|
ඉන්දිරා බලයෙන් පහවනතුරු ‘ආන්ධි’ තිරයට නොපැමිණෙයි
‘ආන්ධි’ වියෝවූ ප්‍රතිභාපූර්ණ නිළි සුචිත්‍රා සෙන්ගේ අමරණීය රංගනයන්ගෙන් එකකි. එය හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ චරිතය අලලා නිර්මාණය වූවකි. මෙහි ෆෙරොස් ගාන්ධිගේ චරිතය රැඟුවේ සංජීව් කුමාර්ය. ගුල්සාර්, ‘ආන්ධි’ නම් වූ සිනමා නිර්මාණය ඉන්දිරා බලයෙන් පහවනතුරුම තිරගත කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. වාරණ මණ්ඩලයේ තහංචි ඊට හේතුවයි. 1977 වසරේදී අගමැතිනිය බලයෙන් පහවූ පසු දූර්දර්ශන් මඟින් එහි පූර්ව දර්ශනයක් විකාශනය කරන ලදී. මොස්කව් සිනමා උළෙලේදී ද මේ සිනමා පටයට තහංචි පැනවුණු අතර එයටද හේතු වූයේ ඉන්දිරාගේ චරිතය වටා එය ගෙතී තිබීමයි. ඒ වනවිට ඉන්දිරා ගාන්ධි මැතිණියට සිනමා පටය නරඹන්නට ලැබී නැත. එහෙත් ඇය කතාව ගැන හා සුචිත්‍රාගේ රංගනය ගැන විමසා තිබේ. සිනමා පටය ඉන්දිරා ගැන අසුබවාදී ප්‍රතිරූපයක් ගොඩ නඟන්නේ නැති බව හිටපු දිල්ලි ප්‍රධාන ඇමැති ශීලා ඩික්සිත් ද ගාන්ධි මැතිණියට පවසා තිබිණි. පසුව එතුමිය වීඩියෝවක් මඟින් සිනමා පටය නරඹා ඇති අතර සුචිත්‍රාගේ රංගනය බෙහෙවින් අගය කර ඇත. වෛජයන්තිමාලා පවසන අන්දමට මුලින්ම ‘ආරතී දේවි’ නම් වූ ඉන්දිරාට සමාන චරිතය ‘ආන්ධි’ හි රඟපෑමට ආරාධනා කර තිබුණේ ඇයටය. එහෙත් ගාන්ධි මැතිනියට ඇති අසීමිත ගෞරවාදරය නිසා එය ඇය ප්‍රතික්ෂේප කළාය. දැන් ඇය ඒ ගැන කනගාටු වන්නීය. “මං කරුණු තුනක් ගැන පසුතැවිලි වෙනවා. එකක් ආන්ධි චරිතයට ප්‍රතික්ෂේප කිරීම, බිමල් රෝයිගෙ බන්ධිනිහි රඟපෑමට නොහැකි වීම, ගුරු දත් සමඟ වැඩ කිරීමට නොලැබීම අනෙක් කාරණායි.” සිනමා පටය තිරගත වූ පසු සුචිත්‍රා තමන් මෙහෙයවූ ආකාරය ගැන අධ්යක්ෂ ගුල්සාර්ට ප්‍රශංසා කර තිබේ. |