|
හැත්තෑ නමයෙදි කකුල කැපුවා දැන් මට අසූවයි
බොනිපස් ප්‍රනාන්දු
අන්තයක් නොපෙනෙන රත් පැහැ බොරළු පාරෙහි මමත් අමිත් අයියාත් පියවර නඟමින් සිටියෙමු. මේ ඉසව්වට අප දෙදෙනා ආගන්තුකයින් බැවින් මුහුණට හමුවන ගම්වාසීහු මටත් අමිත් අයියාටත් හෙළන්නේ කුතුහලයක් පුරවා ගත් බැල්මකි. මීගමුව මීරිගම පාරේ වෙලේකඩේ හන්දියෙන් බැස දැන් අප ටිත දුරක් ඇවිත්ය.
මහත්තයලා කාවද හොයන්නේ? මේ පාර හරි ද දන්නේ නැහැ යන පැනය අප දෙදෙනාගේ සිත් බැම්මෙන් පැන මුහුණෙන් ප්‍රදර්ශනය වීම නිසාම අවට සිටි අයකු අපෙන් ඇසුවේ බලෙන් මෙනි. අර පරණ චිත්‍රපට නළුවෙක් ඉන්නේ බොනිෆස් ප්‍රනාන්දු කියලා. අපි හොයන්නේ එයාගේ ගෙදර. අහ් . . . ඒ මහත්තයාගේ ගෙදර තියෙන්නේ මේ ගුරු පාරේ නෙවෙයි. අනෙක් ගුරු පාරේ. මහත්තයලා ආපහු හැරිලා යන්න. ඒ පාරේ දෙවැනි ගේ. යාන්තම් ඇති අන්න තියනවා ගේ. ඔය ඉන්නේ බොනිෆස් අයියා මිදුලටම වෙලා. ඊළඟට අප ගිය මඟ නම් නිවැරැදිය. එහෙත් ඔහුව දුටු විගස මසිතට දැනුණේ මහත් වූ සංවේගයකි. කාලයක් හෙළ සිනමාව බැබළ වූ මේ යුග පුරුෂයා අද නිවසට වී ගත කරන්නේ විවේකී දිවියකි. තනියට සිටින්නේ ප්‍රිය බිරියත්, දියණියත් පමණි. වඩාත් මා සංතාපයට පත් කළේ එකී කරුණ නොව, ඔහුගේ ජීවිතය මේ වන විට රෝද පුටුවකට සීමා වී තිබීමය. බොනිෆස් පසුගියදා බොහෝ සෙයින් රෝගාතුර විය. එකී තත්ත්වය මත ඔහුගේ පාදයක් ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදු වූයේ බොනිෆස්ව තවත් කාලයක් ජීවත් කිරීම උදෙසායි. මොකද පුතා කල්පනා කරන්නේ. ඔන්න ඔය පුටුවකින් වාඩි වෙමු. මේ ළමයින්ට මහන්සිත් ඇති. නෝනා මේ පුතාලට බොන්න මොනවා හරි හදන්න. බොනිෆස් තවමත් ජවසම්පන්න බව ඒ වදන්වලින් අපට ඔප්පු කරවිය. මොන බාධක ආවත් ඔහුගේ මුවෙහි සිනහව නම් සඟවාලිය නොහැකිය. පුතා මට දැන් අවුරුදුු අසූවයි. හැත්තෑ නවයෙදි තමයි කකුල කැපුවේ. අවුරුදු හැත්තෑ නවයක්ම ඇවිද්දනේ. ඉතුරු අවුරුදු ටික මෙහෙම ඉන්නවා. කිසිම කලකිරීමක් නැහැ මට. ඔහුගේ වදන් පෙළ හරිම ආදර්ශවත් යැයි මට දැනිණ. බොනිෆස් අයියා මොන දේ වුණත් බොහොම සතුටින් වගේ ඉන්නේ? මොනවා අහනවද, මා එදත් සතුටින්. අදත් සතුටින්. ඇවිදින්න බැහැ කියලාවත්, රඟපාන්න බැහැ කියලාවත් මට ප්‍රශ්නයක් නැහැ. මං ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය හිතන්නේම නැහැ. ජීවිතේ මේ මොහොතෙත් සුන්දරව විඳිනවා. බොනිෆස් ප්‍රනාන්දු රංගනයට පිවිසීම පිටුපස ඇත්තේ සුන්දර කතාවකි. තමා කවදා හෝ සිංහල සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියකු වේ යැයි බොනිෆස් සිහිනෙන්වත් හිතන්නට නැතුව ඇතිය. මම ඒ කාලේ මිහිරි සිනමා ශාලාවේ මැනේජර් හැටියට වැඩ කළා. ඔය අතරතුරදී රම්‍යලතා සිනමාපටයේ පුංචි සීන් එකකට ඉන්න ලැබුණා. ඒක දැකලා තිබුණා සිනමාස් ආයතනයේ චාල්ස් පෙරේරා මහත්මයා. ඔහුගේ මාර්ගයෙන් මට රොබින් තම්පොව හඳුණාගන්න ලැබුණා. ඔහු මාව ඔහුගේ සිරිමලී සිනමාපටයේ ප්‍රධාන චරිතයට තෝර ගත්තා. ෂූටිං තිබුණේ ඉන්දියාවේ. 1959 අවුරුද්දෙයි ඒක තිරගත වුණේ. පුතාලට කියන්න ඒ දවස්වල චිත්‍රපටයේ පෝස්ටර් පවා ගැහැව්වේ අපි. නළුවෝ කියලා බලන්නේ නැතුව චිත්‍රපටය දුවවන්න අවශ්‍ය කටයුත කළා. සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම, සුදු සඳේ කළුවලා, සමාජයේ අපි ඔක්කොම සමානයි වැනි චිත්‍රපට ගණනාවක බොනිෆස් රැඟුවේය. අනතුරුව ඔහු ලැබුවේ අසීමිත ජනප්‍රියත්වයකි. මං චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. පික්පොකට් සහ දෙහදක දුක කියලා. ඇතැම් අවස්ථාවලදී අධ්‍යක්ෂවරුන්ට හරියට චිත්‍රපටය කරගන්න බැරි වෙච්ච අවස්ථාවලදී මං ඒක අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒත් කවදාවත් සම අධ්‍යක්ෂණයට මගේ නම දාගෙන නැහැ. බොනිෆස් ප්‍රනාන්දු යනු වෘත්තීමය ගරුත්වය ඉතා ඉහළින් සැලකූ අයකු වග ඔහුගේ ඊළඟ කතාවෙන් මට පැහැදිලි විය. ඔහු රංගනයෙන් ඉවත් වූයේ ද ඒ හේතුවෙනි. ඔන්න මං පසුකාලීනව ටෙලි නාට්‍ය රඟපාන්නත් ආවා. ඒත් එකක දෙකක විතරයි වැඩ කළේ. අපට උදේට කන්න දෙන්නේ සම්බෝලයි පානුයි. නැතිනම් පරිප්පුයි පානුයි. ඉස්සර ෆිල්ම්ස් කරද්දී එහෙම නෙවෙයි. ප්‍රඩක්ෂන් මැනේජර් උදේට අහනවා කන්න ඕනෑ මොනවද කියලා. ඉල්ලන දේ ගෙනත් දෙනවා. ඉතින් සම්බෝලයි පානුයි කකා පීචං වෙන්නේ මොකටද පුතා.
* එතකොට ඇයි චිත්‍රපට රංගනයෙනුත් ඈත් වුණේ? මං අන්තිමේට රඟපෑවේ විජයග්‍රහණය චිත්‍රපටයේ. මං ඉහත කී තත්ත්වය චිත්‍රපටවලටත් එන්න පටන් ගත්තා. ටෙලි නළුවෝ ගානට වැටුණා. ඉතින් ටික ටික අයින් වුණා. මං එහෙම කියද්දී තවත් සිද්ධියක් මතක් වුණා. බොනිෆස් යළිත් අප අතීතයට කැඳවාගෙන යාමට සූදානම් වෙයි. මං සාමාන්‍යයෙන් චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යකට රඟපාන්න ආරාධනා ලැබුණාම මුදල් ගැන අහන්නෙත් නැහැ. මුදල් ඉල්ල ඉල්ල කරදර කරන්නෙත් නැහැ. ලැබුණොත් ගන්නවා. ඔන්න මට අසනීප වූ වෙලාවක මුදල් හදිස්සියක් වෙලා මට චරිතයකට කතා කරපු අධ්‍යක්ෂවරයකුගෙන් අත්තිකාරම් මුදලක් ඉල්ල ගන්න ගියා. මගේ බිරිය පළමු දවසේ ඇයව එම අධ්‍යක්ෂවරයා හඳුනන්නේ නැතුව වගේ එළවලා. දෙවැනි දවසේ ගියාම රුපියල් පන්සීයක් අතට දීලා කිව්වලු පිං තකා මේ මුදල දෙන්නේ කියලා. මට හොඳටම දුක හිතුණා. එහෙම සල්ලි ගන්නවාට වඩා හොඳයි කොච්චිකඩේ පල්ලිය ඉස්සරහට ගිහින් හිඟා කනවා. එතෙකොටත් පිං තකානෙ මුදල් ලැබෙන්නේ. ඔන්න මට වෙච්ච දේවල්.
* බොනිෆස් අයියාට වෙච්ච අකරතැබ්බ මොනවද චිත්‍රපට රඟපාන්න ගිහිල්ලා? මම කතාව වෙනත් පැත්තකට යොමු කෙරුවෙමි. සිරිමලී චිත්‍රපටයට ඉන්දියාවේ ගියාම මං කඩයකින් උක් ඉස්ම බිව්වා. මට උණ ගැනුණනේ. ඉන්දියාවේ චිත්‍රාගාරවලින් අපට දුන්නු දවස්වලටම හරියට චිත්‍රපටය රූගත කොට ඉවර කරන්න ඕනෑ. නැතිනම් ඔවුන් බලෙන්ම වගේ සෙට් එක ගලවනවා. මට උණ ගැනුණා කියලා චිත්‍රපටය රූගත කිරීම නවත්වන්න බැරි වුණා. ඩොක්ටර් ගෙන්වලා මට ඉන්ජෙක්ෂන් ගහ ගහා උණ අඩු කර කර තමයි ඒ චිත්‍රපටයේ රඟපෑවෙ. සුහද දිවි පිදුම කරන්න ගිහිල්ලා තමයි නියම වැඩේ වුණේ. ඒකේ දර්ශනයක තිබුණා මාව පඩි පෙලකින් පෙරලිලා යනවා. ඒක කළාට පස්සේ ඉල ඇටවලට ගොඩක් හානි වුණා. අදටත් ඒකේ බලපෑම් තියනවා. සුවිනීත ලාලනී චිත්‍රපටයේ විජිත මල්ලිකයි මමයි මීගමු කලපුවේ බෝට්ටුවක නැගලා යන දර්ශනයක් කරන්න ගිහිල්ලා බෝට්ටුව කලපුව මැදදි පෙරලුණානේ. බොහොම අමාරුවෙන් ජීවිත බේර ගත්තේ. බොනිෆස් ප්‍රනාන්දු අගයමින් විශේෂ උපහාරයක් පසුගියදා හෙළ සිනමාවට වසර හැට හතක් පිරෙනදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවති උත්සවයකදී පුදනු ලැබුවා. ඒ ගැන බොනිෆස් සිටින්නේ හරිම තෘප්තියන් යුතුවය. සිංහල සිනමාවට හැට හතයි. සංස්ථාව පිහිටුවලා හතළිස් දෙකයි. මේ සුවිශේෂී අවස්ථාවේදී මා වගේ කෙනෙකුව අගය කිරිම බොහොමත් සතුටුයි. ජීවිතයේ සැඳැ සමය ගෙවන මේ ජ්‍යෙෂ්ඨ රංගනවේදියාට දීර්ඝායුෂ පතමින් අප ඔහුගේ නිිවසෙන් සමු ගන්නට සූදානම් වුණේය. සරසවිය පත්තරේ ඔක්කොමලා මතක් කළා කියන්න. බොනිෆස් අයියා අත වනා එලෙස කීවේ ළෙංගතු සිතිනි.
|