වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රධාන අමුත්තාට ගොනෙක් ඇනලා

ප්‍රධාන අමුත්තාට ගොනෙක් ඇනලා

විකට රංගනය කියන දෙය මතුපිටින් පෙනෙන තරම් සැහැල්ලු දෙයක් නොවන අතර එය ඉතා පුළුල් පරාසයක් පුරා විහිදුණු ගැඹුරින් අධ්‍යයනය කළ යුතු දෙයක්. ඒක හරියට ආගමක් වගේ තේරුම් ගත යුතු දර්ශනයක්. ඒ තුළ ගැබ් වෙලා තියෙන අදහස හරියට තේරුම් නොගත්තොත් අදාල චරිතය හරියට නිරූපණය කරන්නත් අපහසු වෙනවා. ඒ නිසාම විකට රංගනය නිරූපණය අනෙකුත් රංගනයන් ඉදිරිපත් කරවාට වඩා අසීරු කාර්යයක්. ඒ සඳහා හොඳ හැකියාවක් උරුම විය යුතුª වෙනවා. ප්‍රේක්ෂකයන්ට බලා සිටින්න රඟපානවට වඩා ඔවුන් සතුටු කර හිනස්සවන කාර්යය ඒතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒ කටයුත්ත කිරීමේදී සෑම වයස් පරතරයකම බුද්ධි මට්ටමේ නියෝජනය වන අයුරින් කළ යුතුත් වෙනවා. මෙවැනි ක්ෂේත්‍රයක් තුළ එක දිගට රැඳී සිටීමත් සුළු පටු කාර්යයක් නොවෙයි. මේ වැඩේ කොතරම් අසීරු වුණත් ලොකු ආශාවක් හැකියාවක් මා තුළ කුඩා අවධියේ පටන් තිබුණා.

මගේ ජීවිතයේ කුඩා කාලයේ පටන් තිබූ දඟකාරකම් සමඟ විකට රංගනය අල්ලලා ගියා. ඒ උපතින්ම උරුම වූ හැකියාවත් සමඟ. කුඩා අවධියේ සිටම මම ආශා කළ කැමැති වූ දෙය තේරුම් ගන්න, හඳුනා ගන්න මට හැකි වීම නිසාම රසික රසිකාවියන්ට පරම්පරා ගණනක් රස විඳිය හැකි නිර්මාණ සඳහා දායක වෙන්න මට වාසනාව ලැබුණා.

මම කුඩා කාලයේ පටන් යමක් රඟපෑමට උපන් හපනෙක් බව පාසලේ ගුරුවරු පවා වටහාගෙන තිබුණා. මේ රසවත් සිද්ධිය වන විට මම ඉගෙන ගත්තේ මහනුවර අම්පිටිය විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ විතර. අපේ පාසලේ වර්ෂය අවසානයේ පවත්වන විවිධ ප්‍රසංගය සඳහා අවශ්‍ය නැටුම් ගැයුම් වැයුම් සඳහා සූදානම් වෙමින් තිබුණා. ඒ උත්සවයේ එක් අංගයක් විදියට වේදිකා නාට්‍යයක් රඟ දැක්වීමටත් ගුරුවරු සංවිධානය කළා. මගේ හැකියාවන් දන්න ගුරුවරු මේ නාට්‍යයේ චරිතයකට මාවත් තෝර ගත්තා. හැබැයි මගේ දඟකාරකම්, මුරණ්ඩුකම් ගැනත් හොඳ හැටි ගුරුවරු දැනගෙන හිටියා. මේ නිසාමද කොහෙද නාට්‍ය පුහුණුවීම්වලදී චරිතය ඉක්මවා රඟපෑම නිසා මාව එයින් ඉවත් කරනු ලැබුවා. ඒත් ගුරුවරු දන්නවා මම හොඳ දක්ෂයෙක් කියලා. ඒ හින්දම මට ආයෙත් කතා නොකර රඟපාන්න චරිතයක් දුන්නා. ඒ පුංචි අන්දරේ චරිතය.

හැබැයි පුංචි අන්දරේට වචන කියන්න නෑ. ගොනා වගේ ඉඳල පුළුවන් තරම් අංග චලනයෙන් නරඹන්නන් හිනස්සවන්න කියා ගුරුතුමත් මට අවවාදයක් දුන්නා. නාට්‍ය පුරුදු කරපු ගුරුතුමන් මට කිව්වේ ගොනා වගේ ඉන්න කියලා. එයින් එතුමන් අදහස් කළේ දඟලන්නේ නැතිව තමන්ගේ පාඩුවේ චරිතය කරන්න කියන එකයි. හා කියලා මම ඒ දේ පිළිගත්තා. දැන් ඔන්න උත්සව දිනය උදා වුණා. මේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙලා හිටියේ එවක නුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජන නායකයකු වූ නීතිඥ ජොන්ක්ලාස් මහතා. උත්සවය පටන් ගෙන වැඩ සටහන් කීපයක් නිමවනවාත් සමඟ අපේ නාට්‍ය සඳහා තිරය විවර වුණා. අනික් ළමයි තමන්ට හිමි රජතුමා, බිසව, ඇමති, රාජ පුරුෂයෝ ආදි චරිත කරමින් වේදිකාවේ රංගනයේ යෙදෙනවා. පොතේ ගුරු වශයෙන් කටයුතුª කළේ පාසලේම ගුරුතුමෙක්. එතුමන් තිරයට මුවා වී ඒ කටයුත්ත යස අගේට කරමින් හිටියා.

දැන් පුංචි අන්දරේට රඟන මට වාරය පැමිණියා. මම තිරය පිටුපස සිට එක වරම වේදිකාවට පිඹගෙන පැන්නේ කුලප්පු වූ ගොනෙක් වගේ. වේදිකාව මත සිටි රඟපාන අනික් ළමයින්ට මම මුලින්ම ඔළුවෙන් අනින්න පටන් ගත්තා. ඒ අයටත් පුදුමයි. මේ වගේ දෙයක් පුහුණුවීම්වලදීවත් තිබුණෙ නැති එකේ මගේ මේ ක්‍රියා කලාපය දැක්ක නරඹන්නෝ මහ හයියෙන් සිනාසෙන්න පටන් ගත්තා. ඒ සිනාවත් එක්ක මටත් පොඩි ජොලියක් ආවා. මම ඒ ජොලියට තව තවත් වේදිකාවේ එහාට මෙහාට පනිමින් සෙස්සන්ට අනින්ට වුණා. පුහුණුවිමේදී මෙවැන්නක් නොකළ නිසා නාට්‍ය පුරුදු කළ ගුරුවරුත් අනෙක් සියලු දෙනාත් තක්කු මුක්කු වුණා. නාට්‍යයේ දෙබස් පවා නතර වුණා. හැම කෙනෙක්ම මගේ මේ වැඩේ නිසා අන්දුන් කුන්දුන් වී නොසෙල් වී සිටියා. පොතේ ගුරුට හිටිය ගුරුතුමා කර කියා ගන්න දෙයක් නැති තැන මගේ බොටුවෙන් අල්ලලා තිරය පිටුපසට ඇදල දැම්මා.

මම එතනින් මිදිලා ආයෙත් ගොනෙක් වගේ දුවගෙන ඇවිත් පැන්නේ නරඹන්නන් දෙසට. ඒ පැනලා නරඹන්නන්ට අනින්නට වුණා. දැන් ශාලාව සිනා සාගරයක් වෙලා. මම දැන් කුලප්පු වූ ගොනාම තමයි. ඒ අතරේ නරඹන්නන් අතරේ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජොන්ක්ලාස්ටත් මම ඔලුවෙන් කීප වරක් පැන පැන ඇනලා දැම්මා. මේ සිද්ධියත් සමඟ මුලු සභාවම සිනාවෙන් දෙවනත් වුණා. මේ වගේ දෙයක් කවුරුවත් නොසිතූ දෙයක්. ගොනෙක් විදියට මම ඒ වෙලාවේ හොඳින් හැසිරුණා. කාටත් කට උත්තර නැතිව ගියා. හැමෝම කලේ බඩ අල්ලගෙන මගේ ක්‍රියාවන් දැකලා හිනාවෙන එකයි. බැරිම තැන ගුරුවරු කීප දෙනෙක් මගේ ළඟට පැනලා මාව අල්ලගෙන පැත්තකට අරන් ගියා.

ඒ වෙලාවේ නැති වුණාට පසුවදා ප්‍රින්සිපල්ගෙන් මට කෝටු පාර වදින හැටි මට මැවි මැවී පෙනුණා. ඔහොම හිත හිතා ඉන්න කොට උත්සවයේ ඉදිරි වැඩ කටයුතුª නිමාවෙමින් ත්‍යාග ප්‍රධානය පැමිණියා. ඔය අතරේ මගේ නමත් වේදිකාවෙන් ඇසෙන්නට වුණා. මගේ පපුව ගැහෙන්න ගත්තා. පපුවට අත තියලා බැලුවොත් වාහනයක ඇංජිම දෙදරනව වගේ පපුව ගැහෙනවා.

දුරදිග හිතන් නැතිව මම කළ වැඩේ බරපතලකම මට වැටහෙන්නෙත් නැති තරම්. ඔය අතරේ මම කළ වැඩේට ඔලුව උස්සල යන්නත් මට ලැජ්ජයි. ඔය අතරේ මගේ නම කියල මම වේදිකාවට එන්නේ නැති තැන මාව ඉන්දවල තිබුණ කාමරයට ආවේ ගුරුවරු දෙන්නෙක්. ඒ ඇවිත් බර්ටි පුතා එන්න වේදිකාවට යන්න කියලා මට කතා කළා. මගේ ඇස් උඩ ගියා. මම වරදක් කරලත් ගුරුවරු මට පුතා කියලා කතා කළා. මොන වරද කළත් ගුරුතුමන් ඇවිත් එන්න කියන කොට මට නොගිහින් බැරිව ගියා. මාව වේදිකාවට කැඳෙව්වා. මුලු ශාලාවම අතුරු සිදුරු නැතුව ළමයින්ගෙනුත්, දෙමාපියන්ගෙනුත්, ආරාධිත අමුත්තන්ගෙනුත් පිරිල ගිහින්. වේදිකාව මත හිටගෙන හිටිය උත්සවයේ ප්‍රධාන අමුත්තා වූූ ජොන්ක්ලාස් මහතා ළඟට මාව එක්ක ගියා.

මගේ අත් දෙක අල්ලා සිනාසුණු ඒ මහත්තයා මගේ ඔලුවත් අතගාලා මගෙන් ඇහුවා ඇයි පුතේ ගොනෙක් වගේ හැසිරුණේ කියලා. මම කිව්වා නාට්‍යය පුරුදු කරන කොට ගුරුතුමා කිව්වා ගොනෙක් වගේ ඉඳල පුළුවන් තරම් අංග චලනයෙන් මිනිස්සු හිනස්සන්න කියලා. ඉතිං මම ඒ දේ මට පුළුවන් විදියට කළා කිව්වම මුලු ශාලාවේම හිටිය පිරිස කොක් හඬලා තව තවත් හිනා වුණා. පුතා තමයි අද අපිව රසවත් කළ දක්ෂම නළුවා. මෙන්න පුතේ මගෙන් පුතාට තෑග්ගක් කියලා එතුමන් මගේ බෙල්ලේ රිදී පදක්කමක් පැලැන්දුවා. පස්සේ මම දැන ගත්තේ ඒ මොහොතේ මගේ ජරමර ඉවර වුණාම ඒ පදක්කම මට දෙන්න ඕනෑ කියලා තීරණය කරලා තියෙන්නෙත් ජොන්ක්ලාස් මහත්තයා කියලා. එදා මම ගොනෙක් වෙලා ගත්ත මේ සම්මානය මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නෑ.