වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




හතළිහ පැන්නත් මං තවම කොල්ලෙක්

හතළිහ පැන්නත් මං තවම කොල්ලෙක්

- අමිත්ත වීරසිංහ

පසුගියදා නිමාව දුටු රූපවාහිනී රාජ්‍ය සම්මාන (2014) උළෙලේදී රූපවාහිනී ක්ෂේත්‍රය වෙනුවෙන් කළ පුරෝගාමී මෙහෙය වෙනුවෙන් විශේෂ උපහාර ලද සිව් දෙනෙකි.
 

අයිරාංගනී සේරසිංහ

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

ජී. ආර්. පෙරේරා

අමිත්ත වීරසිංහ

මේ අතරින් තමාට ලැබෙන්නට යන සම්මානය ගැන එක් අයකුට මහත් වූ ප්‍රහේළිකාවකි. ඒ අන් කිසිවකු නොව නම් පිළිවෙලෙහි අන්තිමයාටය. ඒ අමිත්ත වීරසිංහය.

මට මාර පුදුමයි මං වගේ කොල්ලෙක්ට ඒ වගේ සම්මානයක් ලැබෙන එකට.

* කොල්ලෙක්?

ඔව්. ඔව්. වයස අවුරුදු හතළිහ පැන්නත් මම කොල්ලෙක් තමයි. අනික අර කට්ටියත් එක්ක බලද්දී මං හරිම බාලයිනේ. ඉතින් මට හරිම වුවමනාවක් තිබුණා ඒ අය අතරට මං කොහොමද ඇතුළත් වුණේ කියලා. අනික ඒගොල්ලෝ මට වැඩිය හුඟක් ප්‍රවීණයිනේ.

* ඉතින් ඔබ මොකද කළේ?

මං සංවිධාන කමිටුවට කතා කළා. ඔවුන් මට කිව්වෙ රූපවාහිනියෙන් පළමුවරට නිෂ්පාදනය කළ ළාහිරු දහසක් ටෙලි නාට්‍යයේ ඉඳලා මේ වෙනකම් අඛණ්ඩව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටීම වෙනුවෙනුයි මාව නිර්දේශ වෙලා තියෙන්නේ.

* ළාහිරු දහසක් රඟපාද්දී ඔබ පාසල් ශිෂ්‍යයෙක් නේද?

මොකෝ නැත්තේ, මං අවුරුදු දහයක විතර කොලු ගැටයා. මමයි දර්ශනන පනංගලයි විතරයි ඒ කාලයේ ළමා නළුවන් හැටියට හිටියේ. ඒ නාට්‍ය විතරක් නොවෙයි. යශෝරාවය, ගම්පෙරළිය වගේ නාට්‍ය රඟපාද්දිත් මං පාසල් යනවා.

* පාසලෙන් කිසිම බාධාවක් ආවේ නැද්ද?

අපොයි නැහැ. අනික මං අනිත් අය වගේ කට්ට කාලා ක්ෂේත්‍රයට ආව කෙනෙක් නෙවෙයි. මට පුංචි කාලේ ඉඳලම විවිධාකාර වූ චරිත ලැබුණා. ඒ එකක්වත් ලැබුණේ කිසිම කැප කිරීමක් කරලා නෙවෙයි.

* ඉස්සර ඔබ නිතරම රූපවාහිනියේ පේන්න හිටියා. ඒත් අද ඔබව දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්?

දැන් කලා කටයුතු කරන්නේ හරිම හිමින්.

* ඒ මොකද?

පවතින රටාවවත් එකක් මම යන්නේ නැහැ.

* පවතින රටාව කිව්වේ?

මං මෙගාවල රඟපාන්නේ නැහැ.

* ඒත් ඔබත් එක්ක සිටි හැමෝම වගේ මෙගාවලට යොමුවෙලා?

ඔව්. මාත් එක්ක මෙගා නොකරනවා කියලා හිටියා නළුවකුයි නිළියකුයි. අපි තුන්දෙනා කවදාවත් මෙගා නොකරනවා කියන මතයෙයි හිටියේ. නමුත් ඔවුන් අද මෙගාවලට යොමුවෙලා. ඒත් අමිත්ත වීරසිංහ නම් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ.

* ඇයි ඔබ මෙගා නාට්‍යවල රඟපාන්නේ නැත්තේ?

සමාජය යහ මඟට ගන්න එකනේ කලාවෙන් කරන්න ඕනෑ. එහෙම දෙයක් පේන්නට නැහැ. අපි ලයිසන් අරගෙනයි ටෙලිවිෂනය බැලුවේ. අද ටෙලිවිෂනය බලන අයට සල්ලි දෙනවා. සල්ලි දීලා යමක් පෙන්වන්නේ ඒක එහෙම නැත්නම් මිනිස්සු බලන්නේ නැති නිසානේ. බලන්නේ නැත්තේ ඒවා හරයක් නැති වැඩසටහන් හෝ නාට්‍ය නිසානේ. එවන් ඒවාට මොකටද යන්නේ.

* ඒ කියන්නේ අද ටෙලිවිෂනය බලන්න සුදුසු නැහැ?

ඔව්. මම කියන්නෙත් ටෙලිවිෂනය බලන්න එපා කියලා.

* ඔබ මෙරට ටෙලි නාට්‍ය කලාව ආරම්භ වන තැන සිට අද දක්වා සිටිනවා. එහෙව් එකේ මොන පදනම යටතේ ද කියන්නේ ටෙලිවිෂනය බලන්න එපා කියලා?

ඕකට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. ටෙලි නාට්‍ය මෙරටට හඳුන්වා දුන්නේ අධ්‍යාපන මෙවලමක් හැටියට. අදට ඒ කතාව විහිළුවක්. ටෙලි නාට්‍ය ඇරැඹෙද්දී අපි ඒත් සමඟම සංස්කෘතියක් ගොඩ නඟා ගත්තා. නමුත් ටෙලි නාට්‍ය සඳහා නීති රීති පද්දතියක් පිහිටුවා ගත්තේ නැහැ. එහෙම කළා නම් අද මෙහෙම වන්නේ නැහැ.

* එහෙම බලද්දී ඔබත් ඒ වැරැද්දේ කොටස් කාරයෙක්නේ?

ඔව්. අපියි ඒ වැරැද්ද කළේ. ඒත් දැන් ඒවට පිළියමක් යොදන්න බැහැ. ටෙලි නාට්‍ය සංස්කෘතිය ඇතුළේ පරික්‍රම නිරිඇල්ළ සෝමවීර සේනානායක, හෙන්රි ජයසේන වැනි පරමාදර්ශ චරිත කිහිපයක් තිබුණා. කවුද හිතුවේ කාලයත් සමඟ එවැනි චරිත බිහි නොවෙවි කියලා.

* ඔබට තවමත් රංගනයට ඉල්ලුමක් තියෙනවාද?

මොකද නැත්තේ. මට ලැබෙන ඇරැයුම් සංඛ්‍යාව ගැන සලකලා බලද්දී හොඳ ඉල්ලුමක් මේ වන විටත් තියෙනවා.

* අන්තිමයට රඟපෑ ටෙලි නාට්‍ය?

සුසිරන් ද සිල්වාගේ නිර්සත්තවයෝ. ඊට කලින් කලුවර ගෙදර, නටු නැති මල් වැනි නාට්‍යවල රඟපෑවා. අවුරුද්දකට එකක් තරමට තමයි නාට්‍ය කළේ.

* ඔබට රඟපාන්න ආරාධනා ලැබුණාම අනිවාර්යයෙන්ම පිටපත ඉල්ලනවා කියලා මං අහලා තියෙනවා?

ඒක ඇත්ත. මං පිටපත නැතිනම් රඟපාන්න එන්නේ නැහැ. ඒ බව දන්න බොහෝ දෙනා මට ඇරැයුම් කරන්නේ ද පිටපතත් බාර දීලා.

* නළු නිළියන් දේශපාලනයට පිවිසීම ගැන ඔබේ අදහස?

මං බොහොම සතුටුයි. නළු නිළියන් දේශපාලනයට ආ යුතුයි.

* හේතුව?

හොද නළුවෙක් හෝ නිළියක් කියන්නේ තමන්ව අමතක කරලා දාලා වෙනත් චරිතයකට ආරූඪ වන කෙනෙක්. ඒ කියන්නේ තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන් කියන එක. තමන්ට තමන්ව පාලනය කර ගන්න පුළුවන් නම් රටක් පාලනය කරන එක හරිම ලේසියි. ඒ වගේම වයසට ගියාට පස්සේ කවුරුවත් සලකන්නේ නැහැ. ඉතින් දේශපාලනයට ගියා නම් විශ්‍රාම වැටුපක් හරි හිමි වෙනවානේ.

* ඔබ ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලයටගියා. රඟපෑවා, ව්‍යාපාර පටන් ගත්තා. විවාහ වුණා. අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. කෙහොමද එකම කටයුත්තක්වත් අත නොහැර සියල්ල සාර්ථකව කර ගත්තේ?

කාලය කළමනාකරණය කර ගැනීම තමයි මගේ ජයග්‍රහණයට හේතුව. මං පළමුව විනය ප්‍රගුªණ කළා. ඊට පසුව ජීවිතය කළමනාකරණය කරන්න පටන් ගත්තා. හැම වැඩක්ම එක දිගට කළේ නැහැ. විවේක බුද්ධිය අනුවයි ක්‍රියා කළේ.

* ඔබ කොතරම් ප්‍රවීණ අයකුª වුවත් කතා කළ සැනින් සරසවියට ආවා. නමුත් අද නව පරපුරේ අය පවා හිතාගෙන ඉන්නේ පුවත්පත් විසින් ඔවුන්ව සොයා යා යුතුයි කියලා?

මට ඔබව වටිනවා. ඔබ කරන්නේ මං කියන දේ මගේ පණිවුඩය සමාජය අතරට යවන එක. අපි මෙතනට ආවේ තනිව නෙවෙයි. තව බොහෝ දෙනෙක් එකතු වෙලයි ඔබ කියන චරිතය ගොඩ නැගුවේ. මට ඔබ කරන කාර්යයයි වැදගත්. ඒ කාර්යය කරන ස්ථානය මං සලකලා බලන්නේ නැහැ. ඒකයි මං තකහනියේ ලේක්හවුස් එකට ආවේ. හොඳට මතක කියා ගන්න බොල් වී කරල් තමයි කෙලින් තියෙන්නේ. සාරවත් වී කරල් පොළවට නැවෙනවා.

* ඉස්සර තරම් සාහිත්‍ය ගුණයෙන් යුතු නිර්මාණ බිහි වෙන්නෙ නැත්තේ ඇයි?

මං හිතන විදිහට සාහිත්‍යකරුවයි සමාජයේ ඉදිරියෙන්ම ඉන්න ඕනෑ. ඒත් එහෙම වෙලා නැහැ. මං හොඳ උදාහරණයක් කියන්නම්කෝ. අසූව දශකයේ මුල එක්තරා තැනක සාජන්ට් නල්ලතබ්මි නාට්‍යය පෙන්වූවා. ඒක බලපු එදා ජනාධිපතිවරයා නාට්‍ය හිමිකරුවන්ට රන් පවුම් පහක් දුන්නා. ඒත් ඒ වසරේ සාහිත්‍ය ත්‍යාගයට දුන්නේ රුපියල් දහදාහයි. අන්න ඒ වරද්ද ගත්ත දේ තමයි අදටත් මේ විඳවන්න සිද වෙලා තියෙන්නේ. මේ හේතුව නිසා අවර ගනයේ නිරමාණයන් බිහිවීම අහන්නත් දෙයක් ද?

* අමිත්ත වීරසිංහගේ කට සැරයි කියලා ඇතැම් අය කියනවා.

මගේ කට සැරයි තමයි. මං යකෙකුටවත් බය නැහැ. විවේචනය කරන්න හිතුණොත් මූණටම මං කියනවා. මට ඒ පුද්ගලයා කවුද කියලා වැදගත් නැහැ. වැරැද්ද පෙන්වාදීම විතරයි මං සිදු කරන්නේ.