වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව මිහිර නොබලා - රස සිහින පෙනිලා මගෙ මැණික සුවසේ නිදී

ලොව මිහිර නොබලා - රස සිහින පෙනිලා මගෙ මැණික සුවසේ නිදී

මෙවර මතක ගී පොතට සිය හදවත විවෘත කරන්නේ සුනිල් විමලවීරය. සිය සිතැඟි රැඳුණු මතක සිහිපත් කරන සොඳුරු ගී පද වැල් පිළිබඳ ඔහු මෙසේ ආවර්ජනයක යෙදෙයි.

උස්වැටකෙයියාව මුහුදු තීරයෙහි සැංගෙන බැස යන හිරුගේ රශ්මිය හා මුසුවුණු මදනල ගත සිප ගන්නේ රාත්‍රිය පැමිණ වග අපට දක්වමිනි. සෙමෙන් සෙමෙන් ළඟාවන අඳුරට හොරෙන් මෙන් අහස් තලයෙහි ඈතෙන් සඳු එබී බලනු පෙනේ. වරින් වර එකින් එක තාලයට දැල්වෙන නියෝන් එළි නිසා මුළු කැලණි පුරවරයම සැණකෙළියක වෙස්ගත් වැන්න.

සැණකෙළියෙන් මිදී නිහඬ බවෙහි ගිලීමට පි‍්‍රය කරන කැලණි ගං කොමළිය අසලට අපි ළංවීමු. ඈ නිහඬය. නිසලය. නමුදු ඒ නිහඬ, නිසල බව අතරෙන් ගලායන කෝමළ ගං රැළි, රැළි නඟා තාලයට මුමුණන ගීය අසා සිටින්නට කවදත් මම පි‍්‍රය කළෙමි.

“රාත්‍රිය මනරම්”

මට සිතුණේ ඉබේටමය. ඒ මනරම් බව විඳින්නට මා හා පැමිණි මිතුරන්, කෝමළ ගං රැළි, රැළි නඟා මුමුණන ගීයට ආශක්ත වූ සැටියෙකි. මම හාත්පස බැලීමි. ගං ඉවුර අසල ගැවසුණු බෝවිටියා පඳුර මද නල හා මුසුවී වැනෙන්නේ ගං කොමළියට අත වන්නා සේ ය. එවිටම බෝවිටියා මලෙහි පෙති හා රේණු එකින් එක ගිලිහී ගංදිය මතට පතිත වී පාවයයි. මාදම් පඳුරෙහි මල් හා රේණු ද ඊටම එක් වී පාව යන්නේ සිය කළණ මිතුරා හා අත්වැල් බැඳ ගන්නට ලැබුණු විරල අවස්ථාවෙන් ප්‍රමුදිත වෙමිනි.

මේ මනරම් දසුනෙන් නෙත ඉවතට ගත්ම අප නෙත ගැටුණේ ඔරු කිහිපයකි. අප එනතුරු මඟ රැක සිටියා මෙන් වූ ඔරු මතට ගොඩ වැදුණු මම හබල අතට ගතිමි. ගං ඉවුරෙන් ගංදිය සොයා ඇදෙන ඔරුව අසලෙන් උඩ පැන දියට පනින මසකුගේ දැඟලුම චමත්කාරය. ගංදිය මත මල්රේණු විසිරී ඇත්තේ ඇතිරිල්ලක් එලුවා සේ ය. සඳකැන් දහර වැදී දිලෙන ගංදිය රිදී පැහැයෙන් බබළයි. ඒ මත්තේ අපි හබල් ගෑවෙමු. අපට සිහිපත් වූයේ තොටිල්ලක වූ සුවදායක බවකි.

එදවස නිවෙසියනට හොරෙන් ගිය ඒ කැලණි ගං කොමළිය හා බැඳුණු සොඳුරු සෞන්දර්ය චාරිකාව මතකයට නඟන මේ ‘ගීතය නිතර අසන්නට මම පි‍්‍රය කරමි.

ඕලු නෙළුම් නෙරිය රඟා - ලා

කිකිණි හඬන වලා නඟා - ලා

ගඟුල් තොටිල්ලේ - මල් ඇතිරිල්ලේ

මගේ කුඩා ඔරුව හබල් ගා

යමු නැලවිල්ලේ - නැලවිල්ලේ - නැලවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ...

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ...

 

කිරල – කිරලි කූඩුවේ ලගී

කුරුලු පන්ති නාද දී නඟී

නැඹුරු වී බලා - කුඩා සුදු වලා

ඔබේ රුවට වශී වෙලානේ

 

යමු නැලවිල්ලේ - නැලවිල්ලේ - නැලවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ...

කබරගොයා උගේ සුරතලී

සොයා ඇදේ නගා දිය සුළී

 

කොකුන් කිරි වගේ – නැගේ වෙල දිගේ

බත් කොකුන් රැළෙක හැඩයිනේ

යමු නැලවිල්ලේ - නැලවිල්ලේ - නැලවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ...

 

ගේය පද – මර්සලීන් ජයකොඩි පියතුමා

සංගීතය - සුනිල් ශාන්ත

ගායනය - සිසිර සේනාරත්න

 

 

ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් සොඳුරු අධ්‍යක්ෂවරයාගේ ‘රේඛාව’ චිත්‍රපටයෙහි ගැයෙන මේ ගීතයෙහි හා රූප රාමුවල අපූර්වත්වය මා සිතට පිවිසේ. ඒ මිහිරියාව තව තවත් මිහිරියාවෙන් සරසන බව කියන්නේ මේ ගීතයෙහි ගේය පදයි. චිත්‍රපටයෙහි දර්ශනයට උචිත අයුරෙන් පෙළ ගැසුණු ගේය පද, ගීතය අසන්නාගේ මතකයෙහි ඉබේම තැන්පත් වෙයි. ඒ පද අපට සිහිපත් කරන්නේ මුතු ඇටයක අගය ය. සංස්කෘත කාව්‍ය රීතිවල අගය දත් ගීපද රචකයකුගේ අගය කියාපාන මේ ගීතයෙහි යොදා ගත් ‘ල’ කාරය ගීතයෙහි අර්ථය ත්‍රීව කරයි. ‘ල’ කාරය ඊට අපූරු ඇයුරින් ගැළපේ. ගංදිය හා මුසුවුණු ගීයෙක තිබිය යුතුම වූ ‘ල’ කාරයෙන් ඊට උපරිම සොඳුරු බවක් මුසුකර ඇත. ‘ල’ කාරය අප මතකයට නංවන්නේ රාහුල හිමියන් ලියූ සැළලිහිනි සංදේශයෙහි කවියකි.
 

“නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන”

ඒ කවියෙහි සුන්දරත්වය වඩාත් ඔපවත් වී ඇත්තේ ‘ල’ කාරයෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි පසුබිමක් පිළිබඳ කියැවෙන ගීතයකට කාව්‍ය ප්‍රයෝග යෙදිය හැක්කේ දක්ෂ කවියෙකුට පමණි. කවියක් ලිවීමට මෙන් ගීතයක් ලිවීමට කාව්‍ය ප්‍රයෝග නොමැති වුවද, දක්ෂ ගීත රචකයෙකු කවියෙහි ප්‍රයෝග ගීතයට යොදා ගැනීමෙන් කියැවෙන්නේ ගීත රචකයාගේ දක්ෂතාවයය. මේ ‘ගීතයට යෙදූ සුනිල් ශාන්තයන්ගේ සංගීතය මනරම් බව සැබෑය. පදවලට උචිත අයුරෙන්ද චිත්‍රපටයෙන් පසුබිමට උචිත අයුරෙන්ද සංගීතය මිහිරි ලෙස යෙදුණාද යමක් කිවයුතු යැයි මම සිතමි. ඒ ගීතයෙහි රිද්මය ගලායෑමේ වේගය ඉක්මන් වීම ගීතයට අනුචිත බවය. ගීතයෙහි ඒ රිද්මය ගලායෑම ඉක්මන් නොකළේ නම්, අද විඳිනවාටත් වඩා සුන්දර අයුරෙන් අපට ගීතය විඳිය හැකි බව ද මම පවසමි.

සුනිල් විමලවීරගේ සිතැඟි බැඳුණු මේ ගීතය ද සිය මතකය රැගෙන යන්නේ අතීතය වෙතටය.

අලෝකේ පතුරා - මුළු ලෝකේ ඔපලා

චන්ද්‍රා හෙමින් එයි නැඟී

ලොව මිහිර නොබලා - රස සිහින පෙනිලා

මගෙ මැණික සුව සේ නිදී

කොවුලන්ගේ මධු ගීත - සුළඟෙන් ගෙනා සීත

සුවදායකයි රෑ මෙහී

 

ඕ..ඕ..ඕ..

සියතුන් හඬන්නේ - මොනරුන් රඟන්නේ

නෑ ඔවුනුත් නිදියා ගනී

කොඳමල් සිනාසෙයි - නිල් විල් ජලාසේ

රන හංසයෝ පීනතී

සඳකැන් බිබී නෑවෙතී

 

ඕ..ඕ..ඕ..

කිංකිණි නොසොල්ලා - නටමින් වරෙල්ලා

මගෙ මැණික සුව සේ නිදී

ම්...ම්...ම්...

 

ගේය පද – හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - සිසිර සේනාරත්න

ගායනය - සිසිර සේනාරත්න

 

 

අඹගසේ කොළ අතරෙන් එබී බලන සරා සඳෙහි සඳ කිරණ සෙමෙන් සෙමෙන් විවර වූ කවුළුවෙන් පිවිසෙන්නේ ඔබ දැකුමටය. පරිසරයෙහි නිසල බව අතරෙන් හෙමි හෙමිහිට පිවිසි මදනල, සඳ කිරණ සමඟ තරගයකි. ඒ විවර වී කවුළුවෙන් ඔබ දැකුමටය. සඳ කිරණෙහි වෙළුණු මඳනල නඟන සීතල නිසා සුදු දුවේ, නුඹ සිය මවට තව තවත් තුරුළු වනු මට පෙනෙයි.

අගේ උණුසුමට ගුලිවී නිදන නුඹේ වත මත සනිටුහන් වී ඇත්තේ සොඳුරු සිනහවකි. ඒ සොඳුරු සිනහව අතරතුර නුඹ කා සමඟදෝ කතාබහක නියැලෙන අයුරු මම දුටිමි. නුඹ අවදි වේදෝ බියෙන් ඇඟිලි තුඩු තබා ඇවිද යන මම නුඹගේ සොඳුරු සිනහවෙන් හදවත සිරකර ගතිමි. යළිත් මට නුඹගේ සුවඳ විඳින්නට සිතේ. එවිට මම ඇඟිලි තුඩු බිම ඔබා සෙමෙන් සෙමෙන් නුඹ ළඟට ඇවිද එමි. මේ ගීතය ගයා මම නුඹව තව තවත් නිදිදෙව් දුව වෙත රැගෙන යමි. ඒ නිසා අභිෂේක දෝණියේ, මේ ගීතය ඇසෙන විට මගේ මතකයේ ඒ අතීතය යළි යළිත් උපදියි. යළි යළිත් සක්මක් කරන ඒ අතීතයට මම බෙහෙවින් ආදරය කරමි.

‘හඳපාන චිත්‍රපටයේදී ගැයෙන මේ ගීතය ඇසෙන කුමන මොහොතක වුවද මම ඒ අතීතයට යළි ඇවිද යමි. චිත්‍රපටය පිළිබඳ නොදන්නා කිසිවෙකු මේ ගීතය ඇසුවහොත් බිලිඳෙකුට කියන ගීතයක යැයි රැවටෙනු නියතය.

සිය පෙම්වතියගේ නිදි සුවය පිළිබඳ සිතන පතන පෙම්වතකුගේ හදවතෙහි උපදින සිතිවිලිවලින් උපත ලද ගීතය කොතරම් සොඳුරු දැයි මම නොයෙක් වර සිතමි. රාත්‍රියෙහි සොඳුරු බව කෙතරම් ද යත් මා සිතට පිවිසෙන්නේ නිතැතිනි. ඒ සොඳුරු රාත්‍රියෙහි සිය පෙම්වතිය සොයා එන පෙම්වතා නිදි සුව විඳින සිය ප්‍රේමවන්තියව අවදි නොකරයි. ඔහු පරිසරයෙහි වූ මේ සොඳුරු බව තනිවම විඳිමින් ඇයට නිදි සුවය පතයි. ඒ අගේ නිදි සුවයට බාධාවන අයුරෙන් නොවේ. සීත මදනල හා මුසුව එන කොවුලන්ගේ මිහිරි නාදය සිය ප්‍රේමණියට සුවදායකය.

වෙනදා ඇසෙන සියතුන්ගේ නාදයත් මොනරුන්ගේ නැටුමත් අද දක්නට නොවේ. ඔවුන්ද අද නින්දේය. සඳකැන් දහරෙන් නැහැවෙන ගහකොළ ද, එහි රැස් දහර වැටීමෙන් දිලෙන ජලාශය හා සඳකැන් දහරෙන් නැහැවෙමින් රණ හංසයන් පිහිනන්නේ පී‍්‍රතියෙනි. සඳරැස් දහරේ මනරම් දසුනෙන් වශීකෘතව නටන සුරඟනන්ට සිය පා බැඳි කිංකිණි නොසොල්ලා නටන්නයැයි පෙම්වතා ඉල්ලීමක්ද කරනුයේ සිය පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීමේ අපූර්ව ආකාරය එය යැයි ඔහු සිතන බැවිනි. අවසානයෙහි ඔහු ඇයගේ නිදි සුවය වඩාත් අර්ථවත් වන්නට ම්... ම්... ම්.... යන ස්වරය යොදා ගනුයේ අපට නැළවිලි ස්වරය සිහි ගන්වමිනි. සුදු දුවේ, නුඹගේ මව නුඹට නිදි දෙව්දුව වෙත රැගෙන යන්නට යත්න දරන අයුරු මට මැවි මැවී පෙනේ.

අපූර්ව පද පෙළකි. මම ඒ පද පෙළ සමඟ ගීතයෙහි තනුවෙහි මිහිරි විඳිමින් අතීතය සොයා යමි.