|
නිවේදකට බොඩිගාඩ් කෙනෙක්ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් වන සුජිත් පරණවිතානට පසුගිය දවසක තමන්ගේ අලුත් වැඩසටහනක් වෙනුවෙන් නිවේදකයෙක් අවශ්‍ය වෙලා තිබුණා. කවදත් අලුත් විදියට වැඩ කරන සුජිත් මේ වැඩසටහනට රූපවාහිනියේ නිතර දකින මුහුණුවලින් බැහැරුව වෙන කෙනෙකු යොදා ගන්න අදහස් කළා. සුජිත් මේ බව මුලින්ම කිව්වේ අපේ හිතවත් මාධ්‍ය හිතවතෙකුටයි. මේ හිතවතාත් බොහොම හොඳට කල්පනා කරලා දක්ෂ තරුණ නිවේදන කටයුතුවල නිරත මාධ්‍ය සගයෙක්ව සුජිත්ට හඳුන්වලා දුන්නා. හඳුන්වලා දුන්නා විතරක් නෙවෙයි මෙන්න මෙහෙම දෙයකුත් ඔහුට කිව්වා. ‘මචං මිනිහාගේ අනවුන්සිං නම් නියමයි. බය වෙන්න දෙයක් නැහැ. නියමෙට වැඩේ කරයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. හිටපු ගමන් මේ හාදයා අතුරුදන් වෙන වෙලාවලුත් තියෙනවා. මං අරහෙට ගිහින් එන්නම්, මෙහාට ගිහින් එන්නම් කියලා යනවා. ඊට පස්සේ හොයා ගන්න අමාරු වෙනවා උඹට පුළුවන් නම් මිනිහා ළඟින්ම තවත් කෙනෙක්ව තියපං. නැත්නම් උත්සවය වෙලාවට නිවේදකයාව හොයා ගන්න උඹට බැරි වේවි. හේතුව මිනිහගේ මොලේ අවුලක් නිසා. ආ . . . අනවුන්සිං හොඳ නම් කමක් නැහැ. මං එයා ගැන බලාගන්නම් කියලා සිතූති කළ සුජිත් යන්න ගියා. උත්සවය අවසන් වෙලා නිවේදනයට ගිය හිතවතා, ඔහුව හඳුන්වා දුන් මාධ්‍ය මිතුරාව හමු වුණා. දැක්ක ගමන් ඔහු ඇහුවේ ‘කොහොමද මල්ලි හොඳට වැඩේ කළාද?’ කියලයි. ‘ඔව් අයියේ. ඇයි ඔයා ඕක හිනාවෙවි අහන්නේ කියලා’ ඔහු ආයෙමත් ඇහුවා. ‘අර වැඩේට ගියාම උඹට ගාඩ් එකට කවුරු හරි එහෙම හිටියද’ මාධ්‍ය මිතුරා ඔහුට යමක් සිහි කළා. ‘අනේ ඇත්තටම අයියේ ඔයා කොහොමද ඒක දැනගත්තේ. මාර ඇණයක් නේ. මං වොෂ් රූම් එකට ගියත් දොර ළඟ හිටගෙන ඉන්නවා. ළග කඩේට ගිහින් එන්නම් කිව්වම ආ . . . මාත් එන්නම් කියලා මගේ පස්සෙන් දුවගෙන එනවා. ස්ටේජ් එකට නගිනකල් මං ළඟින් හෙල්ලුණේ නැහැ.’ අපේ හිතවතාට සිනහව නවත්තගන්න බැහැ. සුජිත් කියපු විදියටම වැඩේ කරලා. නිවේදකයා අතුරුදහන් වෙයි කියලා ගාඩ් කෙනෙක් යොදවලා. නිවේදනයට ගිය හිතවතාටත් පස්සේ තමයි කාරණය තේරුණේ. |