|
නොනිමෙන මිත්‍රත්වයේ පහන්සිල
ඒ නොනිමෙන මිත්‍රත්වයේ පහන්සිල සිරිල්, මා හා මුණ ගැසෙන්නේ 60 දශකයේ මුල් යුගයේදී හෙන්රි ජයසේනයන් නිර්මාණය කළ ‘මනරංජන වැඩ වර්ජන’ නම් වූ නාට්‍යයේදීය. එදා සිට තවමත් ඔහු මගේ හිතාදර කලණ මිතුරෙකි. දැන් සිරිල් මළවුන් අතර කල් ගෙවූව ද මගේ හදවත තුළ ඔහු වෙනුවෙන් වෙන්ව තිබූ ඉඩ තවමත් තවකෙකු හිමි කරගෙන නැත. හිමි කරගත හැකි වන්නේ ද නැත. ජීවත්ව සිටියත් මිය ගියා සේ දැනෙන උන් අතර සිරිල් මිය ගියත් ජීවමාන සලකුණු අතර සදාකාලික වී හමාර යැයි මට සිතේ.
සිරිල් ධර්මවර්ධන නම් වූ අසහාය රංගන ශිල්පියා කලාවට අත් පොත් තැබුවේ පාසලෙනි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඔහු කීප විටක්ම අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟවලට සහභාගි වී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකර ගත්තෙකි. නාට්‍යවේදී ගාමිණී හත්තෙට්ටුවේගම හා එක්ව වීදි නාට්‍ය කලාවේ නිරත වීමෙන් ඔහු රංගනය පිළිබඳ මනා පරිචයක් ලබා ගත්තේය. සිරිල් ගුරුවරයෙකි. ගුරුකම සමඟ නළුකම ද නිවැරැදිව කළ අයෙකි. ඔහුගේ ගුරුකම නිසා නළුකම බැබලුණේය. මනරංජන වැඩ වර්ජන, හුණුවටයේ කතාව, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, මකරා ආදී හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යයන්හි සිරිල් ප්‍රබල චරිත නිරූපණය කළේය. එසේම ආර්. ආර්. සමරකෝනුවන් නිෂ්පාදනය කළ ඉඩම, කැලණි පාලම, දූවිලි යන නාට්‍යයන්ගේ ඔහුගේ රංගනයේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති සතතාභ්‍යාසය ආදිය පිළිබිඹු කරන්නට තරම් සමත් ඒවා විය. සුගතපාල ද සිල්වාගේ ‘හරිම බඩු හයක්’ නාට්‍ය මෙන්ම ධර්මසිරි වික්‍රමරත්නගේ ‘ඔන්න බබෝ ඇතින්නියා’ නමින් වූ නාට්‍යවල රංගනය ද සිරිල් රංගන ශිල්පියෙක් ලෙස වර්ධනය වීමට හේතුª වූ බව කිව හැකි වෙයි. ඔන්න බබෝ ඇතින්නියා හි සිරිල් හා සමඟ කළ චරිතය අදටත් මට අමතක නොවෙයි. සිරිල්ගේ වේදිකා නාට්‍ය රංගන ජීවිතයේ අන් සියල්ල අභිබවා ඉස්මතු වූ චරිත නිරූපණය වූයේ ‘කැලණි පාලමේ’ චරිත නිරූපණයයි. අදටත් ලාංකිකයන් සිරිල්ව සිහිපත් කරන්නේ කැලණි පාලම නාට්‍යය සමඟින් වීම මේ බවට කදිම නිදසුනකි. චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කළ සිරිල් 80 දශකයේ මුල් භාගය වන විට ටෙලි නාට්‍ය රංගනයට පිවිසීම ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බඳු විය. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘නදී ගීතය’ නම් වූ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගාවතරණය අරඹන සිරිල් ‘ගංගා හා නිශ්ශංක’, ‘ඉරබටු තරුව’, ‘අපේ කාලේ ගැහැණියක්’, ‘සමනල තැන්න’, ‘චාරුලතා’, ‘හිරුට මුවාවෙන්’, ‘ලෝකාන්තය’, ‘සෙනෙහෙලතා මැණිකේ’ ආදී නාට්‍යයන්හිද මා විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද මොණරවිල නාට්‍යයේ ද සිය කෘතහස්ත රංගන හැකියාව විදහා පෑවේය. බොහෝ ලාංකේය ප්‍රේක්ෂක හදවත්හි සිරිල් ආදර ගෞරවයට පත් වන්නේ සිංහල ටෙලි නාට්‍ය ක්ෂේත්රය මඟිනි. වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය යන තුන් ඈඳුතු මාධ්‍යයෙන්ම ජයගත් මා සහෘද මිතුරා දේශපාලනය වෙත ද ප්‍රවේශ විය. මානව දයාවේ සංකේතයක් බඳු වූ දිවංගත විජය කුමාරතුංගයන් සමඟ උරෙනුර ගැටෙමින් ඔහු හා ඉතා සමීපව දේශපාලනයේ නිරත වූ සිරිල්, විජය මෙන්ම නිර්ව්‍යාජ දේශපාලනඥයෙක් විය. එතරම්ම නිරව්‍යාජ නොවූ දේශපාලන ක්ෂේත්රය තුළ වැජඹෙන්නට විජයට මෙන්ම සිරිල්ට ද ඉඩහසර නොලැබිණි. එහෙත් මනාප ලැයිස්තුවේ ඉහළ වැජඹෙන බොහෝමයෙකුට වඩා විජය මෙන්ම සිරිල් ද දේශපාලනඥයන් ලෙස ඉතා ඉහළින් තවමත් වැජඹෙන බව කිව යුතු වෙයි. පෞද්ගලික සමාගම් කිහිපයකම පරිපාලන ධුරය හෙබ වූ සිරිල් විදේශීය රටවලදීී ද විවිධ තනතුරු දැරීය. උපාධිධාරී ගුරුවරියක ලෙසින් සිටි ස්වර්ණකාන්ති රාජපක්ෂ සමඟ හේ විවාහ විය. දැන් ඇය ප්‍රවීණ ලේඛිකාවකි. අවසන් කාලයේදී එකම පුත් බිනර ද සමඟින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටි මාගේ කලණ මිතුරා මගේ සමීපයෙන් හදවතින් ඈත් නොවුණා සේම ගතින් ද විටින් විට හමු විය. දක්ෂ මෙන්ම නුවණැති මිනිස්සු ඕනෑ තරම් සිටිති. එහෙත් ඒ අය අපේ හිතවතුන් නොවේ. හිතවත්තු බොහෝ සිටිති. එහෙත් ඒ සියලුම දෙනා දක්ෂ නුවණැත්තෝ නොවෙති. මිහිරි යහපත් ගුණ ඇති ඖෂධ දුලබය. එමෙන්ම දක්ෂ නුවණැති හිතවතුන්ද දුලබය. සිරිල් ධර්මවර්ධන නම් මානව දයාවෙන් පිරි මිනිසා එවැනි දුර්ලභ ගණයේ මිනිසෙකි. දයාබර කලණ මිතුරු සිරිල් මතු උපදින භවයකදී ඔබට නිවන් අවබෝධ කර ගැනීමෙ වාසනාව ලැබේවා.
|