වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මං ආදරේ කරපු අයගෙන් බඳින්නේ කවුද කියල හිතාගන්න බැරි වුණා

මං ආදරේ කරපු අයගෙන් බඳින්නේ කවුද කියල හිතාගන්න බැරි වුණා

මනෝජ් පීරිස් තනි මංසලට එක්වෙයි

බොහෝදෙනා සිය අනාගත සහකාරිය තෝරා ගනු ලබන්නේ ප්‍රේම සම්බන්ධතාවයකිනි. ඒ නිසා ආදරය නොකළ කෙනෙක් නොමැති තරම්ය. මේ අය අතර ආදරය කිරීමටම පමණක් කැමැති අය ද බොහෝ වෙති. ඒ ආදරයේ තරම කොතරම්දැයි කිවහොත් ඔවුන්ට විවාහවීමට ද අමතක වෙයි. එසේ තවමත් ආදරයෙන් වෙලී සිටිමින් තනිකඩව සිටින තරුවක් මෙවර ‘තනි මංසල’ ට සහභාගි වෙයි. ඔහුගේ ඇති විශේෂත්වය නම් සංගීතය හා තබ්ලාවට ද අන් කවරකුටත් වඩා ආදරය කිරීමය. ඔහු මනෝජ් පීරිස්ය.

* දිගු කාලයක් කලා ක්ෂේත්‍රයේ සංගීත කටයුතුවල නියැලෙන ඔබට ඕනෑ තරම් යුවතියන් මුණ ගැසෙනවා. ඇයි ඒ අයගෙන් කෙනෙක් විවාහ නොකර ගත්තේ?

‘විවාහ නොවී සිටියා නොවෙයි, මම හිතන්නේ ඒ කාලයේ මම ගොඩක් පෙම් කළා වැඩියි කියලයි. ඒ කාලයේ ආදරය කළත් ඒ ගැන වැඩිපුර වගකීමක් හිතට දැනුණේ නෑ. ඒ කාරණයත් විවාහ නොවීමට හේතු වුණා.’

* ඒ කියන්නේ ඔබට ඒ තරමටම පෙම්වතියන් ගොඩක් සිටියා කියලද?

‘ඇත්තම කිව්වොත් ඒ කාලයේ මම ආදරය කළ අයගෙන් කවුද බඳින්නේ කියලා තෝර ගන්නට බැරුව ගියා. ඒ කාලයේ විවිධ දේ මූලික වුණා. ලස්සන බැලුවා. කොහොම නමුත් ඒ කිසිම කෙනෙකුට මම විවාහ වෙනවා කියන පොරොන්දුව නම් දීලා නැහැ. ඒ වගේම අදටත් විවාහ වෙනවා කියන තීරණයේ තමයි මම ඉන්නේ.’

* තරුණ කාලයේ කළ ආදරයේ බරක් පතළක් ඔබට නොදැනෙන්නේ ඇයි?

‘එතන තිබුණේ ආදරයම පමණයි. සමහර අය සමඟ ආදරයෙන් වෙලුණත් චිත්‍රපටයක්වත් බලන්නට මා ගිහින් නැහැ. ඒ සඳහා වෙලාවක් මට තිබුණේ නැහැ. නමුත් ආදරය කරනවා. හමු වෙනවා. ඒ ආදරය කතාවට, හමුවීමට පමණක් සීමාවුණා.

* ඒ ආදරය පාසල් කාලයේ ඇති වූවක් ද?

‘පාසල් කාලයේ නම් මට ප්‍රේමවන්තියෝ සිටියේ නැහැ. එත් මගේ හිත ගත්ත යුවතියන් කිහිප දෙනෙක් සිටියා. ඒ අය අතරින් මගේ සිතේ අද දක්වාම ඈ සිටියා. ඒත් අපි දෙන්නාට දෙන්නා මුහුණ බලනවා ඇරෙන්න කිසිම දවසක ආදරය ප්‍රකාශ කරලා නැහැ. එදා මා සිත්ගත් යුවතිය මට මේ ළඟදී මුණ ගැසුණා. ඈ දැන් විවාහ වෙලා.

එතකොට තමයි දන්නේ ඇයත් මට ආදරය කළා කියලා. ඇගේ සැමියාට පවා ඒ කතන්දරය කියන්නට තරම් ඈ පෙලඹිලා තිබුණා. ඒ ගැන කියන කොට අද නම් අපි දෙන්නටම හොඳටම හිනා. ඊට පස්සේ මම කොණ්ඩේ දිග යුවතියකට ආදරය කළ බවත් මතකයි. නමුත් ඒ යුවතිය මගේ ආදරය ගැන දන්නේවත් නැහැ.’

* මේ මොන දේවල් කළත් යම් අවස්ථාවක තනිකමක් පාළුවක් දැනෙන වෙලාවල් බොහොමයි?

‘ඔව්. මුල් කාලයේදී නම් මම හිටියේ මගේ ලොකු අක්කා ළඟයි. ඔවුන් එක්ක හිටිය කාලයේ මට කිසිම පාළුවක්, තනිකමක් දැනිලා නැහැ. එත් මම තනියම නිවෙසක පදිංචියට ගිය කාලයේ තමයි ඔය කියන තනිකම, පාළුව දැනෙන්න ගත්තේ. එතකොට බොහොම දුකක් හිතට දැනෙනවා. ඒ වගේ වෙලාවට මම සංගීත කටයුතුවල නියැලෙනවා. එහෙම නොවුණොත් මම පල්ලියට වී කාලය ගත කරනවා.’

* විවාහ වුණු අය විවාහය ගැන දරන්නේ වෙනම මතයක් නේද?

‘ඒ අය කියන දෙයක් තමයි අනේ ඔය විදියට නිදහසේ කුරුල්ලෙක් වගේ අපටත් ඉන්න පුළුවන් වුණා නම් කියන කාරණය. නමුත් විවාහ වෙලා ඉන්න අය දරුවන් සමඟ ඉන්න අවස්ථාවලදී යම් දුකක් මට දැනිලා තියෙනවා. අනේ ඒ වගේ දරුවෙක් මටත් හිටියා නම් කියලා. කවුරු කිව්වත් තනිකඩව ඉන්න මම කැමැතියි කියලා ඒක නම් බොරුවක්.’

* බොහෝ දෙනෙක් සිතන්නේ ආදරය අවසාන විය යුත්තේ විවාහයෙන් කියලයි. නමුත් ඔබට එහෙම වුණේ නැහැ?

කොයි තරම් ආදරය කළත් අපි දෙන්නට දෙන්න ඒ ගැන කිසිම කතාබහක් කරලා නැහැ. සමහර අවස්ථාවලදී මට කෙනෙකුට ආදරය කරන්න ලැබුණ ගමන්ම විදේශ ගත වෙන්න සිද්ධ වෙනවා. විදේශයක මාසයක් හිටියාට පස්සේ ඒ කෙනා ගැන ඇති ආදර සිත නැතිව යනවා. ඒ නිසා එක දිගට ගෙනි යන්න පුළුවන් ආදරයක් මට තිබුණේ නැහැ. කිසිම දවසක මෙයාව මැරි කරන්න ඕනෑ කියලා හිතට ඇවිත් නැහැ. එහෙම වුණා නම් දිගින් දිගටම ආදරය කරනවා නේ.’

* ස්ථිර ලෙසම ආදරය නොකරන්න ඒ කාරණය විතරම ද බලපෑවේ?

‘නෑ විවාහ වෙන්නේ යම් ස්ථාවරයකට ඇවිල්ලා සිටිය යුතුයි කියන මතයේ මම ඒ කාලයේ සිටියා. මේ වෙනකොට ඒ සියල්ල ලැබිලා. ඒ වුණත් කාලය ගිහිල්ලා. හැබැයි කිසිම පාළුවක් නෑ. තාවකාලිකව ජීවිතය දකින්න පුළුවන් ආදර සම්බන්ධතා නම් ඕනෑ තරම්.’

* ඔබ සිතන පතන විදියේ, බලාපොරොත්තු වන විදියේ කෙනෙක් වර්තමානයේ ඔබට මුණ ගැසුණොත් ඔබ විවාහ වෙනවාද?

‘මම විවාහය අතහැරලා නැහැ. මට ඇයව ගැළපෙන්න නම් මුලින්ම මාව වගේම රැකියාවත් ඇය තේරුම් ගත යුතුයි. විවාහ වුණත් දරු මල්ලන් බලාගෙන සියලු බර කරට අරගෙන කටයුතු කරන්නට මට නොහැකි වේවි. යෙදිලා තිබෙන කටයුතුත් සමඟ නිතරම මට ඇයත් සමඟ ඉන්නට නොහැකි වේවි. ඒ නිසා මාව විවාහ කර ගත්ත කෙනා බලයි ඇයි මම මේ මනුස්සයා විවාහ කර ගත්තේ කියලා. ඒ වගේ ගැටලු ගොඩයි.’

* ඔබට එකම තීරණයක රැඳෙන්නට නොහැකි බවත්, සිතෙහි චංචල බවත් පෙනෙන්නට තිබෙන කාරණයක්. මේ ගැන මොකද සිතන්නේ?

‘ඔව්. එහෙම තිබුණා. නිතරම වැනෙන සුළු ගතියක් සිතේ තිබුණා. ආදරයක් කළ සමහර අවස්ථාවලදී ‘නෑ මේ ආදරය ඕනෑ නෑ’ කියන මතය මගේ ඔළුවට ආවා. එතකොට ආදරය නැතුව ගියා. කවදාවත් ස්ථිර වූ ආදරයක්, දිගින් දිගට පවතින ආදරයක් මට තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අද මේ තත්ත්වය වෙනස් වෙනවා.’

* මල්කාන්ති අක්කා තවමත් ඔබට විවාහ වෙන්න කියා කරදර කරනවාද?

‘තවමත් ඈ මට විවාහ යෝජනා ගේනවා. සමහර වෙලාවට මම බොහොම හිතවත්ව යෙහෙළියක් එක්ක කතා කරමින් ඉන්නවා ඈ දැක්කොත් කියන්නේ, ඒ යෙහෙළිය නම් විවාහ වෙන්න හොඳයි කියලයි. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.’

* ඔබගේ ජීීවිතය සකක් කර ගැනීමට ආගමෙන් තිබුණේ මොන වගේ බලපෑමක්ද?

‘ආගම තමන්ගේ ජීවිතයට ගොඩක් බලපෑම් කරනවා. මම ගොඩක් ආගමට බැඳිලා. උදේ නැඟිටින විට ආගම සිහි කරමින්, යාඥා කරලා තමයි මම නැඟිටින්නේ. සමහරුන්ට හිතෙන්න පුළුවන් අනේ මට මොන වගේ දේවල් වුණාද, ආගම ධර්මයෙන් කිසිම සැනසීමක් නෑ කියලා. ඒ නිසා යමෙකුට ආගම අතහැරලා දාන්න වුණත් පුළුවන්. මටත් එහෙම හිතුණ අවස්ථා තිබුණා. ඒත් හොඳ මිනිසෙක් නිර්මාණය කිරීමට ආගමට තිබෙන්නේ අපූරු හැකියාවක්.

* දුක වේදනාව කියන හැඟීම ඔබගේ නිර්මාණවලින් එළි දැක්වෙනවාද?

‘සමහර නිර්මාණවල ඒ දුක, වේදනාව ඇතුළත් වන අවස්ථා තිබෙනවා. අනෙක් අයගේ සමහර ගීත රස විඳින කොට මගේ ජීවිතයත් මේ වගේ නේද කියලා හිතෙන අවස්ථා ඕනෑ තරම්. අනිත් එක තමයි කලාකරුවෙකුට තමන්ගේ හිතේ ආදරයක් නැති නම් ඒ කටයුත්තෙහි සාර්ථකව නියැලෙන්න බැහැ කියලත් හිතෙනවා. ඔහු ඒ සියල්ලට ආදරය කළ යුතුයි.’

* කවදා හරි දවසක තනි වේවි කියන හැඟීම, වයසට ගොස් ඇවිද ගන්නට නොහැකි වෙලා එක්තැන් වේවි කියන හැඟීම ඔබට ඇති වෙලා තියෙයනවාද?

‘දැන් වුණත් ඉන්නේ තනියමනේ. ඒ නිසා එක්තැන් වෙලා ඉන්නවා කියන හැඟීම දැනුණොත්, එහෙම වුණොත් වෙඩි තියාගෙන හරි ජීවිතය අවසන් කරනවාය කියන අදහස මම දරනවා. ඒ තැනට එන්නට හිත හදාගන්න පුළුවන් නම් හොඳයි. ඒ කොහොම වුණත් කාටවත් කරදරයක් විය යුතු නැත කියන මතයේ මම දැඩිව පිහිටා සිටිනවා. ගිය ආත්මයේ කරපු වරදක් නිසා මේ ආත්මයේ ආදරය කරලා විවාහ වෙන්න බැරි වෙන්න ඇති කියන මතයත් මට සමහර විට සිතට නැඟෙන අදහසක්. එහෙම වුණත් අඩුවක් නැතිව මට ආදරය ලැබෙනවා. කිසි කෙනෙක් මට ආදරය නොකෙරුවත් මම ආදරයෙන් ඉන්නවා. ඒ නිසා මම හොඳම ආදරවන්තයා කියලා තමයි මට නම් හිතෙන්නේ.’