වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ශෙනායා දූ නිසා ජීවිතය අර්ථවත් වුණා

ශෙනායා දූ නිසා ජීවිතය අර්ථවත් වුණා

නිරෝෂන් – නිලන්ති සෙනෙහබර කැඳැල්ලට ගොඩවෙමු

ඈ සිනාසෙමින් අප අසල උන්නාය. සුපුරුදු සිනහව ඇගේ මුවෙන් ගිලිහී නොගියද ඇයට තුරුළු වී සිටියේ ළදැරියකි.

“මෙයා ළඟටම වෙලා දැන් ඉන්න ඕනෑ.”

ඈ පැවසුවේ ළදැරියගේ උවනට හාදුවක් දෙමිනි. කලකට පෙර තනිකඩව සිටි මේ යුවතිය අන් කවුරුත් නොවේ. ‘නිලන්ති ඩයස්’ ය. රංගන ශිල්පිනියක් ලෙස ඔබගේ හදවතට සමීප වූ ඇය ඒ තනිකඩ ජීවිතයට සමුදෙමින් විවාහ වී ගෙවී ගිය කාලයේ එතරම් නිර්මාණවල සැරිසරනු අපි නොදිටීමු. එහෙත් ඒ නිහැඬියාවත් සමඟ ඈ මවක් වී සිටියි. ඇයට අලුත් අත්දැකීම් රැසක් උරුම කර දුන් නැවුම් ජීවිතය කෙසේදැයි අපි මුලින්ම නිලන්තිගෙන් විමසීමු.

“ඇත්තම කිව්වොත් අලුත් අත්දැකීමක්. ශෙනායා දූ නිසා මගේ ජීවිතයට අත්දැකීම් රැසක්ම එකතු වුණා. ඈ නිසා මම අම්මා කෙනෙක් වුණා. අම්මා කෙනෙක් කියන භූමිකාව වගකීම් රැසකින් බැඳිලා. ඒ වගකීම් අවබෝධ කරගනිමින් දුවත් සමඟ කාලය ගත කරනවා.”

ශෙනායා දුව අම්මාගේ අතේ එල්ලී සිටියද නිතරම උත්සාහ කරන්නේ බිමට බසින්නටය. ඒ නිසාම නිලන්ති ඇය සාලයේ බිම හිඳුවා බෝලයක් අතට දුන්නෙන් ශෙනායා දෝණිගේ උවනේ නැඟුණේ සිනහවකි. ඈ තාත්තා...... තාත්තා ...... යැයි කෑගෑවේ ඒ සතුටට ය.

“දුවගේ හුරතල්ම වයස තමයි මේ ගෙවෙන්නේ. දැන් ඇගේ වයස අවුරුද්දක්. නිතරම එයා ළඟටම වෙලා ඉන්න ඕන. නිතරම වගේ මේ පඩිපෙළ නඟින්නමයි දුව හදන්නේ. මම කොහෙද ඉන්නේ කියලා බලලා මගේ පස්සෙන්ම වැටි වැටී ඇවිදිනවා.”

නිලන්ති කියන විටමත් ශෙනායා දූ පඩිපෙළ ළඟය. ඈ කිසිවක් නොකියාම උත්සාහ කරන්නේ පඩිපෙළ නඟින්නටය. ඇගේ පළමු පාදය පඩිපෙළ මත තිබ්බා පමණි. නිලන්ති දුවගෙන ගොස් ඈ වඩා ගත්තේ, තවත් වරක් පඩිපෙළ නගින්නට උත්සාහ ගත්තේ නම් ශෙනායා දූ බිමට වැටෙන බව දත් හෙයිනි.

“පේනවනේ. ඔන්න ඔය වගේ තමයි එයා. චුට්ටක් හරි එකතැනකට වෙලා ඉන්නේ රූපවාහිනියේ යන හින්දි ගීත වැඩසටහන නිසයි. ඒ වැඩසටහන යන කොට නම් දූ ඒ දෙසම බලාගෙන සිටින්නේ බොහොම කැමැත්තෙන්. ඒ වෙලාවටයි මම ගොඩක් ගෙදර වැඩ කර ගන්නේ.”

ශෙනායා දුවත් නිලන්ති වගේ රංගන ශිල්පිනියක් වේ දැයි අපගේ සිතට නැඟුණේ පැනයකි. ඒ ගැන විමසූ කල ඈ පළ කළේ මෙවැනි අදහසකි.

“අනේ මන්දා, දූ අනාගතයේදී කොහොම කෙනෙක් වේවිද කියලා. ඒත් ඈ රංගනය තෝරා ගත්තොත් කිසිම බාධාවක් අපෙන් නැහැ. ඒත් ඉතිං ඒ ගැන තීරණය වෙන්නේ තවත් බොහෝ කල් තිබෙනවා. ඒ කොහොම වුණත් එයා කැමැති විදියට කැමැති පැත්තක් තෝරා ගැනීමට අවසරය අපෙන් ලැබෙනවා.”

එකතැනක නොඉඳ සැමතැනම දුවපැන ඇවිදින ශෙනායා දූ පසුපස ගමන් කරමින් නිලන්ති පවසන්නීය. නිලන්තිගේ මේ සියලු කටයුතුවලට සැමියා වන නිරෝෂන්ගෙන් ලැබෙන සහයෝගයද ඈට අපූරු අස්වැසිල්ලකි.

“අයියා නිසා මගේ වැඩකටයුතු ගොඩක්ම පහසුවෙන්ම කර ගන්න පුළුවන්. ඔහු උදේම නැඟිටලා දුවව බලා ගන්නවා. ඒ අතරතුර මම හැම වැඩක්ම කර ගන්න අමතක කරන්නේ නැහැ. ඒවගේම එයා රැකියාවට ගියාට පස්සේ දුව නිදාගන්න වෙලාවට තමයි මම නිවෙසේ ඉතිරි කටයුතු කරන්නේ. හවසට නම් ඉක්මනටම අයියා ගෙදර එන නිසා උයන කටයුතු කරනතුරු ඔහු බබාව බලා ගන්නවා. තාත්තාට දුව බොහොම ආදරෙයි. ඒ වගේම දුවටත් තාත්තා බොහොම ආදරෙයි. ”

කොපමණ කාර්යබහුල වුවද නිලන්තිට සිය නිවසේ කටයුතු සිදු කළ යුත්තේ ඇයමය. ඒ නිසා දුව සමඟ කොපමණ කාර්යබහුල වුවද ඇය ඒ කටයුතු සඳහාද කෙසේ හෝ කාලය සොයා ගන්නේ කදිම ගෘහනියකගේ භූමිකාව නිරූපණය කරමිනි.

“නිවසේ සියලුම කටයුතු කෙරෙන්න ඕන මගේ අත් දෙකෙන්ම කියලයි මට හැමදාම සිතුණේ. ඒ කටයුතු වෙන කෙනෙක් කළත් හරියට වුණාද කියන එක ගැන තියෙන සැකය නිසාම මමම ඒ කටයුතු කරනවා. උයන පිහන කටයුතු පටන් සියල්ලම සිදුවන්නේ මගේ අතින්ම තමයි. මහත්තයාගෙන් වුණත් කෑම බීමවලට විශේෂ කරදරයක් නැහැ. එයා කොහොමත් එළවළු සමඟ විතරයි කෑම කන්නේ. හදලා දෙන ඕනෑම දෙයක් එයා කනවා. විශේෂයෙන්ම මැකරෝනි කන්න එයා බොහොම මනාපයි. සමහර වෙලාවට මම එයාට මැකරෝනි හදලා දෙන්නේ බොහොම කැමැත්තෙන්. ඒ වගේම කියන්න ඕනෑ නිවසේ කටයුතු කිරීමේදී අපි දෙන්නා වැඩ බෙදාගෙනයි කරන්නේ.”

අපගේ කතාබහ කෙරෙන අතරතුර පැමිණියේ නිලන්තිගේ ආදරබර සැමියා නිරෝෂන්ය. ඔහුට පවුලේ සියලුදෙනා අමතන්නේ මංජු යන ආදර නාමයෙනි. සුහද සිනහවක් පාමින් පැමිණි ඔහු අප හා කතාබහට මුල පිරුවේ මෙලෙසිනි.

“ඇත්තටම ජීවිතය එන්ජෝයි කරනවා කියලා දැනෙන්නේ දැන් තමයි. තනිකඩව ගෙවුණු ජීවිතයට අර්ථයක් ලැබුණේ නිලන්ති ලැබුණාට පස්සේ. දුවත් අපේ කැදැල්ලට ඇවිත් ඒ අර්ථවත් බව තවත් වැඩි කළා. ඔවුන් සමඟ ගෙවන ජීවිතය සැබැවින්ම තෘප්තිමත්.”

සිය ජීවිතය සොඳුරු තෝතැන්නක් කළ බිරිය දෙස ඔහු බැලුවේ ආදරබර බව නෙත් අතර සිරකර ගෙනය.

“නිවසේ සියලුම කටයුතු කරන්නේ නිලන්තිම තමයි. ඈ දක්ෂ ගෘහනියක්. ඒ වගේම සමහර වැඩ කටයුතු අපි දෙන්නත් එක්ක සහයෝගයෙනුත් කරනවා. විශේෂයෙන්ම වත්තේ කටයුතු කෙරෙන්නේ මගේ අතෙන්. මිදුල අමදින කටයුතු වගේම ශුද්ධ පවිත්‍ර කරන කටයුතුත් මා කරන්නේ කැමැත්තෙන්ම තමයි . ඒ අතර දුවත් සමඟ කාලය ගත කරන්නත් මා කාලය වෙන්කර ගන්නවා. ඇගේ සුරතල් දකින කොට නම් මට රැකියාවට යන්න හිතෙන්නේ නැති තරම්.”

මේ විදියට කාලය ගතවෙන නිලන්ති – නිරෝෂන්ගේ කැදැල්ලේ සතුටත් සමඟ නිලන්ති රඟපෑමෙන් සමු ගනීවිද?. මගේ සිතේ නැඟුණු ගැටලුවට ඇය පිළිතුරු බැන්දාය.

“දුව ටිකක් ලොකු වෙනතුරු කිසිම රඟපෑමේ කටයුත්තක් භාර ගන්නේ නැහැ. මොකද එයත් සමඟ සිටිය යුතුයි. ඒ නිසා ඒ අතර එක දවසකින් වගේ සහභාගි විය හැකි නර්තන කටයුතුවලට නම් මම පසුගිය දවස්වල සහභාගි වුණා.”

නිලන්තිගේ උණුසුම සොයා පැමිණෙන ශෙනායා දූගේ සුරතල් හඬ මුළු නිවසේම ලැඟුම් ගෙන ඇති බව පෙනෙයි. ඔවුන් අසලට ළංවන නිරෝෂන්ගේ ආදරණීය ඇමතුමට දියණිය සිනාසෙයි. ඒ සොඳුරු කැදැල්ලක අරුමය මේ යැයි කියන්නාක් මෙනි.