහමඟ දෙස බලා සිටියාය.
ඒ තම දිවිය හා සමාන පෙම්බර සැමියා පැමිණෙන තුරුය.
නිදිවර්ජිතව මධ්‍යම රාත්‍රිය වනතෙක් සිටි චාන්දනී රාත්‍රී ආහාරයද නොගෙන තම සුරතල්
දරු දෙදෙනා අසලින් මදක් හාන්සි වූයේ සෙනෙහෙබර හිමිසඳ ගේ පැමිණීම අපේක්‍ෂාවෙන්ය.
ගෙයි වහලට ඉහළින් මූසල බස්සකුගේ හඬ ද ඇසුනි. කිසියම් සිදුවීමකට බියෙන් හඬ තලන
කිරළකුගේ හඬ ද ඕ සවන් වැටිණි. රාත්‍රිය වෙනදාට වඩා දිගු යැයි ඕ හට සිතුණු වාර ගණන
අපමණය.
පාන්දර දෙකේ කනිසම යාන්තම් ඔරලෝසුවේ සටහන් වූවා පමණි. ඕ හට ඇසුණේ පිටුපස දොරට
කවුරුන් හෝ තට්ටුකරනා හඬක්ය. වෙනදාටත් තම ආදර සැමියා පැමිණෙන්නේ පිටුපස දොරෙන්ය.
හනි හනිකට ගොස් දොර විවරකර බැලුවද කිසිවකු සිටියේ නැත. මීගමුව - කොළඹ ප්‍රධාන
මාර්ගය පෙනෙන මානයේ වැලිසර මේ නිවෙස පිහිටා තිබුණි. බලාපොරොත්තු සුන් වූ සිතින්
යුතුව ඇය නැවත දොර වැසුවාය. එසැනින් ඇයට ඇසුනේ වාහනයක් ගැටෙන හඬක්ය. රාත්‍රියට මහ
පාරේ වාහන ගැටෙන හඬ සාමාන්‍ය දෙයක් වුවත්, එදා නම් එය ඇයට අදහාගත නොහැකි සිදුවීමක්
විය. උදා වූ මූසල රාත්‍රිය ගෙවී යාමට තවත් හෝරා කිහිපයක් පමණක් තිබිණි.
රාත්‍රිය පුරාම නිදිවර්ජිතව සිටි චාන්දනී සහ දරු දෙදෙනා දැක ගැනීමේ නොනිමි ආසාවෙන්
පැමිණි ඔහු නිවෙස ඉදිරිපිටදීම සොරුන් ගෙන ගියා සේ රිය අනතුරකින් දෙව් මවු තුරුළේ
සැඟව ගියේය. ඒ අන් කවරකුවත් නොව,
අසේල ජයකොඩි නම් අප සහෘද හිතවතාය.
මීට වසර දෙකකට පෙරාතුව හදිසි අනතුරකින් ‘වියෝ’ වූ රංගන ශිල්පී අසේල ජයකොඩි ගේ මතකය
අපට පැවසුවේ ඔහුගේ පි‍්‍රය බිරිඳවන චාන්දනී ජයකොඩිය.
“නොනිදා පහන් කළ ඒ රාත්‍රිය මම ජීවිතයේ අත්විඳි දිගුම රාත්‍රිය වුණා. අසේලව රැගෙන
එයාගේ මිතුරන් රෝහලට ගියත්, මට හිතුනේම එදා රෑ අසේල ගෙදර ආවා කියන එකමයි.” ඕ දිගු
සුසුමක් හෙළමින් කතාව ආරම්භ කළාය.
“මගේ ජීවිතයට රූස්ස වනස්පතියක මෙන් ආරක්‍ෂාව ලබා දුන්නේ අසේල. අනූව දශකය මුල්
භාගයේදී සීගිරියට අසේලලා ගේ නාට්‍ය කණ්ඩායම ගියේ අපේ පවුලේ වාහනයක. ඒ ගමන අපේ පවුලේ
අයත් ගියා. ඒ ගමනේදී තමයි මම අසේලව මුල්වරට දැක්කේ. කාලයක් ගතවුණාට පස්සෙ අපි
පෙම්වතුන් වුණා. අසේල කතෝලික, මම බෞද්ධ වුණත් අපේ ගෙවල්වල ආශීර්වාදය ලබාගෙනයි අපි
විවාහ වුණේ.
ප්‍රමෝදමත් වූ අතීත ස්මරණයක යෙදුනත් ඇගේ නෙත් අඟින් සිහින් කඳුළක් ගලා ගියේ දුක්බර
සිහිනයකින් අවදි වූවක් ලෙසින්ය.
මදක් නිහඬව කල්පනා සයුරක සිටි ඕ දිගු ගැඹුරු සුසුමක් පිටකරමින් යළිත් මතකය අවදි
කළාය.
“අසේල හඳහන ගැන ලොකු විශ්වාසයක් තියාගත්තේ නැහැ. නමුත් හඳහනේ මේ අනතුර ගැන, එයාට
තියෙන අපල ගැන කියලා තිබුණා. එයාට කන්න නැතත් අනෙක් අය ගැන බලපු මනුස්සයෙක් අසේල.
මේ රට වටේම එයාට මිතුරන් පිරිලා හිටියා. ගමේ මරිය හමුදාවේ (කතෝලික තරුණ සංගමය) හැම
වැඩකටම එයා ආවා. එයා හරිම කාර්යබහුල වුණත් මටයි, දරුවන්ටයි යුතුකම් ඉටුකරන්න
කවදාවත් අතපසු කළේ නැහැ. ඒ වගේම හරිම සංවේදී චරිතයක්.
දවසක් අපේ ගේ ඉස්සරහා දුප්පත් මනුස්සයෙක්, කොළේකට දාගෙන මඤඤොක්කා වගයක් කනවා දැකලා
ඒ මනුස්සයට ගෙට අඬගහලා, එයා කන පිඟානටම කන්න දුන්නා. ඒ තරම් මනුස්සකම්වලින් පිරුණ
කෙනෙක් අසේල.
අසේල ගැන ගුණ කියන ගමන් ඇය අසේල හා දරුවන් දෙදෙනා සිටින ඡායාරූපයක් ගෙන බලා
සිටින්නීය. නෙතඟට පැමිණි කඳුළ එහි වීදුරුව මත වැටී විසිරී ගියේ සියලු දේ අනිත්‍යයයි
කියන දහමට නව අරුතක් ද ලබා දෙමින්ය. ඇය පුටුවෙන් නැගිට නිවෙසේ ආලින්දයේ ඇති ජේසු
තුමන්ගේ පිළිමය හා බුදු පිළිමය අසලට ගියේ දිගු සුසුමක් පිටකරමින්ය.
මම මේ ගෙදරට මුලින්ම ආපු දවසේ අසේල මට මේ බුදු පිළිමය ගෙනත් දීලා ඒ පිළිම වහන්සේත්,
ජේසු තුමන් ළඟින්ම තැන්පත් කළා. එයාට කිසිම ආගම් බේදයක් තිබුණෙත් නැහැ.
එයා නිවෙසේ රැඳෙන වෙලාව බොහෝ දුරට අඩුයි. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාව කරන ගමන්
එයා කලා කටයුතුවල නියැළුණේ. ඒ නිසා එයා මේ ගෙදරම දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට
අවශ්‍ය ඉඩකඩ මට හදලා දුන්නා. මේ මිදුලේ තියෙන හැම සැරසිල්ලක්ම, මේ ඔන්චිල්ලා එයා
අතින්ම හදපුවා. අද මට මේ හැම දෙයක්ම දකිනකොට එයා මේ හැමතැනම ඉන්නවා වගේ දැනෙනවා.
එයාට අනතුර වෙන වෙලාවේ ඇඳගෙන හිටියේ මට එයා අරන් දීපු ටී ෂර්ට් එකක්. ඒක මම අදටත්
මගේ අල්මාරියේ සුරැකිව තියාගෙන ඉන්නවා. එයා මගෙත්, දරුවන්ගෙත් ආරක්‍ෂාව හැමදාම පතපු
කෙනෙක්.
රූස්ස ගහක් වගේ අපි තුන් දෙනාට සෙවණ දුන්නා. අසේලගේ සිතිවිලි තාමත් මා සමඟ ජීවත්
වෙනවා. ඒ රූස්ස ගහ මේ ලෝකයෙන් දෘශ්‍යමාන නොවුණත් අදටත් මම දන්නවා ඔහු අපිව ආරක්‍ෂා
කරන බව.
මහේන්ද්‍ර පෙරේරා ඇතුළු බොහෝ කලාකරුවෝ ඔහුගේ නමින් අරමුදලක් පවා ඇති කළා. ඔහුගේ
මිතුරන් අදටත් මේ නිවෙසට පැමිණෙනවා. ගිහාන් ප්‍රනාන්දු අසේලගේ ළඟම හිතවතෙක්, ඔහු
විදෙස් සංචාරයක ගියොත් අසේලගේ මේ දරුවෝ දෙන්නාටත් මොනවාහරි ගෙනත් දෙනවා.
අදටත් මහරෑට මාව ගැස්සිලා ඇහැරෙනවා. අසේල කොහේ ගියත් රෑට එන්නේ පිටිපස්සේ දොරෙන්.
මට හිතෙන්නෙම අසේල හැමදාමත් අපි තුන්දෙනා දිහි බලාගෙන ඉන්නවා කියලා.
රිෂිනි දියණියත්, බිනුර පුතණුවනුත් තම සෙනේබර පියාගේ සේයාරූ දෙස බලා සිටින්නේ
වාවාගත නොහැකි ශෝකයෙන්ය.
“මට අසේලව වැඩියෙන්ම මතක්වෙන්නේ මගේ බිනුර පුතාව දකිනකොට. අසේල නැති වුණා කියලා
දුක්වෙනවට වැඩිය එයා වෙනුවෙන් මේ ලෝකෙ කරන්න තියෙන යුතුකම් ඔක්කොම ඉටුකරන එක තමයි
මගේ අරමුණ.”
සෙනෙහෙබර සැමියකුගේ අකල් වියෝව දරාගත නොහැකි වුවත්, ඔහු වෙනුවෙන් මෙලොව යුතුකම්
ඉටුකරන දිරිය දියණියක්වන චාන්දනී ජයකොඩි, අසේල ජයකොඩි නම් රංගධරයා ගේ ජීවන මගේ
පමණක් නොව මේ සසර පුරාවටම සහකාරිය වන්නටද පෙරුම් පුරන්නීය.
සටහන -
සංජීව සම්පත් බාලසූරිය
සේයා - අමිත් එස්. සේනාරත්න
|