වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දරුවාගේ පියා කවදා හරි රජ වෙනවා

මේ දරුවාගේ පියා කවදා හරි රජ වෙනවා

දුවගේ කේන්දරය ගැන එදා විකට රජු ෆ්‍රෙඩීට කී කතාව බිරිය කමලා - දියණි චාන්දනී හෙළි කරයි

හල්පේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශප් රණබාහු අපේ සිනමාවේ පෙරළිකාර චරිතයකි. ඔහු අප අතරින් වියෝ වී මේ වෙන කොට අවුරුදු දහතුනක් ඉක්ම ගොසිනි. අපේ සිංහල සිනමා ඉතිහාස පොතේ විකට රජා ලෙස කිරුළ දරා සිටි ෆ්‍රෙඩී සිල්වා 2001. 10. 29 වනි දින සදහටම දෙනෙත් පියා ගත්තා. ඒ වන විටත් ඔහු රඟපා තිබූ චිත්‍රපට ප්‍රමාණය 409 ක් විය. ෆ්‍රෙඩී අප අතරින් වියෝ වුව ද ඔහු අපට ඉතිරි කර ගිය නිර්මාණ අදටත් රසිකයන් රස විඳිනුයේ මහත් වූ සොම්නසකිනි. ෆ්‍රෙඩීගේ කපාපු පලුව බඳු ඔහුගේ පුත් ජනේෂ් ද පසුගිය වසරේ සමු ගත්තේය. ෆ්‍රෙඩී සිල්වාගේ පවුලේ සාමාජිකයින්ගේ අලුත් තොරතුරු සොයා අපි පිය මැන්නේ 225/ඒ 1, වලව්වත්ත, බණ්ඩාරගම පාර, කැස්බෑව ලිපිනයේ නිවහන සොයා ගෙනය.

මේ නිවසේ අද පදිංචිව සිටිනුයේ ෆ්‍රෙඩී සිල්වාගේ බිරිය කමලා ස්වර්ණලතා පෙරේරාත් දුව චාන්දනී සිල්වාත් පමණි.

 ඉතින් තාත්තාගේ ගුණ සමරුවට මේ ගමන මොනවද කළේ?

මම එහෙම ඇහුවෙත් කතාවට මුල පුරන්නත් එක්ක.

ඒ කතාවට හාපුරා එක් වූයේ චාන්දනී.

එදාට අපි කළේ වෙනද වගේම මොරටුවේ පිහිටි වැඩිහිටි නිවාසයට තාත්තා සිහි කරලා කෑම වේලක් දීම තමයි. තාත්තාගේ දස වන ගුණ සැමරුම නම් මම කළේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් වෙනුවෙන්. එදා ඒ සැමරුමට අපේ කලා ක්ෂේත්‍රයේ ගොඩක් අය ආවා. සිංදු කිව්වා. රණවිරුවන් වෙනුවෙන් එදා දවස අපිට සංගීතයෙන් පිනවන්නත් ලැබුණා. මට හිටිය එකම අයියත් ජීවිතයෙන් සමුගත්තා. අයියා නැති වුණ එකත් මට ලොකු පාඩුවක්. අපි දෙන්නා අතර අවුරුදු දහයක පරතරයක් තිබුණා. අපි දෙන්නා සහෝදර සහෝදරියන් වුණත් යාළුවන් වගේ තමයි හිටියේ. අද මම මේ කැස්බෑවේ පදිංචි වෙලා ඉන්නේ කුලියට. පිළියන්දල සිද්ධමුල්ලේ අපිට තිබුණ ගේ අයියට අයිති වුණා. තාත්තාට රාවතාවත්තේ තිබුණ ගේ තාත්තා සමඟ සම්බන්ධතාවයක් තිබුණ කාන්තාවක් නිසා අපට අහිමි වුණා. අද මම අම්මත් එක්ක කුලියට ගෙයක් අරගෙන ජීවත් වෙනවා. අද මගේ ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ගීත ගායනය. බෑන්ඩ් එකක ගීත ගායනා කරලා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ජීවත් වෙනවා.

මම කොහේ ගියත් අදටත් මට පුදුම රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම දෙයක්ම අදටත් මට ලැබෙන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ දුව වුණ නිසයි. සමහරු මාව අතපත ගානවා. මගේ මූණත් තාත්ත වගේම නිසා එදා තාත්තාට තිබුණ සැලකිලි රසිකයන්ගෙන් මටත් ලැබෙනවා. සමහර රසිකයන් මාව දැක්කම දෙවියන්ට වගේ සලකනවා. මට අදටත් මොනවා හෝ ගෞරවයක් ලැබෙනවා නම් ඒ තාත්තා නිසා. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ වෙනත් කාන්තාවක් එක්ක තාත්තාගේ සම්බන්ධයක් තිබුණා කියන එක රටේම ප්‍රසිද්ධ රහසක්. ඒ වගේ ජීවිතයක් තාත්තා ගත කළත් අයියටත් මටත් මොනම දේකින්වත් අඩුවක් කළේ නැහැ. අපි දෙන්නව හොඳ ඉස්කෝලවලට දාලා ඉගැන්නුවා. අපි වෙනුවෙන් යුතුකම් ඉටු කළා. ඒ ගැන මම කවදාවත් තාත්තාට දොස් කියන්නේ නැහැ. තාත්තා එහෙම හිටිය කියලා මගේ වැඩවලට නෑවිත් හිටියේ නැහැ. මගේ විවාහ මංගල්‍යයට පවා ඇවිත් හැම යුතුකමක්ම ඉටු කළා. අයියට වුණත් ඒ කාලේ එහෙමයි තාත්තා සැලකුවේ. මම තමයි වරින්වර ඒ කාන්තාවට ගිහින් නිතර බැනල ආවේ මගේ හිතේ තිබුණු කේන්තියට. ඒත් කවදාවත් මගේ අම්මා ඒ වගේ දේකට ගියේ නැහැ. තමන්ගේ පාඩුවේ ගෙදරට වෙලා ජීවත් වුණා. අපෙන් ඈත් වෙලා හිටිය කියලා අම්මා නිකන් හිටියේ නැහැ. පිළියන්දල රේන්ද කඩයක් දාගෙන ඇයගේ පාඩුවේ ජීවත් වුණා.

අයියගෙයි මගෙයි වියදමට තාත්තාගෙන් මුදල් ලැබුණා. තාත්තා නැති වුණා කියලා අපිට කලා උත්සවවලට තිබුණ ආරාධනා නැති වුණේ නම් නැහැ. මමත් ගායිකාවක් නිසාමද මම දන්නේ නැහැ. අදටත් තාත්තා වෙනුවෙන් ඒ ආරාධනා නම් අඩුවක් නැතුව ලැබෙනවා. මට මතකයි මම පුංචි කාලේ අපේ සිද්ධමුල්ලේ ගෙදරට මොන තරම් නම් නළු නිළියෝ එනවද. ඒ වගේමයි චිත්‍රපට නිෂ්පාදකයෝ, අධ්‍යක්ෂවරු. ඒත් ඉතිං තාත්තා නැති වුණාට පස්සේ නම් අද වුණත් කලාකාරයෙක් හම්බ වෙන්නේ උත්සවයකදී තමයි. තාත්තා ඒ කාලේ ලිව්ව විකට පිටපත් මා ළඟ අදටත් තියෙනවා. මම කැමැතියි ඒ පිටපත් කවුරුන් හෝ නිර්මාණකරුවකු ඉන්නවා නම් තාත්තාගේ නිර්මාණ අයිතිය සමඟ මුදලකට දෙන්න. ඒවා මා ළඟ තිබුණ කියලා කවදාවත් මට චිත්‍රපට නිර්මාණයක් නම් කරන්න ලැබෙන්නේ නැහැ.

චාන්දනී ඔහොම කියාගෙන යන කොට මම ෆ්‍රෙඩීගේ බිරිය කමලා පැත්තට හැරුණේ ඇයත් මේ කතාබහට එක් කර ගන්න.

1960 අප්‍රේල් තුන් වැනිදා අපි දෙන්නා විවාහ වුණේ දිගු කාලයක් ආදරය කරලා. අපි දෙන්නා බඳින කොට ෆ්‍රෙඩීට ස්ථිර රස්සාවක් තිබුණෙත් නැහැ. ඒ කාලේ එයා සිංදු කියනවා. ෆ්‍රෙඩී කුඩා චරිතයක් රඟපෑවේ සුහද සොහොයුරෝ චිත්‍රපටයේ. ඒ දිය රැල්ල වෙරළේ හැපි හැපි කියන සිංදුව පුෂ්පරානි ආරියරත්න එක්ක ගායනා කළේ. කොහොම හරි දුව ලැබුණට පස්සේ තමයි ෆ්‍රෙඩීට හරි ගියේ. රෝයි ද සිල්වායි ෆ්‍රෙඩියි හරි යාළුයි. රෝයි තමයි ෆ්‍රෙඩීව ජෝ දේව් ආනන්ද් ගාවට එක්ක ගියේ. ඒ සුජීවා චිත්‍රපටයට. ඒ කාලේ සාස්තර කාරයෙක් කියලා තිබුණා දුවගේ කේන්දරේ බලලා මේ කේන්දරයට අනුව මේ දරුවගේ පියා රටේ රජ කෙනෙක් වෙනවා කියලා. ඒ කිව්වත් හරි ෆ්‍රෙඩී විකට රජා වුණා.

මැරෙන කොට චිත්‍රපට 409 ක රඟපාලා තිබුණා. ඒ කාලේ දවසට ෆ්‍රෙඩී චිත්‍රපට හතරක ඇට් කරපු අවස්ථා තිබුණා. චිත්‍රපට නිෂ්පාදකයෝ වැල නොකැඩී ගෙදර එන්න පටන් ගත්තා. ෆ්‍රෙඩීගෙන් දින ඉල්ලලා සමහර චිත්‍රපට කරන්නේ නැතුව බලන් හිටියා ෆ්‍රෙඩීගෙන් දින ලැබෙනකම්. එදා මුලින්ම රඟපෑ සුජීවා චිත්‍රපටය නිසා ෆ්‍රෙඩී ගෙදරට සුජීවා කියලා නමකුත් දැම්මා. හැබැයි කවදාවත් එයා එයාට අත දුන්න කිසිම කෙනෙක් අමතක කළේ නැහැ. ඒ අයට දින දීලා තමයි අනිත් අයට දින දුන්නේ. සමහර දවස් තිබුණා ෆ්‍රෙඩී ෂූටිං ගියහම සති තුන හතර ගෙදර එන්නේ නැහැ. ඒ තරම්ම චිත්‍රපට. දුවයි පුතයි සති ගණන් තාත්තා නොදැක හිටිය දවස් තිබුණා. සමහර දවස්වලට මහ රෑත් පාන්දර යාමෙත් මම බත් ඉව්වා ෂූටිං ඉවර වෙලා ගෙදරට එන නළු නිළියන්ට කන්න දෙන්න.

ෆ්‍රෙඩීගේ අවසන් කාලය ගෙවුණේ කොහොමද?

ඒකට මම උත්තර දෙන්නම්. ඒ දුව චාන්දනී. තාත්තා රාවතාවත්තේ ගෙදර ජීවත් වුණේ. අපි සිද්ධමුල්ලේ ජීවත් වුණා. ඔය කාලයේ මම ප්‍රසංගයකට විදේශ ගත වුණා. ඒ ගිහින් එනකොට මට කෝල් එකක් ආවා රාවතාවත්තේ ගේ ළඟ ගෙදරක අංකල් කෙනෙක්ගෙන්. දුව තාත්තා තනියම දැන් ගෙදර ඉන්නේ. මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. කවුරුවත් බලන්නවත් නැහැ කියලා. ඒ පාර මම ගෙදරට ආවා. ඒ එනකොට තාත්තා තනි කරලා ගෙදර තිබුණ සේරම සේසත අරගෙන යන්න ගිහිල්ලා.

තාත්තාට හොඳටම අමාරුයි කියලා මට පෙනුණා. මම හයර් එකට වාහනයක් අරගෙන ඉක්මනින් පෞද්ගලික හොස්පිටල් එකකට ගෙනාවා. එහෙදි තාත්තාව බලල කිව්වා තත්ත්වය හොඳ මදි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්න, කවුරුත් තාත්තාට ආදරෙයි කියලා. කොහොම හරි තාත්තාට රෝහලේදී ප්‍රතිකාර කරලා දොස්තරලා කිව්වා ගෙදර එක්ක යන්න කියලා. මම ඒ පාර අම්මගෙනුත් අහල අපි හිටිය සිද්ධමුල්ල ගෙදරට තාත්තාව එක්ක ආවා. ඒ ගෙනල්ලා මමයි අයියයි කරන්න පුළුවන් හැම විදියකින්ම තාත්තාට බෙහෙත් හේත් කෑම බීම මේ හැම දේකින්ම අඩුවක් නැතුව සැලකුවා. අයියාගේ බිරිය ලක්ෂ්මී තාත්තා වෙනුවෙන් කැප වෙලා තාත්තාව බලා ගත්තා. ඔය වගේ සැලකුම් ලබමින් ඉඳලා තමයි තාත්තා දෙනෙත් පියා ගත්තේ.

මම ආයෙත් හැරුණේ කමලා දෙසට. ආදර සම්බන්ධයකින් නේද ෆ්‍රෙඩීව හඳුන ගත්තේ කිව්වේ?

ඒක දිග කතාවක්. මම කෙටියෙන් කියන්නම්කෝ. මගේ ගම පාදුක්කේ. මම නැවතිලා හිටියේ මහරගම සීයාගේ ගෙදර. ඉස්කෝලෙ ගියේ මහරගම විද්‍යාකර විද්‍යාලයට. මම නැටුම් ඉගෙන ගත්තා. දවසක් නැටුම් ගුරුතුමිය කිව්වා ජාඇල නිවන්දම ඉස්කෝලේ කොන්සට් එකක් තියෙනවා ඒකට අපේ පාසලෙන් නැටුමක් කරන්න තියෙනවා කියලා. කිව්ව දවසට අපි ගියා. ස්ටේජ් එක පිටුපස ඉන්න කොට දෙන්නෙක් ඇවිත් කිව්වා ඩාන්ස් එක මරු, කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා මහරගම කියලා. ඒ පාර එයා කිව්වා මම මොරටුවේ ඉන්නේ. මේ මගේ යාළුවෙක්. මෙයාට මල් කඩයක් තියෙනවා ඔයාලට කොන්සට් එකට මල් ඕනෑ වුණොත් මෙයාට ලියුමක් එවන්න අඩුවට මල් ගන්න පුළුවන් කියලා ඇඩ්‍රස් එක දුන්නා. මම ඇඩ්‍රස් එක ගත්තා. එයාගේ නම බැසිල් ෆ්‍රෙඩී කිව්වා. එතකොට මට අවුරුදු දහසයක් විතර ඇති. දවසක් ගුවන් විදුලියේ දවල් එකත් දෙකත් අතර විනෝදාත්මක ගී වැඩසටහනක් විකාශය වුණා. ඔය වැඩසටහනට එඩී ජයමාන්න, පිටිපන සිල්වා,ජෝසප් සෙනෙවිරත්න සිංදු කිව්වා. ඔය අතරේ එදා ෆ්‍රෙඩීත් සිංදුවක් කිව්වා. බාර්, බාර්, බාර් එකෙන් බිලා සිංදුව.

එදා ඒ වැඩසටහනේ සිංදු තරගයෙන් දිනුවේ ෆ්‍රෙඩී. මට හරි සතුටක් දැනුණා. මම කළේ අර මල් කඩේ ඇඩ්‍රස් එකට ලියුමක් දැම්මා සිංදුව කියලා ජය ලැබුව එක ගැන කියලා. ඒ ලියුමේ මම අපේ ගෙදර ඇඩ්‍රස් එකත් ලියලත් ඇරියා සීයා බාරේ කියලා. ඒ ලිපියට මටත් ෆ්‍රෙඩී ලිපියක් එව්වා. ඔය විදියට ෆ්‍රෙඩීගෙන් මට ලියුම් ආවා. මම ෆ්‍රෙඩීට ලියුම් ලිව්වා. සීයට සැක හිතෙන කොට බොරලැස්ගමුවේ මගේ යාළුවෙක් හිටියා සුමනා කියල. එයාගේ නමට ෆ්‍රෙඩී ලියුම් එව්වා. එවා සුමනා මට දුන්නා. ඔය විදියට ඉන්න කොට දවසක් ෆ්‍රෙඩී ලිපියක් එව්වා රත්මලානේ ෆැක්ටරියක පොඩි ජොඩ් එකක් ලැබුණා. මම ඒකේ සිංදු කියනවා. මේ ෆැක්ටරියේ නෙට්බෝල් කණ්ඩායමට ගෑනු ළමයි ගන්නවා කැමති නම් එන්න කියලා.

මමත් ඉස්කෝලේ නෙට්බෝල් සෙල්ලම් කරලා තිබුණ නිසා සීයටත් කියලා ෆැක්ටරියට ගියා. දැන් ෆ්‍රෙඩී ෆුට් සයිකලයකින් ෆැක්ටරියට එනවා සර්පිනාවක් අරන්. ඒ ඇවිත් සිංදු කියනවා. මමත් නෙට්බෝල් පුහුණු වෙනවා. කොහොමත් ෆැක්ටරියේ අපිට හමුවෙන්න අවස්ථාවක් නැති තරම්. නීති හරිම තදයි. කෑම වෙලාවෙදි තමයි හම්බ වෙන්නේ. ඔය අතරේ දවසක් ෆ්‍රෙඩීගේ බයිසිකලයේ මම මල් අත්තක් කඩලා ගැහුවා. එයා ඒක දන්නේ නැහැ. පස්සේ මල් අත්ත ගහපු කෙනා කවුද කියලා මෙයා හොයන්න පටන් ගත්තා. ඒ පාර මම කිව්වා ඒක කළේ මම කියලා.

මාත් එක්ක ෆැක්ටරියට ගිය යාළුවෙක් හිටියා නෝමා කියලා. එයා අතේ ෆ්‍රෙඩී දවසක් විවාහ යෝජනාවක් මට ගෙනාවා. මම කිව්වා ස්ථිරවම විවාහ වෙනවා නම් මගේ අකමැත්තක් නැහැ කියලා. ෆැක්ටරියේ නීතියක් තිබුණා විවාහ වුණාට පස්සේ ජෝඩුවක් එකට වැඩ කරන්න බැහැ කියලා. ඒ නිසාම මම කලින්ම ෆැක්ටරියට යන එක නැවැත්තුවා. කොහොම හරි අපි දෙන්නගේ සම්බන්ධය ගෙවල්වලින් දැනගත්තා. මම බෞද්ධ, ෆ්‍රෙඩී කතෝලික. දැන් ආගම හරහට හිටියා. තාත්තා විරුද්ධ වුණා. කොච්චර තාත්තා විරුද්ධ වුණා ද කියනවා නම් පාදුක්කේ ඉඳලා මහරගම ඇවිත් මට කෝපි කෝටුවෙන් ගහලා යනවා මේ සම්බන්ධය නතර කරපන් කියලා. බැරිම තැන තාත්තා මාව තුම්මෝදර මාම කෙනෙක්ගේ ගෙදර ගිහින් නතර කළා මේ සම්බන්ධය නතර කරන්න. ටික කාලෙකට හුදකලා වෙලා තුම්මෝදර ඉන්න කොට දවසක් මාමා මාව ඇවිදින්න එක්ක ගියා. ඔය යන අතරේ සාස්තරකාරයෙක් පාරේ යනවා දැකලා මාමා කිව්වා කැමැති නම් සාස්තරයක් අහන්න කියලා. මමත් ඉතිං අත දික්කලා. ඒ පාර සාස්තරකාරයා කිව්වා නෝනා බඳින්න නම් එපා. මුලින්ම බඳින කෙනා මැරෙනවා කියලා. ඒ පාර මම කිව්වා මැරුණත් කමක් නැහැ මම දැන් බඳින්න ඉන්න කෙනා බඳිනවාමයි කියලා. ඒ විදියට සාස්තරකාරයෙක් එවල තිබුණෙත් මාමා මගේ අදහස වෙනස් කරන්න කියලා පස්සේ මම දැනගත්තා.

කොහොම හරි දවසක් මාමාගේ ගෙදර වැඩට හිටිය ළමයාට කියලා මහරගම සීයට තැපැල්පතක් දැම්මා මාව ඇවිත් ගෙනියන්න කියලා. කොහොමත් සීය මට හරිම ආදරෙයි. ඒ නිසාම සීයා ඇවිත් මාව එක්කගෙන ගියා. මම කළේ මහරගමට ආපු ගමන් ෆ්‍රෙඩීට පෝස්ට් කාඩ් එකක් දැම්මා. මම ගෙදර ආවා, බයවෙන්න එපා කියලා. අන්තිමට කොහොම හරි විරුද්ධකම් මැද්දේ වුණත් අපි දෙන්නගේ විවාහය සිද්ධ වුණා රාවතාවත්ත රෙජිස්ටාර් ළඟ. තාත්තා නම් මගේ විවාහයට ආවා. එත් නංගිවත් අම්මටවත් එන්න දුන්නේ නැහැ. මගේ තාත්තා සිංහල වෙද මහත්තයෙක්. පාරම්පරික සිරිත් විරිත් රකින හොඳ සිංහල බෞද්ධයෙක්. එයා ඒ වගේ දැඩි තීරණයක් ගත්තේ පවුලේ වැඩිමලා මේ වගේ හිතුවක්කාර වැඩක් කළොත් පවුලේ අනිත් අයත් ඒ ආදර්ශය ගනියි කියලා තිබුණ බයට. එදා ෆ්‍රෙඩීගෙයි මගෙයි විවාහය දා ජී. එස්. බී. රාණි පෙරේරා, මොහිදින් බෙග්, මොරිස් දහනායක, හරුන් ලන්ත්‍රා ඔය වගේ ගොඩක් කලාකාරයෝ සිංදු කිව්වා.