වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




එදා සිනා පිරි මුවක අද කඳුළු කතාව . . .

එදා සිනා පිරි මුවක අද කඳුළු කතාව . . .

මර්සි ජීවත් කරන්න ඔබේ සහයෝගය දෙන්න . . .

එදින කොළඹ ජෝන් ද සිල්වා රඟහල අතුරු සිදුරු නැතිව පිරී ගිය දිනයකි. ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍ය ඒ මොහොත වන විටත් වේදිකාවේ රංග ගතවෙමින් පැවතිණ. ප්‍රේක්ෂකාගාරය මීයට පිම්බාක් මෙන් සන්සුන්ය. ඊළඟට ඇත්තේ කොයි කවුරුත් පුල පුලා බලා සිටි අවස්ථාවය.

තත්පරයක්වත් ගතවන්නට මත්තෙන් විශාරද ගුණදාස කපුගේ නිමැ වූ මියුරු සංගීත ඛණ්ඩය ඇසෙන්නට පටන් ගත්තේය. හිස් වූ වේදිකාව මත ඇගේ රුව මැවුණේය.

දිගු ගවුමකින් සැරසුණු ඇයගේ අතෙහි කුඩයකි. එය කරකවමින් කෙටි පියවර තබමින් ඇය දැන් ගීතයට අනුව ඇයටම ආවේණික වූ රංගනයකය.

මඩේ ලගින තාරාවන් නාවන්නද මං

ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං

චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං

එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං

 

 

ගත වූයේ සුළු මොහොතකි. මුළු ප්‍රේක්ෂකාගාරයම ඇගේ අපූර්ව ගී හඬට ආකර්ශනීය විය. ඇයගේ නමට අකුරු තුනකි. එනමින් මුළු රටම ඇය හඳුනයි.

මර්සි එදිරිසිංහ.

ඇය ගැන ඇයටත් වඩා ප්‍රේක්ෂකයන් හොඳින් දනිති. ඇනස්ලි, බර්ටි, සැමුවෙල් එදා මැවූ විනෝද සමයේ එකම කාන්තා රුව ද ඇයම විය. ඇත්තෙන්ම කිව්වොත් මර්සි මුලු රටම නැළැ වූ කලාකාරිණියකි. මේ කියන්නට සැරැසෙන්නේ අප ආදරය කළ ඒ මර්සි පිළිබඳ කඳුළු කතාවකි.

ඇගේ හැට නව වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේය. ඒ වන විටත් වේදිකාවේ පවා ඇය රැඟුම් පෑවේ තරුණියකටත් වඩා ජවයෙනි. එහෙත් අද ඇය වරකපොල සිය මහ ගෙදරට වී සිටින්නේ දැඩි ලෙස රෝගාතුරවය. වෛද්‍යවරුන් කියා ඇති පරිදි ඇයට කතාබහ කිරීම තහනම්ය.

දෙතුන් වතාවක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත්ත ද ඇයට එතරම් හෝ ගුණයක් පෙනෙන්නට නැති බව කීවේ ඇගේ නැගනියකි. කෙසේ නමුත් ඇයගේ සුව දුක් විමසීම සරසවිය අපගේ යුතුකමක් වන හෙයින් අප ඇය සොය ඇගේ නිවහනට ගියෙමු.

අදින් වසර දෙක තුනකට පෙර දිනෙක මර්සි වරකපොළ මහ ගෙදර කටට රසට ආහාර වර්ග ලබාගත හැකි ආපන ශාලාවක් විවෘත කෙරිණ. එදා එතැනට යද්දී මොහොතක් මොහොතක් පාසා ඇගේ සිනා හඬ අවට සිසාරා ගිගුම් දුන්නාය. එහෙත් අද . . . කාලය මවනා වෙනසක තරම. හුදකලා වූ ඇය නිහඬය. සුළු වේලාවක් ගත වූ තැන මර්සි අපව හඳුනා ගත්තාය.

ඩොක්ටර්ස්ලා නම් කිවේ කතා කරන්න එපා කියලා. ඒත් එහෙම ඉන්නේ කොහොද මං?

මොකද මේ හදිසියෙම වුණේ?

මේ ඔක්කොම පටන් ගත්තේ 2014 මගේ ඔපරේෂන් එකෙන් පස්සේ. ඒත් එක්කම මට කොන්දේ අමාරුවක් ආවා. එන්න එන්න ඒක වැඩි වුණා. පරීක්ෂණයකින් අනතුරුව දැනගන්නට ලැබුණේ කොඳු ඇට දෙකක් නිතර ගැටීමෙන් තමයි මේ කැක්කුම ඇති වෙන්නේ කියලා. බෙහෙත් ගත්තා. නොයෙක් ට්‍රීට්මන්ට් කළා. ඒත් හරි ගියේ නැහැ දරුවෝ. දැන් හොඳටම වැඩි වෙලා. ඒත් එක්කම ෂුගර් එහෙමත් නැගලලු. අනේ මන්දා . . .?

මර්සිගේ සුසුම් හඬ මිහි කත ද කම්පා වන්නට ඇත. තවත් ඇය වෙහෙස කිරීමට සිත් නොදේ.

අක්කා කොන්දේ අමාරුව තියාගෙනත් රඟපෑවා. එයාට ඕනෑ වුණේ කලාව වෙනුවෙන් හැමදාමත් ඉන්න.

මර්සිගේ නැගනියක් මර්සිට නෑසෙන්නට අපට කීය.

ෆීල්ඩ් එකේ අය දන්නවද මර්සි අක්කා අසනීප වෙලා කියලා?

පහුගිය උපන් දිනයට ජනාධිපතිතුමා කතා කරලා සුබ පැතුවා. ඒත් එක්කම අක්කට අසනීප වූණයින් පස්සේ එතුමා, සංස්කෘතික ඇමැතිතුමාට දන්වලා තිබුණා. ඇමැතුමාත් ගොඩක් උදවු කළා. විශේෂයෙන් ඒලියන්ත ඩොක්ටර්. ඒ වගේම රූපවාහිනී හඬ කැවීම් අංශය සහ ස්වාධීන රූපවාහිනී නාළිකාව අක්කා වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කරන්න ඉන්නවලු.

නැගනිය තවදුරටත් පැවසුවාය.

මේ කතාව අතුරතරදී මර්සි බෙහෙත් අහුරක්ම ගිලිනු මට පෙනිණ. ඇගේ සිනා හඬ අද නොඇසී මේ නිවෙසට මෙන්ම අප හදවත්වලට ද මහත් වූ සංවේගයක් ගෙන ආවේය. මර්සිගේ ධෛර්යය පරදවා නැගී ආ රෝගී තත්ත්වය ඉක්මනින් දුරු වේවා යැයි මේ මොහොත වන විට නොඅනුමානව ඔබේ පැතුම ද වන්නට ඇත.

කෙසේ නමුත්, පසුවට ද සඳහන් කරන්නට දෙයක් ඇත. ඒ මර්සි ඇතුළු ඇගේ මහගෙදර පදිංචිව සිටින අයවලුන්ගේ ආර්ථික තත්ත්වය මේ වන විට ශූන්‍ය අගයට පත් වෙමින් තිබීම ගැනය. ඔවුන් සතු වත්කම් බොහොමයක් මර්සිගේ අසනීපයට අවැසි බෙහෙත් වර්ග ලබා ගැනීමට වැය කොට ඇත. මිනිස්සුන්ගේ ජීවිතවලට කරදර එන්නේ රංචු පිටිනි.

ඒවාට මුහුණ දෙන්නට ඇතැම් විට හයියක් නැති වන්නට පුළුවන. ඒ මොහොතේදී නිබඳව නැඟී සිටින්නට හයිය දෙන්නේ සමාජයේ වෙසෙන හොඳ මිනිසුන් විසිනි. අප අතර එවන් වුූ බෝසත් ගුණයන්ගෙන් හෙබි මිනිසුන් අනන්තවත් සිටිති. ඒ අයගෙන් මර්සි මේ මොහොතේ උදව්වක්, උපකාරයක් අයැදියි.

0700- 01020486-101 වරකපොල සෙලාන් බැංකුවට හැකි මුදලක් බැර කොට ඔබ ලබාදෙන සහයෝගය ඇයට කරන්නා වූ මහඟු සත්කාරයකි. හදවතට තට්ටු කොට බලන්න, ඔබ මර්සිගේ රංගනය බලා සතුටු වී නැති ද කියා. හදිසියේවත් මර්සිගේ අසනීපය උත්සන්න වුවහොත් ඇයව ඇතුළත් කරන්නට සිදු වන්නේ කුමන රෝහලකටදැයි හිතා ගන්නට බැරිය.

වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව මර්සිට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්ම කඩිනමින් සිදු කළ යුතුය. මේ කටයුතු ඉතා ඉක්මනින් සිදු නොවුණොත් රටක් වටිනා මර්සි එදිරිසිංහ අප හිතාදර කලා ශිල්පිණියගේ ජීවිතය අනතුරෙහි වැටෙනු ඇත. අප කෙසේ හෝ මර්සිව තවත් කාලයක් ජීවත් කරවමු.