|
පළා බබෙක් වෙන්න මට ඕනෑ නෑ
සිංහල සිනමාවේ ‘වාසනාවන්ත දිරිය කත’ ගීතා කුමාරසිංහ
සිය අපූර්ව රංග ලීලාවෙන් කලක් අපේ සිනමාව උණුසුම් කළ ඈ දැන් දේශපාලන පොර පිටියේ උණුසුම් පුවත් මවන්නියක බවට පත්ව සිටී. අද බොහෝ දෙනා කතාබස් කරන්නේ ගීතා කුමාරසිංහ නමැති ඒ සම්මානනීය ජනප්‍රිය නිළිය ගැන නොව දේශපාලනයට බට දිරිය ගැහැනිය පිළිබඳය. පිලිමළුන් හා උරෙනුර ගැටෙමින් සියලු බාධක, අභියෝග හමුවේ සෙල්කුලක් මෙන් නොසැළී සිටිනා ඈ එදා සිනමාවේ අප දුටු ගීතාමදැයි විටෙක සිතේ.
මේ දැන් මා සිටින්නේ ගීතාගේ මහා මන්දිරයක් බඳු දෙමහල් නිවසේ් උඩු මහලේ පිහිටි ඇගේ කාර්යාල කාමරයේ අසුනක් මතය. ඈ සිය ජංගම දුරකතනයෙන් කිසිවකු හා කතාබහකය. වත්සුනු නොතැවරුව ද ගීතාගේ මුහුණ පෙර සේම සුන්දරව දිලේ. එහෙත් ඇගේ දෑසෙහි සටහන්ව ඇත්තේ විඩාබර බවකි. ඒ දෑස දේශපාලන ලෝකයේ කර්කශ බව නිහඬව කියාපාන්නාක් මෙනි.
එළැඹෙන පළාත් සභා මැතිවරණයත් එක්ක ගීතා කුමාරසිංහ ආයෙත් කාර්යබහුල වෙලා. මම හිතන්නේ වෙලාවට කෑමක්, බීමක්, නින්දක් මේ මොකුත් නැහැ . . .? ඒක මම 2010 අවුරුද්දේ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙච්ච දවසේ ඉඳලා අද දක්වාම මට උරුම දෙයක්. එදා පාර්ලිමේන්තු මහ මැතිවරණයට මම ඉදිරිපත් වුණා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හා ශ්රීී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමයි මම එදා ඒ තීරණය ගත්තේ. එතුමා තමයි ඉතිහාසයේ පළමුවැනි වතාවට ගාල්ලට කාන්තා නියෝජනයක් මහ මැතිවරණයක් සඳහා ලබා දුන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ කිසිම කාන්තාවකට දේශපාලනයට ඇවිත් ඔළුව උස්සලා සංවිධායකවරියක් වීමට ඊට පෙර අවස්ථාව ලැබී තිබුණේ නැහැ.
උපන් ගමේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරිය වීමට ඔබට වරම් ලැබෙනවා? ඔව්. බෙන්තර – ඇල්පිටිය මගේ උපන් ගමේ සංවිධායක ධූරය මට ලැබෙනවා. කෙනෙකුට හද පත්ලෙන්ම තමන් ගැන සතුටු වෙන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා ජීවිතයේ. එකක් තමයි තමන් උපන් දේශය, තමන්ගේ ගම වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්නට ලැබෙන එක. තමන්ගේ හතර වරිගෙට, තමන් ඉපදුන තැනට කවුරුත් ආදරේ කරනවා. මමත් එහෙමයි. මගේ මුල් හැමදාමත් තිබුණේ ගමේ.
සිනමාවයි, දේශපාලනයයි කියන්නේ ලෝක දෙකක්. ඒ සිනමා රාජධානිය අත්හැරලා ආපහු උපන් ගමට දේශපාලනය කරන්න එද්දි මොකද හිතුණේ? සිනමා නිළියක් හැටියට මගේ භූමිකාව වෙනස්. මට ලස්සනට අඳින්න, පළඳින්න වුණා. නොයෙක් විදිහේ මෝස්තර කළා. ඒත් මම අද සාමාන්‍ය ගමේ ගැහැනියක් තරමටම සරල වෙලා. අද මගේ පළමු කාර්යය මේ මෝස්තර කරන එකවත්, ලස්සනට අඳින එකවත්, සිනමා නිළියක් හැටියට බැබළෙන එකවත් නෙවෙයි. සමාජ සේවිකාවක්, ගමට වැඩ කරන කෙනෙක්. මිනිසුන්ගේ දුක හොය හොයා ගිහින් උදවු කරන කෙනෙක් බවට අද මම පත්වෙලා. අද මගේ ප්‍රධාන කාර්යය එයයි. සිනමාවේ තරම් සැහැල්ලුවක්, සුන්දරත්වයක් දේශපාලන ලෝකයේ නැහැ. ඒත් මම දේශපාලනයේ නියැළෙන්නේ අසතුටෙන් නෙවෙයි.
අභියෝග මැද නොසැලී ඉදිරියට? ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මා වෙනුවෙන් හුඟක් අය ඡන්දය දෙන්නැති. ඡන්ද 38,000 ක් නිල වශයෙන් මට ලැබුණා. ඒත් සමහරු මට වට කරලා ගැහුවා. මා ගැන අසත්‍ය ප්‍රචාරය කළා. මම ආවේ අවංකව ජනතාවට සේවය කරන්න. එතකොට මම අවුරුද්දකට එක හොඳ චිත්‍රපටයක විතරක් රඟපානවා කියලා තීරණයක් අරගන හිටියේ. රඟපානවා නම් ඒ හොඳම චිත්‍රපටයක් වෙන්න ඕනෑ. එහෙම මමම පනවා ගත්තුª නීති රෙගුලාසි ගොඩක් තිබුණා. අද පාරේ ඉන්න අයටත් නිළියෝ කියනවා. නිළිකම ඒ තරම් හෑල්ලුවට ලක් වෙලා. එක චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක, දෙකක රඟපාලා සමහරු ලොකු නිළියෝ විදිහට කතා කරනවා. හැසිරෙනවා. මේ කළකිරීමත් මට තිබුණා.
ඔබ ඔය කියන විදිහේ නිළියොත් මෙවර මැතිවරණයට තරග කරනවා? එහෙම අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා.
එතකොට ඔබට මොකද හිතෙන්නේ? ඒගොල්ල ගැන මගේ හිතේ තියෙන්නේ මානුෂික හැඟීමක්. මොනවා වුණත් ඒ අය මගේ වෘත්තියේ නියැලෙන පිරිසක්. අපි ඒ අය ගැන කතා කරන්න ඕනෑ ද්වේශයෙන් නෙවෙයි. බොහොම සංවේදීව. අර ගුත්තිල – මූසිල වාදෙට වගේ එක් නිළියක් මට අභියෝග කරලා තිබුණා. ඉතිං මට අභියෝග කරන්න පුළුවන් තත්ත්වෙක එතුමිය ඉන්නවද, නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම ඇයට අභියෝග කරන්න යන්නේ නැහැ. ඒක ජනතාව කරාවි. ජනතාව දන්නවා තරාදියක දෙපැත්තට දැම්මොත් අපි දෙන්නා ඉන්නේ කොයි තත්ත්වෙද කියලා.
කොහොම වුණත් නළු, නිළියෝ දේශපාලනයට එන එක ගැන ජනතාවගේ එතරම් මනාපයක් නැහැ නේද? මම ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්න ආපු කෙනෙක්. හෙට මේ සියලු දේවල් දාලා යන්න වුණොත් කිසිම බයක්, සැකක් නැතිව මම ඒ දේ කරනවා. මම කිසිදාක මගේ මේ අත් දෙකෙන් අල්පෙනිති තුඩක තරම දෙයකවත් ජනාධිපතිතුමන්ගෙන් අරගෙන නෑ.
ඒක බොහොම වගකීමෙන් කියන්නේ? ඉතාම වගකීමෙන් කියන්නේ. කවුරු හරි මම එහෙම කළා කියලා ඒක ඔප්පු කළොත් මම මේ සංවිධායක ධූරයෙන් හෙටම අයින් වෙනවා. මගේ පවුලේ කෙනෙකුට, මගේ වෙන ව්‍යාපාරයකට මේ දේශපාලනය හරහා මම ශතයක දෙයක් අරගෙන නෑ. රජයට සම්බන්ධ කිසිම ව්‍යාපාරයක මම යෙදිලා නෑ. නමුත් මම මේ වෙනකොට දේශපාලනය වෙනුවෙන් ලක්ෂ හාර පන්සීයක් අතින් වියදම් කරලා ඉවරයි.
ද ඉදිරියේදී ඒ මුදල් දේශපාලනය හරහා උපයා ගන්න ඔබේ බලාපොරොත්තුවක් නැහැ? මට ඒවා ලැබුණත් එකයි, නැතත් එකයි. ඒ මුදල් වැය වුණේ මගේ ප්‍රතිරූපය හදා ගන්න නෙවෙයි. ප්රචාරක කටයුතුවලට නෙවෙයි. ජනතාව වෙනුවෙන්. හැබැයි ඒවා මම ඡන්ද වාසි බලාගෙන නෙවෙයි කළේ. අද සමහරු ටකරං, උදළු තල, පුටු දීලා තමයි ඡන්දය ඉල්ලන්නේ. ඡන්දය විකුණන ජනතාවක් අතර දැන් හරි අමාරුයි මේ ඡන්දය කරන්න. එදා මම පැරදුනාට කවුරු හරි ඇවිත් උදව්වක් ඉල්ලුවොත් අදටත් නොකර ඉන්නේ නැහැ. පාසල් පොත්, සපත්තු, බෑග් අසරණ ළමයින්ට මම දෙන්නේ අඬ බෙර ගහලා නෙවෙයි. මම එක්තරා කාන්තාවකට මහන මැෂිමක් පවා අරගෙන දුන්නා. ඒවා කළේ බොහොම සද්භාවයෙන්.
ජනතාවාදී දේශපාලනයක්? ඔව්. මම හිතුවා ඒක තමයි මගේ දේශපාලනය කියලා. ජනතාවට උදවු කරන දේශපාලනයක්. මම පාරවල් හැදෙව්වා. රජයේ මුදල් අපේ ආසනයට අරගෙන ආසනය වැඩි දියුණු කරන්න උපරිම කැපවීමෙන් කටයුතුª කළා. එදා මට පහර පිට පහර ගහපු උදවිය ගියා පාර්ලිමේන්තුවට. නමුත් මම ගමට වෙලා ජනතාවගේ දුක, සැප බලාගෙන හිටියා. සමහරු ඡන්දෙ දිනුවට පස්සේ පැත්ත හැරිලා බැලුවෙ නෑ. මම බොරු කියන්නේ නැහැ. දෙන්න බැරි නම් බෑ කියනවා. දෙනවා නම් මැරිලා හරි ඒ දේ ඉෂ්ට කරනවා.
දේශපාලන ලෝකයෙන් ඔබ අතුගා දමන්නට කිසියම් කුමන්ත්රණකාරී බලවේගයක් ක්‍රියාත්මක වෙන බවයි පේන්නේ? විශේෂයෙන්ම එක් පුද්ගලයෙක්.
එක්තරා කැබිනට් ඇමැතිවරයකු එක්ක ඔබ ආරාවුලක පැටලුනා. ඒ ගැනද මේ කියන්නේ? ඔය සමහර කැබිනට් ඇමැතිවරු මා එක්ක ඊර්ෂ්‍යයි. මොකද ඒ අයට වඩා ජනතාව මට ආදරෙයි. ඒක නතර කරන්න කාටවත් බැහැ. ඉතින් ඒ ඇමැතියි, මමයි කොහේ හරි ගියාම මිනිස්සු එන්නේ මගේ පස්සේ. මගේ අත් ඉඹිනවා. මාව බදා ගන්නවා. මමත් එහෙමනේ.
ඔය බදා, ඉඹ ගන්න හැමෝම ඔබට ඡන්දය දෙයි කියලා හිතනවාද? මේක ඡන්ද කතාවක් නෙවෙයි. දැන් ඔබතුමා මුලින්ම අහපු කතාවටයි මම මේ උත්තරේ දෙන්නේ. ඇමැති කෙනෙක් ගැනයි අපි කතා කර කර හිටියේ. ඒකයි මේ ඡන්දෙයි පටලවා ගන්න එපා. ඒ අයට ඕනෑ බෙන්තර, ඇල්පිටියට දුර්වල නායකයෙක්. මම එහෙම කෙනෙක් නෙවේ. මම එඩිතරව තීරණ ගන්නවා. කවදාවත් ජනතාවට අහිතකර තීරණ ගන්නේ නෑ. බාර් පර්මිට් දීලා, සුදු පොළවල් දාලා, කූඩු ගෙන්වන අයට උදවු කරලා මම ගමත්, රටත් විනාශ කරන්නේ නෑ. ඒවා කරන අයට මම ලොකු අභියෝගයක්. මොකද මම ඒවාට කෙළින්ම විරුද්ධව වැඩ කරන නිසා. එහෙම දේවල් එකෙන්, දෙකෙන් මම නැවැත්තුවා. මම දේශපාලනයට ආවේ හොරුන්ට, තක්කඩින්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට උදවු කරන්න නෙවේ.
මේ ඊයේ, පෙරේදා දේශපාලනයට ආපු ගීතා කුමාරසිංහට ඔව්වත් කරන්න පුළුවන් වැඩද කියල කෙනෙක් ඇහුවොත්? මම දේශපාලනය කරන්න ආවේ අවුරුදු දාසයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මම ලබා ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින්. ඒ අතරේ මම මේ රටේ සියලුම රාජ්‍ය නායකයින් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ඒ කාලවල හිටපු රාජ්‍ය නායකයින් සමඟ ළඟින් ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණා. මුලින්ම මට පළාත් සභා ඡන්දයකට ආරාධනා කළේ ජේ. ආර්. ජයවර්ධන මහත්මයා. ප්‍රේමදාස මැතිතුමා කතා කළා. විජය කුමාරණතුංගයන් කතා කළා. විජය මහජන පක්ෂය පිහිටුවලා මට බෙන්තර ඇල්පිටියෙන් තරග කරන්න කිව්වා. නමුත් ඒ සියලුම ඉල්ලිම් මම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කළා.
එතකොට පසු කාලීනව ක්‍රියාකාරී දේශපාලනයට එන්න ඔබ තීරණය කළේ ඇයි? එදා වගේ නෙවෙයි මම දැන් මුහුකුරා ගිය කෙනෙක්. ජීවිතය මොකක්ද කියලා එදාට වඩා මට අද තේරෙනවා. ඉතින් ඇයි උපන් බිම වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න තියේ නම් ඒකට පහුබට වෙන්නේ. දැන් මට ආචාර්ය උපාධියක් තියෙනවා. ඒත් මම ඒක පාවිච්චි කරන්නේ නෑ මගේ නමේ මුලට. ඔයා හිතන්න ‘ආචාර්ය ගීතා කුමාරසිංහ’ කියන එක මට නම් මහ විහිළුවක්. මට ඒවා ඕනෑ නෑනේ. මම ගීතා සමන්මලී කුමාරසිංහ. ඒක මට ඇති.
දේශපාලඥයකුට යම් දේශපාලන දර්ශනයක් තියෙන්න ඕනෑ. නමුත් හුදුු සටන් පාඨ විනා එවැනි අර්ථවත් දේශපාලන ඥානයක් අද බොහෝදෙනෙකුට නැති බවයි පෙනෙන්නේ? සමහරු ජාතිය විකුණනවා. සමහරු ආගම. තව සමහරෙක් කුලය විකුණනවා. මේ ඔක්කොමලා කරන්නේ මොකක් හරි විකුණලා තමන් තැනකට එන එක. නමුත් කලාකාරයකුට ඔය එකක්වත් විකුණන්න ඕනෑ නෑ. ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරලා සතුටු වෙනවා කියන හැඟීම විතරයි මට තියෙන්නේ. මම බලාපොරොත්තුª වෙන්නෙත් එච්චරයි. හැබැයි ඊටත් වැඩියෙන් ජනතාව මට ආදරේ වෙනවා. ‘අපි ඔබතුමිය සමඟයි’ බෙන්තර – ඇල්පිටිය අපේ අම්මා ඔබයි’ එහෙම කියන කොට මම අඬනවා. මම නිවසකට ගියාම ඔවුන් ආදරයෙන් සලකනවා. මම කොකිස්, වැලි තලප කන්න ආසයි කියලා ඒ අය දන්නවා. ඒවා මා වෙනුවෙන්ම හදනවා. පුංචි දැරිවියක් මගේ ඉස්සරහට ඇවිත් බුලත් අතක් දීලා වඳින කොට මගේ ඇස් දෙකෙන් කඳුළු එනවා. මම හරි සංවේදී වෙනවා එතකොට.
ඒක බොහොම හෘර්දයාංගම සබැඳීයාවක්? ඇත්තටම ඒක ඡන්ද ව්‍යාපාරයක් නෙවේ. ආත්මීය බැඳීමක්. ඒත් ඒකේ අනෙක් පැත්ත හිතලා බලන්න. සියයට අනූ නවයක්ම මේ දේශපාලනයට එන්නේ හරි හම්බ කර ගන්න. ජනතාව මුලා කරන්න. ජනතාවගේ මුදලින් තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්නවා. ඊට පස්සේ ජනතාවටම කොකා පෙන්වනවා.
ගීතා නෝනා මේ දේශපාලන තරග බිමේ කරන්නෙත් රඟපෑමක් කියා ඔබේ විරුද්ධවාදීන් කියනවා? ඒ ඉතින් එක එක අය කියන කතානේ. මට නෙවේ ඔය ජනාධිපතිතුමාටත් කියන්නේ. මේ දේශපාලනයේ එක් කොටසක් ඉන්නවා ඒ අය කරන්නෙම අනුන්ට මඩ ගහන එක. ඒක ඒ ගොල්ලන්ගේ ජීවිතේ. ඒ අය විඳීන්නේ අනුන්ට මඩ ගහලා. ඒක වලක්වන්න බෑ. ඒ එක එක්කෙනාගේ මානසික තත්ත්වයන්. අනුන් අවඥාවට ලක් කරලා එයින් සතුටක් ලබන්න අද ගොඩක් අය පෙළඹිලා ඉන්නවා. හැබැයි ඉතින් ඕක අනාදිමත් කාලෙක ඉඳලා පැවැතෙන දෙයක්. තව කෙනෙකුගේ ඕප දූප හොයලා, අරයා මෙහෙමයි කියලා සතුටක් ලබනවා. ඕක මහා පරිමාණයෙන් සිදු වෙනවා දේශපාලන ලෝකේදී. ප්‍රතිවාදියා ගැන වැරැදි මත සමාජය පුරා වපුරන එකයි ඔවුන්ගේ ලොකුම කාර්යය. අද මේක ජාවාරමක් වෙලා.
දේශපාලන උප්රවැට්ටියක් කිව්වත් හරි? මාත් එක්ක පැටලෙන්නේ ඇයි කියලා කෙනෙක් අහලා තිබුණා. මොකක්ද දන්නවද අර මිනිහා දීපු උත්තරය ‘මට ප්‍රසිද්ධ වෙන්න, ජනප්‍රිය වෙන්න වෙන ක්‍රමයක් නෑනේ, ඒකයි කියලා. මෙලෝ යකෙක් නොදන්න සමහරු ජනප්‍රිය කෙනෙක් එක්ක පැටලෙනවා තමන්ගේ නම හදා ගන්න. එහෙම බැලුවොත් මේකත් උප්පරවැට්ටියක් තමයි.
ඔබ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ දකුණු පළාත් සභාවේ මහ ඇමැති ධූරය අපේක්ෂාවෙන් කියා රාවයක් පැතිර යනවා. ඇත්තද ඒක? මගේ සම්පූර්ණ බලාපොරොත්තුව ඒකයි. මට පළා බබෙක් වෙන්න ඕනෑකම තිබුණා නම් කලින්ම එතැනට යන්න තිබුණ. පළාත් බබ්බුන්ට කරන්න දෙයක් නෑ. බලන්න දකුණු පළාත් සභාවට වෙලා තියෙන දේ. සමහර පාසල්වල ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න ළමයින්ට මාස දෙකකින් ගුරුවරයෙක් නෑ. හැම තැනම ප්‍රශ්න. හැම දේම කඩාකප්පල් වෙලා. පළාත් සභාවේ පරිපාලනය අතිශයින් දුර්වල මට්ටමක අද තියෙන්නේ. හිටපු දේශපාලනඥයෝ ජනතාවට එපා වෙලා. මම මේ පළාත් සභාවට තරග කරන්නේ පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න හා එය නිසි ලෙස කළමනාකරණය කරන්නයි.
ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ සැළැස්මක් ඔබ සතුව තිබෙනවාද? පැහැදිලිව ඔව්. කර්මාන්ත පුරයක් ඇති කිරීමෙන් තරුණ, තරුණියන් දහස් ගණනකට රැකියා ලබා දෙන්න බලාපොරොත්තුª වෙනවා. ඒ වගේම ධීවර කර්මාන්තය නගා සිටුවන්නත් මගේ විශේෂ වැඩ පිළිවෙලක් තියෛනවා. කෘෂි ආර්ථිකය, සෞඛ්‍යය, ජල ප්‍රශ්න මේ සියල්ලටම ස්ථිරසාර විසඳුම් ලබා දෙනවා. ඒ වගේම මේ පළාතට ආවේණික, සාම්ප්‍රදායික කලාවන් වඩාත් ප්‍රශස්ථ මට්ටමකින් ජාතිය හමුවට ගෙන ඒමත් මගේ අභිප්‍රායයක්. හැකියාව තියෙන දූ දරුවන්ගේ කලා කුසලතාව ඔප් නංවා ඔවුන් දැයට දායාද කිරීමේ මහ¼ගු කාර්යය ගීතා කුමාරසිංහ පදනම මඟින් දැනටත් දියත් කර තිබෙනවා. නැවතත් මම කියන්නේ මට දේශපාලනයෙන් හම්බ කරන්න අවශ්‍ය නෑ. දැනටත් ස්විට්සර්ලන්තයේ මගේම නිවසක් තිබෙනවා. මගේම වාහන හත අටක් තියෙනවා. සේප්පු හතරක් පිරෙන්න රන් ආභරණ මා සතුයි. ඒවා අවුරුදු පහකින්වත් මම ඇහැට දැකලා නෑ. මට හරි හම්බ කරන්න අවශ්‍ය නෑ කියන්නයි මේ ටික කිව්වේ. මගේ දුව ඉන්නෙ අමෙරිකාවේ. මට රකින්න පරපුරක් නෑ. ඒ නිසයි පිරිසුදුව, අවංකව ජනතාව වෙනුවෙන් මට සේවය කරන්න පුළුවන් පසුබිම සැකසිලා තියෙන්නේ.
|