වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අපෙන් සමුගත් කසුරි මහත්තයා

අපෙන් සමුගත් කසුරි මහත්තයා

කරුණාදාස සූරියආරච්චි හෙවත් අප කවදත් ආදරයෙන් ඇමතූ කසුරි මහත්තයා සදහටම සමුගෙන ගොස්ය. ඔහුගේ වියෝව පුවත්පත් කලාවට විශේෂයෙන් තීරු ලිපි සාහිත්‍යයට පමණක් නොව නවකතාකරණයට ද දැඩිව බලපාන්නේ යැයි මම සිතමි.

ගුරු වෘත්තියෙහි නිරතව සිට පසුව පුවත්පත් කලාවට පිවිසි කසුරි එක්තරා කාලයක වේදිකා නාට්‍ය රචනය හා නිෂ්පාදනය තම ආත්ම ප්‍රකාශනය බවට පත් කර ගෙන සිටියේය. ඔහු නවකතා ලීවේ පුවත්පත් කලාවට අවතීර්ණවීමෙන් පසුව යැයි සිතමි.

කසුරි නාමය ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහයෙනි. ඔහු ලියූ විශේෂාංග ලිපිත් තීරු ලිපිත් පාඨක සිත් පැහැර ගත්තේය. කුමාරතුංග මුනිදාස යුගයේ සිටම තීරු ලිපිය පුවත්පත් කලාංගයක්ව තිබුණත් එය නිර්මාණාත්මක සාහිත්‍යාංගයක් ලෙස ස්ථාපිත වූයේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහයෙන් යැයි කීම විවාදයෙන් තොර ප්‍රකාශයකි. දයාසේන ගුණසිංහ (රයිගම් රාල, උකුස්සා සහ තවත් තීරු ලිපි) සුනිල් මාධව ප්‍රේමතිලක (සත්‍යවාදියකුගේ දිනපොත) සුන්දර නිහතමානි ද මැල් (මානිගේ තීරුව) මෙන්ම කසුරි ලියූ ‘කසුරිගේ කොලම, ‘වට රවුම’ යන තීරු ලිපි අතිශය ජනකාන්ත වූයේය.

උත්ප්‍රාසය, භාවික ගුණය, මානව හිතවාදය, සමාජ විවේචනය කසුරිගේ විශේෂාංග ලිපි හා තීරු ලිපිවල ප්‍රකටව පෙනුණ අනන්‍ය ලක්ෂණ සේ දැකිය හැකිය.

පුවත්පත් කර්තෘවරයකු වශයෙන් කසුරිගේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රශ්න තිබුණත් ඔහු පවත්නා සීමා තුළ හිඳිමින් පාඨකයන්ගේ දැනුම පෘථුල කිරීමට උත්සුක වූ ආකාරය අප අගය කළ යුතුය. පෞද්ගලිකව ගත්විට මට හැඟෙන්නේ ඔහු විශේෂාංග කර්තෘ වැනි සීමාවක් තුළ රැඳී සිටියේ නම් ඔහුගේ පුවත්පත් කලා කාර්යභාරය මීට වඩා අද්විතීයවන්ට තිබුණා කියාය.

කසුරි පසු කලෙක ස්වකීය නිර්මාණ ප්‍රතිභාව මුළුමනින්ම නවකතාකරණයට මුදා හැරියේය. කරුණාසේන ජයලත් යුගයෙන් පසු අපේ රටේ පුවත්පත් කලාවේදීන් රැසක් නවකතා ලීවද ඉන් පාඨක විචාරක දෙපාර්ශවයේම ප්‍රශංසාව දිනා ගැනීමට හැකි වූ එකම ලේඛකයා කසුරි පමණක් ය යන්න මගේ කල්පනාවයි.

‘දෙසතිය’ සඟරාවේ හිටපු සංස්කාරකවරයකු වූ ගාමිණී විජේතුංගගේ මරණයේත් කසුරිගේ වියෝවෙත් කිසියම් සමානකමක් මම දකිමි. ඔවුන්ගේ ප්‍රතිභාව යම් යම් අභිලාෂ කරා ගෙන නොගියා නම් වඩාත් මැනවැයි මට නිරන්තරව සිතේ.