|
ඊළඟට මොකද වෙන්නේ මම දන්නෙත් නෑචම්පික ප්‍රියදර්ශන ද සිල්වා මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශයවන අත්තම්මා ටෙලි නාට්‍යයේ සපුමල්ගෙ චරිතයට පණපෙවූ චම්පික ප්‍රියදර්ශන ද සිල්වා සරසවියට ගොඩවැදුනේ රංගන දිවියේ ඔහු ආ දුර අප හා කතා කරන්නටයි.
චම්පික අපි ඔබේ කතාබහ අත්තම්මා ටෙලි නාට්‍යයේ සපුමල්ගෙ චරිතයෙන්ම අරඹමු.
කියන්නකො සපුමල්ට මොකද වෙන්නෙ ? අනේ ඇත්තමයි කියන්නෙ රඟපාන මංවත් ඒ ගැන දන්නෙ නැහැ.මොකද පසුතලයට ගියහම ඉදිරි කොටසෙ පිටපත ලැබෙන්නෙ.ඒ අනුව රඟපානව මිස ඉදිරියේදි මේ චරිතයට කුමක් වේවිද කියල නිශ්චිත වචනයක් දෙන්න මට බැහැ.
ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ප්‍රථමයෙන් ඔබ වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑව.මේ ගමන් මග එන්නට ඔබට අත දුන්නෙ කවුරුද? මම හැදුනෙ වැඩුනෙ අනුරාධපුරේ,මට වයස 17 දී ගුණදාස මදුරසිංහ මහතාව මුණගැසීමට කොළඹ ආවේ රඟපාන්න අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින්.එතුමා මට ආචාර්ය අනුර චන්ද්‍රසිරි මහතාව හදුන්වා දී දෙයියෝ සාක්කි වේදිකා නාට්‍යයෙ රඟපාන්න අවස්ථාව උදාකර දුන්නා.ඉන්පසු දයා වයමන් මහතාගෙ මලල්ගොඩ සාක්කි,සරත් විජේසිංහ යන්ගේ සෙමිට්ට්රියේ භූතයෝ,ජීවන් මෙත්සින් ගේ කස වේදිකා නාට්‍යවල රගපෑමේ අවස්ථාව උදා වුණා.
ප්‍රියන්ත කෙළඔගේ ගේ සොඳුරු ගිම්හානය ටෙලි නාට්‍යයේ පොලිස් කොස්තාපල් ආනන්දගෙ චරිතය පිළිඹිබු කරන්නට ඔබට අවස්ථාව උදාවුණේ කොහොමද ? වාසල බණ්ඩාර,ඉන්දික ධර්මතිලක යන මහත්වරුන් තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්රයට මාව යොමු කළේ.ඉන් අනතුරුව විකාශය වු ෂර්ලි පී දෙලන්කාවලයන්ගේ සක්කුළු පව්ව, දැනට විකාශය වන රංජන් ප්‍රසන්න ගේ සුරවිමන, තිළිණ බොරලැස්සයන්ගේ අත්තම්මා, ඉදිරියේදී විකාශය වීමට නියමිත චන්ද්‍රරත්න මාපිටිගම යන්ගේ සුළිය,චන්දන එදිරිසිංහයන්ගේ වීනාවි,චන්දන හේවාපතිරණ යන්ගේ සසර සක්මන්.සුජීව ගුණරත්න යන්ගේ ඩස්ට්, ජෙරම් ජෝසප් ගේ මහින්සා ටෙලි නාට්‍යවල රගපෑව.මේ දිනවල චමින්ද එල්ලාවල ගේ සහ නිලන්ත කුමාරසිරිගේ නාට්‍ය දෙකක වැඩ කරමිනුයි සිටින්නේ.
චම්පිකගෙ ඉදිරි බලාපොරොත්තුව හා රගපෑමට කැමති චරිතය කුමක්ද? මේ ක්ෂේත්රයට මම අලුත්, ආ ගමනට වැඩිය යන්න තිබෙන ගමන බොහෝ දුරයි.ප්‍රවීණයන්ට ගරු කරමින් ඔවුන්ගේ ගුරු හරුකම් මැදින් මේ ක්ෂේත්රයෙ නියැළීම මගේ බලා පොරොත්තුවයි. රස්තියාදු කාරයෙක්ගේ චරිතයක් ලැබෙනවනම් ගොඩක් කැමතියි. |