|
දිගු ගමනකට සැරැසෙන ජගත්
සෝමරත්න දිසානායකගේ ‘ඉටිපහන්’ ටෙලි සිත්තමෙන් රංගනයට අවතීර්ණ වූ ජගත් ඇපලදෙණිය මේ දිනවල ‘සිරීගේ ඉරණම’ ටෙලි නාට්‍යයේ සාගර ලෙසින් ද ‘අත්තම්මා’ හි අසිත මඩුගල්ල ලෙස හා ‘පිත්තල කොණ්ඩෑරුම’ හි පාලිත මාමා ලෙසත් ඔබ හමුවට පැමිණේ. මේ දක්වා කාලය තුළ ටෙලි නාට්‍ය රැසකින් විවිධ චරිත නිරූපණය කරමින් සිය රංග හැකියාවන් දක්වන්නට ජගත් වාසනාවන්ත වූවෙකි. මිලා, සරා, අරුන්දතී, අකුණු සැරය, ප්‍රේම පාරමී, ගුරු ගීතය, සිතට වහල්වීමි, සත් සඳකිරණ ඔහුගේ රංගනයන් ඇතුළත් ටෙලි සිත්තම් කිහිපයකි.
ජගත් ඔබ කලාවට පිවිසීමේ ආරම්භය ගැන පළමුවෙන්ම දැනගන්න කැමැතියි? පොඩි කාලේ ඉඳලාම මම කලා කටයුතුවලට උනන්දුයි. මම ඉගෙන ගත්තේ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලෙන්. මම එහි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ අනුව පාසල් නාට්‍ය රැසකට දායකවීමෙ අවස්ථාව මට ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව වැවිලිකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරලා එම ක්ෂේත්රයේම රැකියාවකත් නිරත වුණා. ඒ අතරෙදි තමයි ඉටිපහන් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ. ඊට පසුව මම ආචාර්ය සලමන් ෆොන්සේකා මහතා යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා.
රැකියාව සමඟ රංගනයේ නිරතවීමට කාලය වෙන්කර ගැනීම අපහසු ඇති නේද? දැන් නම් පූර්ණකාලීනව කලාවට යොමුවෙලා ඉන්නේ. මගේ වැඩි කැමැත්ත තියෙන්නේ කලා ක්ෂේත්රයට. ව්‍යාපාරිකයෙකු ලෙස දැන් ස්ථාවරභාවයකට ඇවිත් තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණ කාලය කලාවට තමයි යොමු කරන්නේ. ඊට අමතරව සංස්කෘතික මධ්‍යස්ථානවල නාට්‍ය හා රංග කලා උපදේශකවරයෙකුª ලෙසත් කටයුතු කරනවා.
ඔබ වේදිකාවටත් ලැදි කෙනෙක් ද? ඇත්තටම ඔව්. ‘යථාර්තයක යථාර්තය’, ‘සැබෑ මිනිස්සු’ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා. ‘මට මැරෙන්න බෑ’, ‘මොනර නැටුම’ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. තවත් අලුත්ම වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් තමයි සිටින්නේ. මේ දවස්වල එහි පිටපත ලියමින් සිටින්නේ. මේ වසර අවසානයට පෙර එය වේදිකා ගත කරන්න බලාපොරොත්තුª වෙනවා.
මේ දවස්වල සංගීත නිර්මාණ කටයුත්තක් කරගෙන යනවා කියලත් ආරංචියි? ඉදිරියේදී එළි දක්වන්න නියමිත ‘නිල් අහස අපේ’ ළමා ගීත තැටියේ විවිධ කටයුතු මේ දවස්වල සූදානම් කෙරෙනවා. මෙහි ගීත රචනය උදයශාන්ත කුමාරසිංහගේ, සංගීතය මුසු වෙන්නේ රෝහණ වීරසිංහයන් අතින්. නර්තන අධ්‍යක්ෂණය සිදු කෙරෙන්නේ දිනේන්ද්‍ර පනාවල විසින්. ඉතාමත් දක්ෂ ළමුන් රැසක් මේ සඳහා දායක වෙනවා. ලබන අප්‍රේල් මාසයේදී විතර උත්සවශ්‍රියෙන් මෙය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
ළමුන් වෙනුවෙන් ගී තැටියක් එළි දක්වන්න විශේෂ හේතුවක් තියෙනවාද? ඇත්තටම දැන් ළමුන්ට හොඳ ළමා නිර්මාණ දකින්න අහන්න ලැබෙනවා අඩුයි. මේ දවස්වල මම මනෝ විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. එහි ළමා මමෝ විද්‍යාව පිළිබඳ වෙනමම විෂයක් ඇතුළත්. එහි පර්යේෂණ කටයුතුවලදී තමයි මට මේ අදහස ඇති වුණේ. කුඩා ළමුන් පිරිසක් සමඟ මෙවැනි කටයුත්තක් කරන්න ලැබීම සතුටක්
ජගත් ඔබේ පවුලේ විස්තරත් කියමුද? මගේ තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. මට සහෝදරයන් හතර දෙනෙකුයි එක් සහෝදරියකුයි සිටිනවා. මම තමයි පවුලේ බාලයා.
මේ දක්වා පැමිණි ගමන සමඟින් ජගත්ට කලා ක්ෂේත්රය පිළිබඳ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? කලාවට පැමිණෙන්න අවස්ථාව ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒත් ක්ෂේත්රය තුළ ගමන ඇත්තටම දුෂ්කරයි. මං හිතන්නේ කලා ක්ෂේත්රයට පැමිණෙන හැමෝම ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ. ගමන දුෂ්කර වුණත් සාර්ථකව ඉදිරියට ගියොත් ඒ ගමන සාර්ථකයි. ඒ වගේම මේ ගමනේදී මට විශාල ශක්තියක් වූ ආචාර්ය සලමන් ෆොන්සේකා, බර්මින් ලයිලි ප්‍රනාන්දු, සුනන්ද සිල්වා, රත්නසිරි පරණවිතාන, සුනන්ද පුෂ්පකුමාර, වසන්ත කුමාරසිරි ඇතුළු හැමෝටම මගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිනවා.
ඉදිරි කලා කටයුතු ගැනත් කෙටි සටහනක් තබමු? ඉදිරියේදී මගේ රංගනයන් ඇතුළත් ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම චිත්‍රපටයකුත් තියෙනවා. ඉදිරියේදී ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නත් බලාපොරොත්තුª වෙනවා.
|