වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ග්‍රාමීය සිනමාව පිළිබඳ දිල්හානිගේ මතය

ග්‍රාමීය සිනමාව පිළිබඳ දිල්හානිගේ මතය

මා කුරුලු බැද්ද සහ සිතුරු තරුව යන චිත්‍රපට යුගල නරඹා තිබෙන්නේ දැයි මිතුරෙකු ඉතා මෑතක මගෙන් විමසා සිටියේය.ඉන්දියානු සිනමාකරුවන් ලවා මෙරට තනන ලද චිත්‍රපට අතරින් විචාරකයන්ගේ ප්‍රශස්තියට භාජනය වූ මේ චිත්‍රපට යුගලම මට නරඹන්නට අවස්ථාව ලැබිණ.ඒ කලකට ඉහතය.පැරණි සෙනෙට් මන්ත්‍රිවරයෙක් වන ජෝන් අමරතුංග කුරුළු රෑණ සමාගම වෙනුවෙන් නිපදවන මේ චිත්‍රපට යුගලම අධ්‍යක්ෂණය කරන ලද්දේ එල්.එස්.රාමචන්ද්‍රන් විසිනි.රාමචන්ද්‍රන් මෙරට දී චිත්‍රපට අටක් අධ්‍යක්ෂණය කළ අතර එයින් වඩාත්ම විචාරක අවධානයට ලබා ගත්තේ ද ඉහත චිත්‍රපට යුගල පමණී.මේ අතරින් කුරුළු බැද්ද සිනමාවට නැගැණ මුල්ම සිංහල ගුවන් විදුලි නාටකය වූයේය.මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ඩී.ආර්.නානායක්කාරය.ඒ සිකුරු තරුව චිත්‍රපටය සඳහාය. පසුකලක සිනමාවට නැගුණ ගුවන් විදුලි නාට්‍යය ඇසුරින් වඩාත්ම ජනප්‍රිය ගුවන් විදුලි නාටකය මුවන් පැලැස්ස විය.එය ඇසුරින් තැනුණ චිත්‍රපට සංඛ්‍යාව හයකි.අපේ කුරුළු බැද්ද සහ සිකුරු තරුව පිළිබඳ ඇරඹුණු කතාව කෙලවර වූයේ එය නැරඹූ අන්දම සිහිපත් කරමිනි.එම චිත්‍රපට යුගලම මුල් වරට මෙරට තිර ගත වන සමයේ මා මෙලොව එළිය දැක තිබුණේ නැත.එබැවින් එම චිත්‍රපට යුගලම නරඹන්නට ලැබුණේ පසු කලකය. මේ අතරින් සිකුරු තරුව මට නරඹන්නට ලැබුනේ ආධාර චිත්‍රපට දර්ශණයකදී බව මට මතකය.ඒ කැබිතිගොල්ලෑවේ මහසෙන් විදුහලේය.ඒ කාලයේ කුඹුරු අස්වනු නෙලා අස්වැන්න ගෙට ගන්නා කාලයට ආධාර චිත්‍රපට දර්ශණ අපේ ගම් වලට පැමිනීම සිරිතක් විය. පදවිය වැනි ඈත පලාත් වල නම් මේ කාලයට තාවකාලික කූඩාරම් සිනමාහල් ද ඉදි වෙයි.

මට කුරුලු බැද්ද නරඹන්නට ලැබුනේ මෙයින් වසර විසි පහකට පමණ පෙර කොළඹ නාරාහේන්පිට එවකට පැවැති මොන්ටෝ නම් සිනමාහලේය.එම සිනමා හල එයට පෙර වකවානුවක ප්‍රියංකර නමින් ද හැඳීන් විය.මා බොහෝ පැරණි සිංහල චිත්‍රපට බහුතරයක් නැරඹුවේ එම සිනමාහලේය. එය කොළඹ නගරයේ පැවැති සිනමාහලක් වුව ද එහි අලුත් චිත්‍රපටයක් තිර ගත වූයේ මා දන්නා පරිදි එක් වතාවක් පමණී. ඒ ටික දිනක් පැවැති සය වන ප්‍රදර්ශක මණ්ඩලය ආරම්භයේ දී ය.එවර එහි තිර ගත වූයේ රත්නවීර ද සිල්වා අධ්‍යක්ෂණය කළ සුද්දා නම් චිත්‍රපටයයි. මාලිගාවත්තේ රූබි සිනමාහලද එය ප්‍රදර්ශණය කළේය.කෙසේ වෙතත් එයින් පසු මොන්ටෝ සිනමාහලේ දිගටම තිර ගත වූයේ පැරණි චිත්‍රපට බව නම් මට මතකය. ඇතැම් චිත්‍රපටයක් නරඹන්නට යන විට එහි කළමනාකරු පවසන්නේ තවත් දෙන්නෙකු හෝ එන තුරු චිත්‍රපටය තිර ගත කළ නොහැකි බවය. වරක් ඔහු මට චිත්‍රපටය නරඹන්නට අවශ්‍ය නම් තවත් කිහිප දෙනෙකු හෝ සොයා ගෙන එන් නැයි අමතර වැඩක් ද පැවරුවේය.

අවසානයේ 1985 වසර අවසානය වන විට සිනමාහල වැසී ගියේය.වර්තමානයේ නාරාහේන්පිට මහජන බැංකු ශාඛාව පිහිටියේ එහිය.වැසුණු බොහෝ සිනමාහල් මෙන් එය කඩා නොදැමිණ.1983 වසරේ විනාස ව ගිය සිනමාහල් කිහිපය හැරුණු විට පසුකලක වසා දැමුණු සිනමාහල් රැසක් කොළඹ නගරයේ විය. ඇත්තටම 1983 වසරේ දී කොළඹ නගරයේ වැනසුනේ ගාමිණී,සැෆයර්,කල්පනා,රියෝ,නවා යන සිනමාහල් පමණී.ඒ අතරින් රියෝ සහ නවා පසුකලක යළි විවෘත විණ.එහෙත් එයට පෙර වැල්ලවත්තේ ප්ලාසා සිනමාහල ද ඉන් පසු ඉහත කී මොන්ටෝ මෙන්ම මයිලන්, මුරුගන්,මානෙල්,එම්පයර්,ගෙයිටි,සෙල්ලමහල්,සෙන්ට්‍රල්,එල්ෆින්ස්ටන්,අශෝකා,රොක්සි, ෂර්මිලා,ජෙසීමා,ක්‍රවුන් ආදී සිනමාහල් වැසී ගියේය. මේ ඇතැම් සිනමාහලක් තිබූ සළකුණු ද අතුරුදහන්ව ගොසිනි.එහෙත් එයට සාපේක්ෂව අලුත් සිනමාහල් කිහිපයක් ද කොළඹ නගරයේ ඉදි විණ. එහෙත් වර්තමානයේ කිසිදු සිනමාහලක් පෙර මෙන් ජනතා ආකර්ෂණය දිනා ගත්තේ නැත.බොහෝ දෙනක් ඇතැම් තැනක අලුතෙන් සිනමාහලක් ඉදි වුන වගක් දන්නේ ද නැත.සිනමාහල් යනු එක් කලක සංස්කෘතික ලක්ෂණයක් වුව ද අද එය ජන ජීවිතයෙන් ඈත් ව යන්නක්ද යන සාංකාව මට ඇත්තේ එබැවිනි.

ඉතා මෑතක කොළඹ එක්සෙල් සිනමාහලේ ආර්.රාජ්කුමාර් නම් චිත්‍රපටය නරඹන්නට ගිය මම කලකට ඉහත මොන්ටෝ සිනමාහලේ දී සිදුවූ අත්දැකීමට සමාන අත්දැකීමක් ලද්දෙමි.ඒ චිත්‍රපටයට සෙනග නැති බැවින් දර්ශණය අවලංගුව පැවතීමයි.

මෙරට පැවැති බොහෝ සිනමාහල් වැසී යාම යුක්ති සහගත බැව් මගේ මතයයි. ඒ කාලානූරුපව ඒවාට වෙනස් වන්නට නොහැකි වීම හේතුවෙනි. කලකට ඉහත චිත්‍රපටයක් නරඹන්නට අපට තිබුණ එකම මාර්ගය වූයේ සිනමාහලයි.එබැවින් කවර දුෂ්කර තත්වයක් නිසාවෙන් හෝ සිනමාහලක් වෙත යා යුතුය. එහි ඇතැම් විට ශබ්දය හොඳ වුයේ ද නැත. රූපය පැහැදිලි වූයේ ද නැත. හදිසියේම රූපය අඳුරු වූවොත් සිනමාහලේ වහල ගැලවෙන අන්දමේ විසිල් පාරක් හෝ හූවක් ඇසෙන්නේය. ඇතැම් විට පවතින උපකරණ වල හෙඳම තත්වයෙන් කටයුතු කිරීමට එකල සිනමා හල් වල සේවකයන් කටයතු කළ බැව් ඔවුන්ට ගෞරටයක් ලෙස සඳහන් කළ යුතුය.

එහෙත් අසූව දශකය මැද භාගයේ මේ තත්වය වෙනස් විය.එතුවක් කල් සිනමාහල් හිමියා අත පැවැති චිත්‍රපට නැරඹීමේ බල අධිකාරිය හිටි අඩියේ ප්‍රෙක්ෂකයා අතට පත් විය.එමෙන්ම රටේ පැවැති අයහපත් වාතාවරණය කිසිසේත් සිනමාහල් වලට හොඳ වූයේ නැත.තවත් පැත්තකින් මහවැලි වැනි නව ජනපද ආශ්‍රිතව අලුත් සිනමාහල් ඉදි වූයේ මද වශයෙනි. ඒ සමග වෙනස් කම් වලට මුහුණ නොදුන් සිනමාහල් වැසී යන්නට පටන් ගත්තේය. එය වඩාත් බලපෑවේ ගම්බද සිනමාහල් වලටය.චිත්‍රපට නැරඹීමේ කාර්යය ඉතා පහසුවෙන් ගෙදරට ගියේය.එහි වඩාත්ම වේගවත් පියවර වනුයේ චිත්‍රපට අන්තර් ජලය හරහා බා ගන්නට ැකිවීමත් සමගය.

කෙසේ වෙතත් මේ සමග සිනමාහල් කරා ඇදී එන ප්‍රේක්ෂක සංඛ්‍යාවේ දැවැන්ත පසුබෑමක් ඇති වන්නට විය.ගෘහස්ථ චිත්‍රපට නැරඹීමේ උපකරණ සුලභ වීමත් සමග සිනමාහලක දුක් විඳීනවාට වඩා පහසුවෙන් සියල්ලට එකට චිත්‍රපට නැරඹීමේ අවස්ථාව කාලානුරූපව හදා ගැනීමේ අවස්ථාව ලැබිණ.

වර්තමානයේ සිනමාහල් අධික ආදායම් ලබනුයේ ප්‍රෙක්ෂක වර්ධනයට වඩා ප්‍රෙව්ශ පත්‍රයේ මිළ සාපේකෂව ඉහල යෑමත් සමගය.මෙරට අලුතින් ඉදිවන සිනමාහල් පැරණි සිනමාහල්වලට වඩා තත්වය තරමක් හොඳය. එහෙත් අද අවශ්‍ය වනුයේ වඩා හොඳීන් සිනමාහල් කරා ප්‍රෙක්ෂකයා දිනා ගැනීමේ වැඩ පිළිවෙලකි.පසුගිය දශක දෙක ඇතුළත ඉපැදුණ පිරිසගෙන් කී දෙනෙක් සිනමාහලකට චිත්‍රපටයක් නරඹන්නට ගොස් තිබේද යන්න හොඳ සමාජ සමීක්ෂණයකට නිබන්ධනයක් වනු ඇත. එහෙත් මේ පරම්පරාව අපේ පරණ පරම්පරාවට වඩා චිත්‍රපට නැරඹීමේ රුසියන්ය.

කෙනෙක් වර්තමානයේ නිවසින් බැහැරව චිත්‍රපට නරඹන්නට යන්නේ නිවසට වඩා වෙනස් අත්දැකීමක් ලබන්නටය.එය එක් එක් අයෙකුට සාපේක්ෂව වෙනස් අන්දමේ එකක් විය හැක. කෙසේ වෙතත් අද පවතින මිළ ගණන් යටතේ චිත්‍රපටයක් නරඹන්නට යනවාට වඩා විකල්ප ලෙස භාවිතා කළ හැකි වෙනත් ආකාරයෙන් චිත්‍රපටයක් නැරඹීමේ හැකියාව කෙරෙහි රසිකයාගේ අවදානය යොමු වීම ස්වභාවිකය.

අපේ රටේ සිනමා ව්‍යාපාරය පිළිබඳ ලියැවුණ වටිනා ග්‍රන්ථයක් පසුගියදා මට කියවන්නට ලැබිණ.ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිනමාව විමර්ශනාත්මක අධ්‍යයනය ය මැයෙන් දිල්හානි විජේරත්න විසින් රචනා කරන ලද එම ග්‍රන්ථය සාමාන්‍යයෙන් අපේ අවධානයට යොමු නොව සිනමාවේ වයාපාරික කේෂත්‍රය පිලිබඳ ලියැවුණකි.එය මෙරට සිනමා ව්‍යාපාරය පිළබද කළ ඉතා මැදිහත් විමර්ශණයක් වූයේය.වර්තමානයේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන දිල්හානි මේ ග්‍රන්ථය ලියන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ ග්‍රාමීය සිනමාව සමග ඇති ඇයගේ පෞද්ගලික අත්දැකීම් සමගය. ඇය මෙහි දී මෙරට නාගරික හා ග්‍රාමීය සිනමා පේ‍්‍රක්ෂකයා පිලිබඳව සහ ඔවුන් සිනමාව හා බැඳුණු අන්දම කදිමට විමර්ශණය කරන්නීය.මෙරට සිනමාවෙ සිනමා ප්‍රෙක්ෂක සහභාගිත්වය සහ සිනමාහල් සමග ඔවනුගේ සබඳතාව පිළිබද විවරණයක යෙදෙන දිල්හානි එහි දී ග්‍රාමීය සිනමා ප්‍රෙක්ෂකත්වය ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය යුතු කාරණා කිහිපයක් ගෙන හැර දක්වයි.

එහි දී ඇය දක්වන වඩාත්ම වැදගත් කරුණක් වනුයේ චිත්‍රපටය ප්‍රදර්ශණය වද්දි අඩු මිළට විකුණන වීඩියෝ පටය පිළිබඳවය.නිත්‍යානුකූල නොවන එය දැවැන්ත ව්‍යාපාරික මාෆියාවක් බව බොහෝ දෙනා තවමත් නොසලකති.දිල්හානි ගේ පර්යේෂණය සිනමාව පිළිබඳ උනන්දු වන කාටත් මහත් ඵළ ලබා ගත හැක්කේය.එය ග්‍රාමීය සිනමාව කේන්ද්‍ර කර ගත්තේ නමුදු මෙරට සිනමාවේ පොදු ඉලක්කය බැහැර කර නොගත්තකි. අදටත් මෙරට ග්‍රාමිය සිනමාහල් බහුල වශයෙන් තිර ගත කරනුයේ සිංහල චිත්‍රපට පමණී. මේ ආකාරයෙන් සිදු වුව හොත් අනාගතයේ සිංහල චිත්‍රපට දැක ගත හැක්කේ ද ගම්බද සිනමාහල් වල පමනී.දිල්හානි සිය කෘතියෙහිලා අවධානය යොමු නොකරන කාරණය නම් අනාගතයෙ ්දවසක සිංහල චිත්‍රපට සඳහා විකල්ප වෙළඳ පොලක් ග්‍රාමීය මට්ටමින් බිහි නොවන්නට ඉඩ කඩ නැත්තේ මන්ද යන්න පිළිබඳවය.මෑතක මෙරට වීඩියෝ වෙළඳ පොළට පිවිසි තරුණ ව්‍යාපාරකයකු මට හෙළි කළ අන්දමට එය පුළුල් වෙළඳ පොළකි.ඉතා මෑතක අලුත් සිංහල චිත්‍රපටයක් ඒ සඳහා විකුණා තිබුණේ ලක්ෂ විස්සක් වැනි ගණනකටය.එය චිත්‍රපට නිෂ්පාදන පිරිවැයේ දී ඉහළ මිළක් නොවුනත් එතරම් ඉල්ලුමක් එයට තිබීම අනාගත සිනමාවට අලුත් වෙළඳ පොළ ක් ගොඩ නගා ගැති හැකි මග ඉන් ඉස්මතු කරයි. එය විශේෂයෙන් අලුත් මං සොයන සිනමාකරුවන්ට හොඳ තෝතැන්නක් වනු ඇත