|
රන් තරු දිලේ සිසාරා තරු මිහිරේ ගිලේ ඉෂාරා
වන්දනා සරසවියට ආ සුන්දර ගමන
ඉෂාරාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සරසවිය ඡායාරූපාගාරයට වී සිටින සරසවියට ළබැඳි පාඨක පිරිස වන්නේ, විමලසේන හපුතන්ත්‍රී, රංජනී පෙරේරා, බුද්ධික දිනේෂ් හා සේනානායක යන පිරිසයි. රෝස පැහැති දිගු ගවුමකින් සහ ඊටම ගැළපෙන චාම් ආභරණවලින් සැරසුණු පුංචි තිරයට වන්දනා වූ ඉෂාරා හරියටම පෙරවරු දහයේ කනිසම වනවිට සරසවියට පැමිණියා. ඉෂාරාගේ ආගමනයෙන් සතුටට පත් අප පාඨක පිරිසේ නායකයා වූ විමලසේන ඉදිරිපත් වී සැමදෙනාම හඳුන්වා දුන්නා.
මං ඔයාට දුවේ කියලා කතා කරන්නද? විමලසේන ඇසුවේ හදපුරා ඇති ආදරයද සමඟින්. කමක් නැහැ අංකල් කැමැති විදියට කතා කරන්න. ඔයාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද? ඒ පැනය රංජනීගෙන්.
අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. ඔයාගේ මුල් ගම කොහේද? සේනානායක ඇසුවේ නිහඬව ඇය දෙස මොහොතක් බලා සිටිමින්. මාතර පිටබැද්දර තමයි මම ඉපදුනේ. ශිෂ්‍යත්වේ පාස් වුණාට පස්සෙ කොළඹ ආවා. දැන් පදිංචිය පන්නිපිටියේ. කොළඹ දේවි බාලිකා විද්‍යාලයට තමයි ගියේ. ඔයා පොඩි කලේ ඉඳන් රඟපානවද? ඒ මෙතෙක් නිහඬව සිටි බුද්ධිකගේ ප්‍රශ්නයයි. මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජීවන් කුමාරතුංග ආදීන් රඟපානවා දැකලා ආසා හිතුනට පාසලේ දී කවදාවත් රඟපාලා නැහැ. එහෙනම් පුංචි තිරයේ පළමු රඟපෑම මොකක්ද? රංජනී විමසුවේ ඇගේ දෙනෙතට එබෙමින්. ‘සිහින පියාපත්’ ටෙලි නාට්‍යයේ කේතකී ගේ චරිතය.
ටෙලි නාට්‍යවල තරම්ම ඔයා අහිං අනේ ඔව්. අර ‘චායා’ ටෙලි නාට්‍යයේ වාසනා ගැන මොකද හිතෙන්නේ? ඒ බුද්ධික හා සේනානායක දෙදෙනාම එකවර ඇසූ පැනයයි. මේ අහන්නකෝ, පොඩි කාලේ මට ගෙදරට කතා කරන්නේ වාසනා කියලා. ඉතින් චායා ටෙලි නාට්‍යයේ නමත් වාසනා. දිරිය අවංක කාන්තාවකගේ චරිතයක්. අවංකකම වැඩි නිසාම රැවටෙනවා. ඒත් සටකපට සමාජයේ වාසනාට ශක්තියක්වන පිරිසකුත් සිටිනවා. ඇත්තටම වාසනා කියන්නේ ආදර්ශවත් ගැහැනියක්. තවම අධ්‍යාපනය හදාරනවාද? ඒ රංජනී ගේ පැනය. ඔව් අක්කේ, මම කොළඹ විශවවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍යවරියක් වීම සඳහා ඉගෙන ගන්නවා. දැන් අවසන් වසරේ ඉගෙනගන්නේ. ඔයා රඟපෑමෙන් ඉවත් වෙනවාද වෛද්‍යවරියක් වුණාම? විමලසේන ඇසවේ දුක්මුසු බවක් හිතේ තබාගෙනයි. අනේ නැහැ අංකල්. මට හැකි විදියට රඟපානවා. ඔයා පෙම්වතියක් ද? ඒ බුද්ධිකගේ පැනය.
මේ අපේ විමලසේන අයියා අනාවැකි කියනවාලු කලාකරුවන්ට. මේ වෙනකොට හතර දෙනෙකුට කියලා ඒ හතරම හරි ගියාලු. ඔයාටත් එකක් කියනවලු. රන්ජනී එක හුස්මට කියවගෙන ගියා. පුටුවට හරි බරි ගැසුණු විමලසේන, ඉෂාරාගේ මුහුණ දෙස බලා මෙසේ පැවසුවා. ඔය දුව මේ රටේ ජනපි‍්‍රයම හා හොඳම නිළිය විදියට සම්මාන ගන්නවා. ඒක ස්ථිරයි. මම ජගත් චමිලටත් මේ වගේම කිව්වා. එයා ලෝකෙ හොඳම නළුවා විදියට සම්මාන ලබා ගත්තා. ඔයාටත් ඒ වාසනා ගුණය තියෙනවා. යැයි ඔහු හැඟුම්බරව පැවසුවා. මේ රංජනී අක්කා ඊයේ රෑ එළිවෙනකල්ම ඇහැරලාලු හිටියේ. ඒ ඉෂාරා බලන්න තියෙන ආසාවට. හල්මිල්ලවැව ඉඳන් උදේම ඇවිත් තියෙන්නේ. මේ සොඳුරු කතාබහ මෙසේ ගලාගෙන යද්දී ඉෂාරාට ගීතයක් ගයන්න ආරාධනා කළා. ඇය මිහිරි ලෙස නීලා වික්‍රමසිංහගේ ‘දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ’ ගීතය හරි අපූරුවට ගායනා කළා. එවිටම අපේ පාඨක පිරිසත් එක්ව ඇය වෙනුවෙන් පැරැණි චිත්‍රපට ගීත කිහිපයක් ගායනා කළේ සැවොම සතුටු කරමින්. ඔයා රඟපෑමට ඉස්සරවෙලා මොනවද කළ කලා කටයුතු?
නැවතත් බුද්ධික විමසුවා. ස්වර්ණවාහිනියේ ‘මහජන සෙවය පිණිසයි’ වැඩසටහන ඉදිරිපත් කළා. ‘රන්තරු’ ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ මුල් කොටස මොකක්ද? රංජනී නැවතත් විමසුවා. රන්තරු දිලේ සිසාරා....නේද? එහෙනම් ඒකට මේ කෑල්ලත් එකතුකර ගන්න මා ගානේ. මොකක්ද ඒ කෑල්ල? ‘රන්තරු දිලේ සිසාරා - තරු මිහිරේ ගිලේ ඉෂාරා’ කියලා. විමලසේන පැවසුවේ සැවොම සිනහ ගන්වමින්. හැමෝම කතා කළා විතරයිනේ. සරසවිය කර්තෘ තුමා ඇතුළු පිරිස අපට දුන්න මේ කේක් ගෙඩිය කපලා රස විඳිමු. කියූ ඉෂාරා සැවොමට කේක් තම අතින්ම ලබා දුන්නා. සරසවිය තරු මිහිර තෑගි අනුග්‍රාහකයා වූ ලක් සළුසල ආයතනයේ තෑගි වවුචර්පත් ඇය විසින් ලබා දුන්නේද සළුසලේ ඇති රෙදිපිළි ගැන නියම අවබෝධයක් මේ පිරිසට ලබා දෙන ගමන්. ඉෂාරා රැගෙන ආ ඇගේ සිහිවටන ඡායාරූප කිහිපයක් පාඨක පිරිසට ලබා දුන්නේද අපමන සෙනෙහසකින්. විමලසේන රැගෙන ආ තෑගි කිහිපයක් හා පැරැණි ගීත තැටි කිහිපයක් ද ඉෂාරා වෙත ලබාදෙන ගමන් ඇයට සුබ පැතුවේ ජීවිතයේ ළඟින්ම ඇසුරු කරන්නෙක් ලෙසිනි. අනේ යන්න ඉස්සරවෙලා අපට කියන්න ඔයා ඉදිරියේ දී රඟපාන නාට්‍ය මොනවද කියලා? අද තරු මිහිරේ අවසන් පැනය යොමු කළේ බුද්ධිකයි. චන්දික විජයසේන මහත්මයාගේ ‘සතුටු ස්වර’ සහ අනුර මාධව ජයසේකර මහත්මයාගේ ‘සූරිය භානු’ ඉෂාරා සඳමිණණිගේ ආගමනයෙන් හැඩවුණු තරු මිහිර, වසර දෙකහමාරක් තුළ ඔබට ලබාදුන් මිහිරියාවට අඳින් පසු ඉසිඹුවක් ලබයි.
|