|
තබ්ලාව සමඟ සම්මාන දිනූ පුංචි පුතෙක්
නලිංක කාවින්ද මහර ජනාධිපති විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන පුංචි පුතෙක්. ඒ වගේම නලිංක ඉස්කෝලේ කා අතරත් හරිම ජනප්‍රියයි. තවම අට වසරේ ඉගෙන ගත්තත් හරිම අපූරුවට තබ්ලාව වාදනය කරන නිසා තමයි නලිංක මේ තරමට ජනප්‍රිය. ඒ විතරක් නෙවෙයි නලිංක තමන්ගේ දක්ෂතාව පසුගිය දවසක හැමෝටම පෙන්නුවා. ඒ 2013 සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ ඒකල තබ්ලා වදන (පිරිමි) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින්.
* නලිංක පුතාට ගොඩක් සතුටු ඇති නේද පළමුවැනියා වුණ නිසා? ඔව් ගොඩක් සතුටුයි. සමස්ත ලංකා තරඟයකින් පළමුවැනියා වුණේ පළමු වතාවට. 2012 වසරේ මේ අංශයේම පළාත් දෙවැනි ස්ථානය ලැබුණා.
* ඔයා පුංචි කාලේ ඉඳලාම සංගීතයට කැමැතියිද? මගේ තාත්තා ප්‍රියන්ත චන්ද්රදීප්ත. දක්ෂ තබ්ලා වාදකයෙක්. මම පුංචි කාලෙත් ගෙදර තිබුණ තාත්තාගේ තබ්ලාව වාදනය කරන්න හදනවාලු. ඒ නිසා මොන්ටිසෝරි යන කාලෙදිම තාත්තා මට තබ්ලා වාදනය පුරුදු කළා. මොන්ටිසෝරියේ කොන්සට් එකේ ගීත දෙකකටමත් මම තබ්ලා වාදනය කළා. ඊට පස්සේ දෙක වසරේ සිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිල්ටස් දයාවංශ ගුරුතුමාගෙන් තබ්ලා වාදනය ඉගෙන ගන්නවා. ඉස්කෝලෙදි සුමිත්‍රා ගුරුතුමියගෙන් සංගීතය ඉගෙන ගන්නවා. ඊට අමතරව ගායනය වගේම වයලින් වාදනයත් ඉගෙන ගන්නවා.
* ඉස්කෝලෙදි සංගීතය හැර කැමැතිම විෂයන් මොනවාද? හැම විෂයකටම ගොඩක් කැමැතියි. බුද්ධ ධර්මය ඉගෙන ගන්න ගොඩක් ආසයි. මම දහම් පාසලුත් යනවා.
* නලිංක ලොකු වුණාම කවුරු වෙන්න ද කැමැති? අනාගතයේදී සංගීතය ගැන කථිකාචාර්යවරයෙක් වෙන්න කැමැතියි.
* ඔයාගේ පවුලේ විස්තරත් කියන්නකෝ? මගේ පවුලේ අම්මයි තාත්තායි මමයි අක්කයි ඉන්නේ. අම්මා චන්ද්‍රා රෝහිණී. පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අක්කා සුපිපි කාවින්දි. මහර මහමායා බාලිකාවේ ඉගෙනුම ලබනවා. අක්කත් සංගීතය හදාරනවා. මගේ අම්මා, තාත්තා, අක්කා වගේම ඉස්කෝලේ හැමෝමත් මට ගොඩක් උදව් කරනවා. ඒ හැමෝටම වගේම මට සහාය වාදනයෙන් උදව් කළ තරුෂ අයියාටත් මම ගොඩක් ස්තූති කරනවා. නලිංක පුංචි පුතාට සංගීත ක්ෂේත්රයේ වගේම අධ්‍යාපනයෙනුත් ඉහළටම යන්න සරසවිය සුබ පතනවා. ඒ වගේම 0716298436 අංකයට රසික ඔබටත් සුබ පතන්න පුළුවන්.
|