වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අමිතාබ් නෑ රවීන්ද්‍ර

අමිතාබ් නෑ රවීන්ද්‍ර

ලොව පුරා සිටින හින්දි ගීත රසික රසිකාවන්ගේ හදවත් දිනූ හින්දි ගායන ශිල්පිනී අල්කා යාග්නික් පසුගියදා ලාංකේය රසික ජනතාව අතරට ද පැමිණියා. ඇයගේ හඬින් ගීතවත් වූ විශේෂ ප්‍රසංගය සඳහා පැමිණි සුවිශාල රසික රසිකාවන් අතරේ ඔබට අපට සුපුරුදු තරුවකුත් සිටියා.

හෙළ සිනමාවේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය තමයි ඒ සුවිශේෂ අමුත්තා. හින්දි ගීතයට බොහොම ලැදි වූ රවීන්ද්‍රත් ඉදිරි අසුනක සිට මේ ගීත මුමුනමින් රස වින්ඳා. එය අල්කා යාග්නික්ගේ සහාය ගායකයාගේ ඇස ගැටුණා. එය දුටු ඔහු නිකම්ම හිටියේ නැහැ. ඔහු එකවරම බොහොම කාරුණිකව රවීන්ද්‍ර රන්දෙණියව වේදිකාවට ආරාධනා කළා. රවීන්ද්‍ර ඒ ආරාධනාව සුහදව ප්‍රතික්ෂේප කරන විටදී ඉන්දියානු ගායකයා උත්සාහය අත හැරියේ නැහැ.

ඔහු මයික්‍රෆෝනය ගෙන මුළු සභා ගැබටම ඇසෙන්නට පැවසූ වදනින් රවීන්ද්‍ර රන්දෙණිය නිහාමානීව වේදිකාවට ගොඩ වුණා. ‘අපේ රටේ ඉන්නවා අමිතාබ් බච්චන්. ඔබ ශ්‍රී ලංකාවේ අමිතාබ් බච්චන් බව අපි දන්නවා. ඔබ වේදිකාවට පැමිණීම අපට කරන මහත් ගෞරවයක්.’