වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

අපේ සමහර නිළියන් රූපවාහිනී නාලිකාවල නිවේදිකාවන් වීම ගැන අර්ජුන්ට මොකද හිතෙන්නේ?

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල

නිවේදිකාවන් නිළියන් වන විට ඇතිවන හැඟීමමයි.

දෝනි චිත්‍රපටයේ දෝනිගේ චරිතය රඟපාන මෙනුලි දියණියගේ උපන් දිනය සහ ලිපිනය ලබා දෙන්න.

කංචක කරුණානායක

පෝද්දල

උපන් දිනය – ඔක්තෝබර් 18

148/16, බේස්ලයින් පාර, කොළඹ 09.

සක්විති සුවය චිත්‍රපටය අධ්‍යක්ෂණය, එහි ගීත ගායනය සහ සහාය අධ්‍යක්ෂණය කළේ කවුරුන් විසින්ද?

ච්. එච්. ජයලත්

ගම්පහ

අධ්‍යක්ෂණය – ගාමිණී ෆොන්සේකා

සහාය අධ්‍යක්සණය – ඇන්ටන් ග්‍රෙගරි

ගායනය – එම්. එස්. ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, මිල්ටන් මල්ලවාරච්චි සහ සුජාතා අත්තනායක

සමහර නිළියන් විවාහ වූ අලුතම කියනවා පවුල් ජීවිතයට මුල් තැන දිය යුතු නිසා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා. ඒත් පසුව හීන් සීරුවේම ආයෙමත් රඟපෑමට එනවා නේද අර්ජුන්?

කරු මන්දාවල

නාත්තණ්ඩිය

හැමදාම එකම තැනකින් කෑම කනකොට එපා වෙනවානේ.

සිංහලෙන් දෙබස් කැවූ චිත්‍රපට වන ‘මනුෂ්‍යත්වය’, ‘පතිවත’, ‘මගේ පුතා’, ‘සුදු නංගි’, ‘සල්ලි එපා’, ‘අංගුලිමාල’, ‘මිස් මේරි’ චිත්‍රපටවල පිටපත් සංරක්ෂණය කර තිබේද?

ජයම්පති නවරත්න

මාතලේ

මනුෂ්‍යත්වය, මගේ පුතා, සුදු නංගි, මිස් මේරි හෙවත් අහිංසක ප්‍රයෝගය චිත්‍රපටවල පිටපත් තිබෙන බව ආරංචියි.

ඓතිහාසික හා බෞද්ධ තේමාවන් රැගත් දෛවයෝගය, පටාචාරා, කුණ්ඩලකේෂි, සීගිරි කාශ්‍යප, දස්කොන් වැනි චිත්‍රපටවලින් නිෂ්පාදන වියදම පවා පියවා ගැනීමට නොහැකි වුවත් එවැනි තේමාවන් රැගත් අබා, සිරි පැරකුම්, මහින්දාගමනය, කුස පබා, උත්පලවණ්ණා වැනි චිත්‍රපට අතිශය සාර්ථකව ප්‍රදර්ශනය වී ඉහළම ආදායම් ලැබීමට හේතුව කුමක්ද?

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ, උණවටුණ

කලකදී වහලු කලකදි රස වෙනවාලු.

හිටපු ජනාධිපති දිවංගත ආර්. ප්‍රේමදාස මහතා විසින් ලියන ලද නවකතාවක් චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කර තිබේද?

ආර්. ඒ. අමරසිංහ

කැලණිය

එතුමා රචනා කල නවකතා අතර ජීවන කඳුළු, හිතවතිය, රන් මිණි මුතු නවකතා චිත්‍රපට බවට පත්වුණා.

දිලිප් කුමාර් සහ නාර්ගිස් අවසන් වරරට එකට රඟපෑ චිත්‍රපටය කුමක්ද?

දිදාර්.

 ‘බොම්බේ ටු ගෝ ආ’ හින්දි චිත්‍රපටය ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න කැමැතියි.

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ

මේ නමින් චිත්‍රපට දෙකක් තිරගත කර තිබේ. එයින් අතිශය ජනප්‍රිය චිත්‍රපටය වන්නේ අමිතාබ් බච්චන් සුපිරි නළුවෙක් බවට පත් කරන්නට හේතුව එස්. රාමනාදන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. 1972 තිරගත වූ එහි අමිතාබ් සමඟින්, සතෘගන් සිං, අරුණා ඉරාණි, මෙහෙමුද්, නසීර් හුසේන්, අගා, ලලිතා පවර්, කිෂෝර් කුමාර්, මෙහෙමුද් ජූනියර් ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වුණා. අමිතාබ් බච්චන් මීට පෙර රංගනයට අවතීර්ණව සිටිය ද ප්‍රධාන නළුවා ලෙසින් නම් සඳහන් වූයේ මෙම චිත්‍රපටයේයි.

අපේ සිංහල චිත්‍රපටවල බොහොමයක් දුෂ්ඨ චරිත රඟපෑවේ ශේන් ගුණරත්න ද, ලයනල් දැරණියගල ද?

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ

මට හිතන්නේ ලයනල් දැරණියගල.

බොහෝ කලකට ඉහත දී ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ‘සුමුදු රටා එපා ළදේ’ ගීතය ගැයූ ගායකයා කවුද? ඔහු ගැයුූ වෙනත් ගීත මොනවාද?

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

තිලකසිරි රත්නායක

තුන්මංසල ළඟ, අප දෙදෙනා දිහා බල බලා ඔහු ගැයූ වෙනත් ගීත වේ.

රංගන ශිල්පීන් චිත්‍රපට අධ්‍යක්ෂණයට අවතීර්ණ වූ අවස්ථා බොහෝමයි. ඒ අතුරින් සිනමා සක්විති හා රෝයි ද සිල්වා, ඩොමී ජයවර්ධන, ෆ්ලොරිඩා ජයලත් හා ජැක්සන් ඇන්තනි යන අය කැපී පෙනෙන යමක් කළා. ඒ අතරිනුත් ඔබේ හැඟීමේ හැටියට වඩාම දක්ෂ අධ්‍යක්ෂවරයා ලෙස ඔබ නම් කරන්නේ කවුරුන්ද?

ගිල්බට් පෙරේරා

හෝකන්දර දකුණ

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා.