වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමය ලුහුබඳින්නන්ගේ ජීවන අන්දරය රූපාන්තරණ

ප්‍රේමය ලුහුබඳින්නන්ගේ ජීවන අන්දරය රූපාන්තරණ

නාලක විතානගේ නිර්මාණයක්

අමිල, මිලින්ද, ෂෙලා රිදී තිරයට

කෑලි කැපිය හැකි අඳුරත්, උහුලා ගත නොහැකි සීතලක් දෝත දරාගත් හරේන් නිවෙසට යාමට පිටත් වූයේ බමනමතිනි. රාත්‍රී සමාජ ශාලාවේ සිදුවූ සියලු දේ ඔහුට පෙනෙන නොපෙනෙන චිත්‍රයක් බඳුය. ඒ සුන්දර රාත්‍රියේ ඇන්ඩ්‍රියා සහ වරුන් හමුවූ අයුරුත් වරුන් ගේ අවසරය මත ඇන්ඩ්‍රියා තමා සමග රිසිසේ විනෝද වූ අයුරුත් හරේන්ට මැවී පෙනෙයි. තමාගේ දිගු තියුණු දෑසට එබුණු ඇන්ඩ්‍රියාගේ ප්‍රේමණීය දසුන් හරේන්ට තවමත් මතකය. සමාජ ශාලාවේදී ගී තාලයට නැටවුණු පාදත්, ප්‍රේමයට හෙලවුණ හදවතත් හරේන්ට තවමත් සිහිනයකි. අනපේක්ෂිතව එකවර වරුන්ගෙන් වසන්ව ඇන්ඩ්‍රියා තමාගේ ගෙල පැළඳවූ රන් මාලය තවමත් ගෙලමත එසේමය.

මේ රාත්‍රිය වෙනදාට වඩා හරේන්ට දිගුය. සුන්දරය. තමා ඔස්ට්‍රේලියාවට පැමිණි අයුරුත් වරුන් සහ ඇන්ඩ්‍රියා මුණගැසුණ ආකාරයත් හරේන්ගේ සිත තුල විටින්විට මැවෙයි. මේ සිහින අතරේ තවත් අලුත් දවසක් ලබන්නේ හරෙන්ගේ ජීවිතය බලාපොරොත්තු වලින් පුරාවලමිනි. දැන් හරේන්ට සමීප බලාපොරොත්ත්වක් තිබේ. ඒ ඇන්ඩ්‍රියාය.

රාත්‍රියේ තෙහෙට්ටුවත් – උදෑසන ප්‍රබෝධයත් සමඟ හරේන් ඇන්ඩ්‍රියාගේ ආපන ශාලාවට පැමිණෙන්නේ සතුටිනි.

ඇන්ඩ්‍රියා - මොකද කකුල?

හරේන් – මං හිතන්නෙ සේරම මසල්ස් තදවෙලා. ඊයේ නැටුවා වැඩියිනේ.

ඇන්ඩ්‍රියා - ඊයේ පුදුම ජොලියක්නේද ගත්තෙ.

ඇන්ඩ්‍රියාගේ සරාගී ප්‍රේමණිය දෑස නැවත හරේන්ගේ දෑස සමඟ එක්වන්නේ නිරායාසයෙනි. හරේන්ට නැවත සිහියට එන්නේ ලංකාවේ ඇන්ඩ්‍රියා සමඟ ගෙවූ විශ්ව විද්‍යාල ජීවිතයයි. මෙතරමට විනෝදජනක නොවුවද ඒ අතීතය සුන්දරයයි හරෙන්ට සිතෙයි.

ඇන්ඩ්‍රියා සහ වරුන් අතර ඇති ප්‍රේම සබඳතාව හොඳින්ම දන්නා හරේන් ඇන්ඩ්‍රියා සමඟ මිත්‍රශීලි ඇසුරක් ගොඩනගාගනියි. මේ ඇසුර දිනන් දිනම ප්‍රේමයෙන් පෝෂිතව දළුදමා වැඩෙන්නේ දෙදෙනාම දැනුවත්වය. වරුන්ගේ හිත් රිදවීම් වලින්ද හෙම්බත්ව සිටින ඇන්ඩ්‍රියා හරේන්ගෙන් බලාපොරොත්තු වන්නේ සහනයකි. සදානන්දනීය වූ සහනයකි.

සැන්ඩ්‍රියාගේ පියා උසස් හමුදා නිලධාරියකු වීම නිසාම ඇයට ඇත්තේ අභිමානයකි. නමුදු ඒ අභිමානය වරුන් පාමුල බිඳදමා ගැනීමට තරමට ඇන්ඩ්‍රියා ඔහුටද ප්‍රේමකරන්නීය.

මේ ප්‍රේමය නිසාම ඇන්ඩ්‍රියා ගැබ්බර වන්නේ වරුන්ගෙනි. නමුත් වරුන් එය ගණනකට නොගන්නේ ඇන්ඩ්‍රියාගේ සිත දුකින් දුකට පත් කරලමිනි. අවසානයේ වරුන් ඇන්ඩි‍්‍රයාගේ කුස පිළිසිඳගත් දරුවා විනාශ කර දමන්නේද ඉතා අමානුෂික වෙමිනි. මේ ක්‍රියාකලාප අතරේ ඇන්ඩ්‍රියා සමඟ සමීපවම සිටින්නේ හරේන්ය. ඒ හේතුව නිසාම හරේන්ගේ සිත තුළ ඇන්ඩ්‍රියා පිළිබඳ ආදරයක් උපන්නද ඇන්ඩ්‍රියා බොහෝසෙයින් ඇළුම් කරන්නේ වරුන්ටය.

මේ හේතුව නිසාම කලකිරීමට පත්වන හරේන් ලංකාවට යාමට තීරණය කරන්නේ කිසිවකුටත් නොදන්වමිනි. නමුදු ලංකාවට පා තබන මොහොත වනවිට හරේන්ට හමුවන්නේ ගුවන් තොටුපලෙහි ලංකාවට පැමිණෙන ඇන්ඩ්‍රියා සහ වරුන්ය.

ඇන්ඩ්‍රියා - අපි අලුත් ලයිෆ් එක අපේ රටේම ස්ටාර්ට් කරන්න ආවා.

වරුන් - Oh. what a suprise Haren

ඔවුන් කෙටි වේලාවකින් ගුවන් තොටෙන් නික්මෙන්නේ වේදනාව මුසු හැඟීමෙනි.

ලංකාවට පැමිණෙන හරේන් දුෂ්කර සුන්දර ප්‍රදේශයක තමාගේ නිහඬ නිසසල ජීවනරටාවට තෝරා ගන්නා අතර ඇන්ඩ්‍රියා හා වරුන් විවාහවීමට ප්‍රථම කොළඹින් තරමක් දුර බැහැර ප්‍රදේශයක් තෝරා ගත්තේ ඇන්ඩ්‍රියාගේ මව වන අනෝමා ගේ ඉල්ලීම පරිදිය.

මෙම ජීවිතයට පසු ඇන්ඩ්‍රියා නිවෙසේ තනිවන්නේ වරුන් කොළඹ රැකියාවකට පැමිණීමත් සමඟය. ඇන්ඩ්‍රියාගේ නිවෙසට යාබද ගුප්ත බංගලාවේ ජීවත්වන ගිල්බට් හා ගොළු මූර්ති මේ දෙදෙනා දෙස බලන්නේ සැකයෙනි. ඒ සැකය ඇන්ඩ්‍රියාට ගෙන එන්නේ බියකි.

මේ ආතතියෙන් මිදීමටත් සුවදායක පරිසරයේ චමත්කාරය විඳීමටත් නිවෙසින් නගරය බලා පිටත්වන ඇන්ඩියාට හරේන් මුණගැසෙන්නේ අහම්බයෙනි. ඒ අහඹු හමුවීම නැවත උන්මාදනීය ප්‍රේමයක ඇරයුම සටහන් කරලන්නේ අනපේක්ෂිත සිදුවීම් රැසකට මඟ සදාලමිනි.

හරේන් ඇන්ඩ්‍රියාගේ ප්‍රේමයට කුමක් වේවිද?

වරුන් ඇන්ඩ්‍රියා සමඟ සබඳතාවයක් ගෙඩ නගා ගනීමේ අරමුණ කුමක්ද?

මේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයෙන්නේ ළඟදීම තිරගතවීමට නියමිත රූපාන්තරණ චිත්‍රපටයෙනි. ත්‍රස්ත කල්ලි තමාගේ ඉලක්ක සපුරාගැනීමට යොදන සූක්ෂම උපායන් මෙන්ම ඒ උපායන් සඳහා තීක්ෂණ බුද්ධියෙන් පසුවන පිරිසද රූපාන්තරන තුළ ඔබට හමුවනවා නියතම.

රැඳී සිටින්න...

රූපාන්තරණ නව අත්දැකීමක් සමඟ ඔබ සොයා එන තුරු

නළු නිළි කැල:

රවීන්ද්‍ර රන්දෙණිය, ඇන්ජලා සෙනෙවිරත්න, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, සාරංග දිසාසේකර, නයනා කුමාරි.

හඳුන්වාදෙන:අමිල කරුණානායක, ෂෙලා නැතෑලියන්, මිලින්ද මඩුගල්ල, කැලුම් කුලරත්න

කලා අධ්‍යක්ෂණය - රෝහන හේවාවිතාරණ

අංග රචනය – බුවනෙක රණවක සංස්කරණය – ඒෂාන් මොටාගෙදර

ආලෝකකරණය – ඉන්දික ලක්මාල් කැමරාකරණය - සමිත් අලහකොන්

නිෂ්පාදනය – ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

තිර රචනය සහ අධ්‍යක්ෂණය – නාලක විතානගේ