වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




තන්හා රතී රඟා ගැන තවත් මතවාදයක්

තන්හා රතී රඟා ගැන තවත් මතවාදයක්

නිලේන්ද්‍රගේ සිනමා පරිකල්පනය සහ සමාජ - දේශපාලන දැක්ම

‘සිනමා දැනුම බුසලක් නම්, ඉවසිලිවන්තකම දෝතක් නම් ලංකාවේ හැටියට ඒ දෝත බර වැඩියි බුසලට වඩා’.

එකී ප්‍රකාශය කලෙකට ඉහතදී මා සමඟ කළේ අපේ රටේ සිටි ප්‍රවීණ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු වූ අයි. එන්. හේවාවසම්ය. වසර ගණනාවක් තිස්සේ චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂණයේ යෙදෙමින් ඔහු තමා ලබා ගත් දීර්ඝකාලීන අත්දැකීමෙන් හා පරිචයෙන් ඉනික්බිතිව තම ප්‍රථම සිනමා නිර්මාණය ‘මී හරකා’ නමින් ඉදිරිපත් කළේය. එය ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද නොමඳ ප්‍රශංසාව දිනාගත් අතර සම්මානනීය කෘතියක් බවට ද පත් වූයේය.

‘අධ්‍යක්ෂවරයෙක් පළමු කෘතියෙන්ම වැඩ පෙන්වන්න ඕනෑ. නැතිනම් අනාථයි’

එසේ කීවේ ද හේවාවසම්ය. ‘මී හරකා’ ඔහු එලෙස ‘වැඩ’ පෙන් වූ චිත්‍රපටයයි.

මට මෙකරුණු දෙක සිහියට නැඟුණේ මා මිත්‍ර නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටය නැරඹිමේදීය. නිලේන්ද්‍ර ද අවුරුදු ගණනාවක් විවිධ මට්ටමේ විවිධ ප්‍රතිභාවන්ගෙන් යුතු සිනමාකරුවන් රැසක් යටතේ සහාය අධ්‍යක්ෂණයේ යෙදී සිනමාකරණය ගැන පෘථුල දැනුමක් ලබා සිටින අයෙකි. ඒත් ඒ දැනුමේ බුසලට වඩා ඉවසිලිවන්තකමේ දෝත ඔහුට වැදගත් වූවා සේය. ප්‍රමාද වී හෝ ඔහු ස්වකීය පළමු සිනමා කෘතියෙන්ම ‘වැඩ’ පෙන්වා ඇත.

නිලේන්ද්‍ර මගේ සමකාලීනයෙකි. එක්තරා කාලයක (ඒ අපේ යොවුන් වියයි) මා සමඟ එකට කොළඹ කොටුවේ ජාතික කතෝලික සිනමා පර්ෂද මූලස්ථානයේ ප්‍රංශ චිත්‍රපට නැරඹූ අප අතරින් කීප දෙනෙක්ම පසු කලෙක කැපී පෙනෙන සිනමාකරුවෝ බවට පත් වූහ. ප්‍රසන්න විතානගේ, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, උදයකාන්ත වර්ණසූරිය, සිසිර සුරවීර (වාර්තා චිත්‍රපටකරණයේ කෘතහස්තයෙක් වූයේය) මෙන්ම නිලේන්ද්‍ර ද ඔවුන් අතර සිටින්නෙකි. පෞද්ගලිකව ගත් විට මම සිනමාකරණයට නොගොස් සිනමා පුවත්පත් කලාව හා විචාරය වෙත යොමු වීමි.

හුදු රසාස්වාදය පිණිස පමණක් මෙහිලා කිවයුතු එක්තරා කතාවක් ද ඇත. දිනක් සිනමා පුවත්පත්කලාවේදියකු හා විචාරකයකු වූ චින්තන ජයසේන, චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරට ‘මචං’ කියනු මට ඇසිණි. මාත් කවදා හෝ තැනකට එන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට ‘මචං’ කියූ දවසකට යැයි උපකල්පනය කළ මම පසු කලෙක මගේ සමකාලීනයන් වූ ප්‍රසන්නට හා නිලේන්ද්‍රට ‘මචං’ කීමි. මා මගේ ඉලක්කය සපුරා ගනිමින් තැනකට ආවේ එලෙසය.

මා මිත්‍ර නිලේන්ද්‍රගේ ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටය බලා මා සිනමාහලෙන් එළියට පැමිණියේ ‘අහස් ගව්ව’, ‘දුහුළු මලක්’, ‘හංස විලක්’, ‘සිසිල ගිනි ගනී’, ‘සිහින දේශයෙන්’ යන චිත්‍රපට බලා එළියට ආවාක් පරිදිය. එකී සිනමාකරුවන් මෙන්ම නිලේන්ද්‍ර පළමු කෘතියෙන්ම ‘වැඩ’පෙන්වා ඇත. එසේ නම් ඔහු පෙන්වා ඇති ‘වැඩේ’ කුමක්ද?

චිත්‍රපටයේ පසුබිම පශ්චාත් යුද සමයයි. නගරයේ නන්නත්තාර ජීවිතයකට හුරුව සිටින තරුණයන් (ඉන් එක් අයෙක් විවාහකයෙකි) තිිදෙනෙකුගේ ත්‍රීවිල් සංචාරයක් වටා චිත්‍රපටයේ කතාව ගෙතෙයි. සුරාජ් විශ්ව විද්‍යාල සිසුවකු වුව ද ඔහුට ද උරුමව ඇත්තේ නන්නත්තාර ජීවිතයකි. එක අතකට මෙය අර්‍ණඒච් ර්ර්‍ණඍධ්ඡ් එකකි.

චිත්‍රපටය ඇරඹෙන්නේ යුද්ධය නිමා වූ දිනයෙනි. එනම් ප්‍රභාකරන් ඝාතනය වූ දිනයෙහිය. අසූ තුනේ දෙමළ ගෙවල් කඩා ඊ ඍ උස්සාගෙන ගිය, ප්‍රේමදාසගේ මරණය අසා පාර මැද කිරිබත් උයා කෑ නාගරික පාදඩ පන්තියම මෙවර ද සිංහ කොඩි ලෙළවමින් කිරිබත් උයා කමින් ප්‍රීති ඝෝෂා පත්වමින් ජයග්‍රහණය සමරති. ඉන් කිසිවකුත් උතුරු, නැගෙනහිර දී එක් මදුරුවකුවත් කෑ අය නොවේ.

ඔවුන් කොළඹ සිට ‘හදවතින් අප යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ’ යැයි බැනර් එල්ලූ බොරුකාරයන් පිරිසකි. වාර්ගික ගැටලුව පිළිබඳ දේශපාලන සවිඥානකත්වයක් ඔවුන්ට නැත. ඔවුහු සැබැවින්ම ජාතිවාදීහුය. ගෝත්‍රවාදීහුය.

යාපනයට යන තරුණයන් තිදෙනා එහිදී දකින්නේ අහිංසක දෙමළ ජන කොටස්ය. එල්. ටී. ටී. ඊ. යත් අහිංසක දෙමළ ජනයාත් යනු එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පිරිසක්ය යන යථාර්ථය අධ්‍යක්ෂවරයා අපට කියන්නාක් සේය. ඔවුන් මොන තරම් අහිංසක ද කියා කිවහොත් පොලිස් රාලහාමිට (සාජන්?) ඔවුන්ගේ වී ටික, එළවළු ටික, තල් රා ටික සූරාකෑ හැකිය.

තරුණයන් අතට පිස්තෝලය ලැබෙන තෙක් කතාව සරලව ගලා යයි. එය සියුම් උත්ප්‍රාසයෙන් ද, කුතුහලයෙන් ද අනූනය. පිස්තෝලය රැගෙන කොළඹ ආ විට ඔවුන්ගේ ජීවිත කෙරෙහි එය බරපතළ ආකාරයෙන් බලපායි. ඔවුන්ගේ ජීවිත නම් කමක් නැත. අහක හිටපු විමලේගේ පෙම්වතිය (ජසින්තා) කෙරෙහි ද එය බැරෑරුම්ව බලපායි. අවසානය ඛේදවාචකයකි. සිරිතුංගගේ දරුවා ඊට ගොදුරු වෙයි.

චිත්‍රපටයේ අවසන් ජවනිකාවද ප්‍රබල අරුතක් කුළුගන්වයි. පිහියත්, දුෂණය කර මරා දමන ලද යැයි සැලකිය හැකි තරුණියකගෙ මළ සිරුරක් (ඒ ජසින්තාද?) හා රූපකාර්ථ ඔස්සේ අධ්‍යක්ෂ නිලේන්ද්‍ර කියන්නේ ත්‍රස්තවාදය (ප්‍රචණ්ඩත්වය) ඇත්තේ අනෙකා අතර නොව අප අතරේම බවයි. විමලේ ගේ බාප්පාද සුරාජ්ගේ මස්සිනා ද මේ ප්‍රචණ්ඩත්වයේම තවත් පැත්තක නියෝජනයකි.

චිත්‍රපටයේදී පොලීසිය හා නීතිය ක්‍රියාත්මක වන ආකාරය විසුළුජනකය. ප්‍රේක්ෂකයා යථාර්ථය දන්නා බැවින් එය තනිකර ප්‍රබල උත්ප්‍රාසයක් ජනිත කරවයි.

අහිංසකයන් තිදෙනෙකුට හිරේ විලංගුවේ වැටෙන්න සිදු වන්නේ නිකරුණේය. මෙහිදී මට එක්තරා සත්‍ය සිද්ධියක් මතකයට එයි. ඒ කොළඹ තැඹිලි කරත්තයක බෝම්බයක් පිපිරීමයි. ඉන් පසු පොලිස් රාලහාමිලා කළේ දකින දකින තැඹිිලි කරත්ත පරීක්ෂාවට ලක් කිරීමයි.

චිත්‍රපටයේ මා සිත් නොගත් කාරණා කීපයක් ද විය. සුරාජ්ගේ මවගේ චරිතය ඊට ඈඳා ඇත්තේ පිට පට්ටයක් ලෙස යැයි සිතේ. නාගයා නිලේන්ද්‍ර වැනි පරිණත අධ්‍යක්ෂවරයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ දුර්වල සංකේතයකි. ‘තණ්හා රතී රඟා’ සමඟ පූර්ව දර්ශනයක් පෙන්නූ ‘මහ රජ අජාසත්’ චිත්‍රපටයට නම් එය ගැළපෙයි.

මෙම චිත්‍රපටය ගැන සටහනක් ලියූ ලෝක ප්‍රකට තිර පිටපත් පරීක්ෂක බාර්ටි ගැවිගන් මෙය ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ ‘අයි විටෝලිනි’ හා ‘ලා ස්ට්‍රාඩා’ යන චිත්‍රපට සිහිපත් කරන බව ප්‍රකාශ කර ඇත. මෙම සිනමාපට දෙකම මම නරඹා ඇත්තෙමි. එහෙත් මට නම් එහි සමරූපතාවයක් දැක්ක නොහැකිය. ඊට වඩා අප මතකයට නංවන්නේ ‘බ්‍රෙත්ලස්්’, ‘බොනි ඇන්ඩ් ක්ලයිඩ්’, ‘වේජස් ඔෆ් ෆියර්’ වැනි චිත්‍රපටය.

චිත්‍රපටයේ සාර්ථකත්වයට ප්‍රමුඛම හේතුව වී ඇත්තේ තිර නාටකයයි. එවැනි තිර කතාවක් මත පදනම් වූ විට චිත්‍රපටයේ වැඩ සියයට පනහක් අවසන්ය. එහෙත් චිත්‍රපටයක් පරිපූර්ණ වන්නේ අධ්‍යක්ෂවරයාගේ පරිකල්පනය ද සමඟය. සරල උදාහරණයක් ගතහොත් සමනලුන් පෙනී සිටින චමත්කාරජනක රූපාවලිය තිර පිටපතේ තිබුවක් යැයි විශ්වාස කරන්නට හේතුවක් නොපවතියි.

තිර නාටකය හැරුණු කොට ඊළඟට මා ගෞරවය පුදන්නේ කැමරා ශිල්පියාටය. ඔහුගේ නමවත් මා මීට ඉහත අසා නැත. එහෙත් ඔහුගේ ප්‍රතිභාවට ආධුනික බව හරස් වි නොමැත. අඳුරු පරසරයක් තුළ ඒ අඳුර එලෙසම පවත්වා ගනිමින් ඉන් ගැඹුරු අරුත් පාදන්නට ඔහු උත්සාහ ගෙන ඇත.

චිත්‍රපටයේ ජීවය ප්‍රධාන චරිත තුන රඟපාන නළුවන් තිදෙනාගේය. ඉන් දෙදෙනෙක් ටෙලි නාට්‍යවල රඟපා කුරෝලු වූ අයය. එහෙත් චරිතවල ස්වභාවය ගැඹුරට මතු කර ගනිමින්, එහි ඇති අභ්‍යන්තර ඛේදය යටි පෙළක් සේ පවත්වා ගනිමින් ඔවුන් කරන රංගනය ප්‍රශස්තතරය. මෙහිදී තවත් නළුවන් දෙදෙනකු හා නිළියක ගැන යමක් කිව යුතුය. නළුවන් දෙදෙනා සුරාජ්ගේ චණ්ඩි මස්සිනා (කමල් අද්දරආරච්චි) හා විමලේගේ බාප්පා (විශ්වජිත් ගුණසේකර) ය. නිළිය මුහුණේ සියුම් ඉංගිති ඔස්සේ ඉතාම කෙටි රූප රාමු දෙකක වුව විශිෂ්ට රංගනයක් පාන ස්වර්ණා මල්ලවආරච්චිය. අපේ සමස්ත නිළි පරපුරම ඒ රංගනය හැදැරිය යුතු තරම් යයි මම කියමි.

කේමදාස දියණියන් දෙදෙනාගේ (ගයාත්‍රි කේමදාස - අනූපා කේමදාස) සංගීතය ද මා සිත් ගත්තේය. එය අරුත් වඩාත් තීව්‍ර කරවන සුලුය. ගීතය ද චිත්‍රපටයේ රිද්මය හා මනාව බැඳේ.

සිංහල සම්භාව්‍ය සිනමාව නව දිසානතියකට යොමු වෙමින් පවතී. නිලේන්ද්‍රට පිටු පස්සෙන් අවම වශයෙන් තවත් දක්ෂ තරුණ සිනමාකරුවෝ දහ දොළොස් දෙනෙක් පමණ සිටිති. ඔවුන් නම් සංජීව පුෂ්පකුමාර (ඉගිල්ලෙන මාළුවෝ), මාලක දේවප්‍රිය (බහුචිතවාදියා), මලිත් හෑගොඩ (දැකල පුරුදු කෙනෙක්), උදය ධර්මවර්ධන (මයිල්ස් ඔෆ් ඩ්‍රීම්), උදාර අභයසුන්දර (සෙවණැලි), වින්දන ආරියවංශ, කල්පන ආරියවංශ (ප්‍රේමය නම්), ඩෙනිස් පෙරේරා ( ත්‍රීවීල් ඩයරීස්), ඉන්දික ෆර්ඩිනැන්ඩු (හෝගාන පොකුණ), විසාකේස චන්ද්‍රසේකරම් (සය පෙති මල), තිසර ඉඹුලාන (නිනෝ ලයිව්), සමීර රංගන (මෝටර් සයිකල්) ය.

නිලේන්ද්‍ර මෙන්ම මේ තරුණ පරපුර ද රැක ගැනීම සිනමා බලධාරීන්ගේ වගකීම වන්නේය. බලධාරීන් යැයි මා කිවේ විශේෂයෙන් චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනය. එසේ නොවුණහොත්, ‘තණ්හා රතී රඟා’ මීට ඉහත ඇතැම් චිත්‍රපට මෙන්ම සිංහල සිනමාව තුළ තවත් එක් අහඹු සිදුවීමක් බවට පත් වනු ඇත.