වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




එල්විස් ප්‍රෙස්ලිගේ දේශපාලනය

එල්විස් ප්‍රෙස්ලිගේ දේශපාලනය

ඡන්ද උණුසුම ලොව පුරා පැතිරී යද්දී තරුවල කාන්තිය දේශපාලන ක්ෂේත්‍රයට ද වැටීම වළක්වාලිය නොහැකිය. මෙය වර්තමානයට පමණක් නොව අතීතයට ද සත්‍ය වූවකි.

එල්විස් ප්‍රෙස්ලිට ජනප්‍රියත්වය කවදත් කරදරයක් වූ කිරුළක් විය. මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම, මරණ තර්ජන නිසා ඔහුට ජීවිතය අපායක් වී තිබිණි. සියල්ලටම වඩා තුවක්කු, වාහන ආදියට කරන නාස්තිකාර වියදම නිසා නිරන්තරයෙන්ම ඔහු පියාගේ දෝෂ දර්ශනයට ලක් විය. එල්විස් විසඳුමක් සෙව්වේ දේශපාලනයෙනි. ඔහු එවකට ජනපති රිචඩ් නික්සන්ට මෙලෙසින් ලිපියක් ලිව්වේය.

‘හිතාදර ජනපතිතුමනි, මම ඔබ ඉතා ඉහළින් අගය කරන්නෙක්මි. ඔබේ පාලනයට ද ගරු කරමි. සති තුනකට පෙර උප ජනපති ඇග්නිව් පාම් ස්ප්‍රින්ග්ස්හිදී හමුවුණු අතර අපේ රට ගැන මට ඇති හැඟීම් පවසමි.

මැතිතුමනි, රට වෙනුවෙන් ඕනෑම උපකාරයක් කිරීමට සූදානම්ය. ඔබතුමන් අධික ලෙස කාර්යයබහුල නැත්නම් මුණ ගැසී ‘හෙලෝ’ කීමට කැමැත්තෙමි.’

ජනපති මන්දිරයට එල්විස්ගේ ලිපිය ලැබුණු පසු ඉල්ලීම කඩිනමින්ම ක්‍රියාත්මක විය.

ධවල මන්දිරයට එල්විස් ප්‍රෙස්ලි පැමිණියේ පූර්ණ රූපලාවණ්‍ය සත්කාරයක් සහිතවයි. ඔහු ඇඳ සිටියේ දම් පැහැ වෙල්වට් කබායකි. ඔහුගේ විශාල බඳ පටිය ඇඳුමට ගැළපෙන රන් පැහැයකින් යුක්ත විය. දහවල් 12.30 ට පමණ එල්විස් ඕවල් කාර්යාලයට පැමිණියේය.

ජනපති නික්සන් අත්සන් ඡායාරූප දෙකක් සහිතව පැමිණියේය. ඔහු ඊළඟට පොලිස් ලාංඡන දෙකක් ද ඕවල් කාර්යාලයේ මේසය මතට දැම්මේය.

ප්‍රෙස්ලි පෞද්ගලිකව දරන මතවාදවලට එරෙහි අදහස් ජනපතිවරයා සමඟ පැවසුවේය. ලාස්වෙගාස් සහ තරුණ පරපුර ගැන දෙදෙනා කතා කළහ. ප්‍රෙස්ලි බීට්ල්ස් සංගීත කණ්ඩායම අමෙරිකාවට පැමිණ අමෙරිකානු මුදල් රැගෙන එංගලන්තයට යන්නේ අමෙරිකානු හැඟීම් සමඟ බව ඔහු ප්‍රකාශ කළේය. මේ සියල්ලම එල්විස්ගේ සැබෑම අදහස් නොවන බව ජනපතිවරයා තේරුම් ගත්තේ ඔහු ගැන පැමිණීමට පෙර හොඳින් අධ්‍යයනයකර තිබුණු නිසයි. ප්‍රෙස්ලි අමෙරිකානු විරෝධීන් අතරේ පෙරමුණේම සිටින බව ඔහු දැන සිටියේය.

ප්‍රෙස්ලි රටින් හිමි වූ දෙයට රටට යමක් කිරීමට කැමැති බව පැවසුවේය.

ජනපතිවරයාගෙන් ඔහු අන්තරායකර ඖෂධ සහ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ ෂ;ශ්ෂ ඒජන්ත ලාංඡනයක් ඉල්ලා සිටියේය. ජනපතිවරයා තරමක නොසන්සුන්තාවක් දැක්වුවත් ලාංඡනයක් ලබා දුන්නේය.

‘මේක මට ලොකු දෙයක්’ ඉහේ මලක් පිපුණාක් මෙන් ප්‍රෙස්ලි පැවසුවේය. දෙදෙනා ආදරයෙන් වැළඳ ගනිමින් එකිනෙකාගෙන් සමුගත්හ.

ලාංඡනය සාඩම්බරයෙන් රැගෙන ඔහු නිවෙසට පැමිණියේය. බිරියට ප්‍රෙස්ලිගේ කපටිකම රහසක් නොවේ. ඇය පසුව එය ලොවට හෙළි කළේය. ඔහු ජනපතිවරයා හමුවුණේ ලාංඡනය ලබා ගැනීමේ ඒකායන අරමුණින්. ලාංඡනය නිසා ඔහුට මත් ද්‍රව්‍ය, තුවක්කු රැගෙන යාමට කිසිදු තහංචියක් පැන වුණේ නැත. වැඩි වේගයෙන් වාහන පැදවීමට ද ඔහු එය අවසර පත්‍රයක් කර ගත්තේය.