වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මට හරියටම හරියන චරිතය ඒකමයි

මට හරියටම හරියන චරිතය ඒකමයි

‘ආදර දෑසක්’ හි ‘නිරංජලා’ - තිලිණි සමඟ කතාබහක්

නව පරපුරේ රංගන ශිල්පිණියක වූ තිලිණි පෙරේරාට ඉතා දිගු කලකට පසු ටෙලි සිතුවමක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබිණ. ඒ නිල්වලා ආයතනයෙනි. තමාට හිමි වූ මහඟු අවස්ථාව ගැන උදම් අනමින් කාලය ගත කරන විට තිලිණිට හිදිසියේම දුරකථන ඇමතුමක් ලැබුණේ එම චරිතය වෙනත් අයකුට බාර දුන්නාය යන්න දන්වමිනි.

එහෙත් එම ටෙලි සිතුවමේ කුමන හෝ චරිතයකට තිලිණිව ගන්නා බව ඔවුන් දැන්වූහ. ඇය ඒ කාල සීමාව ගෙවා දැම්මේ ඉමහත් වූ සංවේගයකිනි. කෙසේ වෙතත් තිලිණිට දෙවන වර ඇරැයුම් ලැබූ චරිතය නිසා ඇය අද වන විට බොහෝ සෙයින් ජනප්‍රියව සිටියි.

* තිලිණි හැම දේම වෙන්නේ හොඳටයි කියලා කතාවක් තියෙනවා නේද?

ඒක නම් ඇත්ත. මම නිල්වලා ආයතනයට යන්නේ ඔයාලගෙ ආයතනයේ ඡායාරූප ශිල්පියකු වන ශාන් රූපස්සරගේ මඟ පෙන්වීම මත. එහිදී ලලිත් වසන්ත සහ සඳුන් රාජකරුණා යන මහත්වරුන් යටතේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට පෙනී සිටියා. මාව නාට්‍යයකට තෝරා ගත්තා. ඒක තමයි ආදර දෑසක්. එහි වෙස්ටන් චරිතයකටයි මට කතා කළේ. පහුකාලීනව මට දැන්නුවනෙ ඒ චරිතය මාරු කළා කියලා. මං හරියට දුක් වුණා. මගේ මුහුණේ තියෙන ගැමි ගතිය නිසයි එහෙම කරලා තියෙන්නේ. අන්තිමේ මගේ ස්වරූපයට හරි යනවයි කියලා තීරණය කරපු නිරංජලා නම් වූ ගුරුවරියකගේ චරිතය දුන්නා. බොරු කියන්න ඕනෑ නැහැනෙ, මං හරිම අකැමැත්තෙන් ඒ චරිතය බාර ගත්තේ. නමුත් ඔවුන් ගත්තු තීරණය නිවැරිදියි . මං එහෙම කියන්නේ අද වන විට මට ලැබෙන ප්‍රතිචාරත් එක්කයි. මට හිතෙනවා ආදර දෑසක් නාට්‍යයේ මට හරියන චරිතය ඒක තමා කියලා.

* තිලිණි කලින් රඟපාලා තියෙන නාට්‍ය මතක් කළොත්?

කැදැල්ල නෑ උණුසුම්, කිරි කවඩි සහ අපේක්ෂා. ඒවායේ සාමාන්‍ය චරිත රඟපෑවේ. ප්‍රධාන චරිතයක් පළමුවරට කළේ ‘ආදර දෑසක්’ නාට්‍යයේ.

* මොකද හිතෙන්නේ?

මේක කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ටිකක් ආඩම්බරයෙන් ඉන්නේ මං නිරන්ජලා හින්දා.

* ඒ කියන්නේ තිලිණි දැනටමත් ආඩම්බර වෙලා. තව ප්‍රධාන චරිතයක් දෙකක් ලැබුණොත් කාගෙවත් මුහුණ බලලා හිනාවෙන එකකුත් නැහැ?

බුදු අම්මෝ ආඩම්බරයි කියලා කිව්වේ නිහතමානී ආඩම්රයක්. අඩි දෙකක් තුනක් ඉහළින් ඉන්න ආඩම්බර තත්වෙකට මං පත් වෙලා නැහැ. පත් වෙන්නෙත් නැහැ.

* රංගනයට ආසවෙන් හිටියා කිව්වට ඔබව පුංචි තිරයෙන් දකින්නට ලැබුණෙ හරිම අඩුවෙන්?

කාලයක් මං ටිකටිං ඔෆිස් එකක සේවය කළා. ඒක හින්දා ලැබුණු ආරාධනා භාර ගත්තේ නැහැ. රංගනයට ඇති උනන්දුව නිසාම ඒ රස්සාවෙනුත් අයින් වුණා.

* දැන් පූර්ණකාලීන රංගන ශිල්පිනියක්?

ඔව්. ඊට අමතරව මෝස්තර නිරූපිකාවක විදිහට වැඩ කරනවා.

* ගෙදරින් කැමැති වුණාද තිලිණි නිළියක් වෙනවට?

පවුලේ අයගේ දැඩි විරුද්ධත්වයක් තිබුණා රඟපාන එකට. ගෙදරින් කියන දේවල් අහන්නත් එපායැ.

* පසුකාලීනව නිදහස ලැබෙන්න ඇති?

ඒත් නැහැ.

* එහෙනම් තවමත් තිලිණි රඟපාන්නේ ගෙදර අයගේ අකැමැත්ත මධ්‍යයේ?

මං විවාහ වුණා. විවාහයෙන් අනතුරුවයි රඟපාන්න ආවේ. හස්බන්ඩ් කැමැතියි මං රඟපානවට. එහෙම කෙනෙකුයි මට ඕනෑ කරලා තිබුණේ. දැන් බාධාවක් නැතිව රඟපානවා.

* කටකතා හැදෙයි කියන බයට ද මව්පියන් තිලිණිට රඟපාන්න යන්න දුන්නේ නැත්තේ?

ඔව්. ඇතැම් අය නිළියන් ගැන වැරැදි ආකල්ප හිතේ මවාගෙන ඉන්නවනේ. ඒවා ඉතින් ඒ අය ඇත්ත වගේම හිතනවා. නමුත් මේ ක්ෂේත්‍රය එහෙම මඩ ගොහොරුවක් නෙවෙයි.

* තිලිණි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ඔක්කොම අය මල් වගේ පිරිසක් කියලද?

නැහැ, නැහැ, කලාව ඇතුළෙ කෙනෙක්ව වරදට පොළඹවාගන්න අය ඕනෑ තරම් ඉන්නවා. මටත් අයතු යෝජනා ආවා.

* කොහොමද එවන් අවස්ථාවලට ඔබ මුහුණ දුන්නේ?

මොලේ පාවිච්චි කළා නම් හරි. තනි අතින් අත්පොඩි ගහන්න බැහනෙ. තමන් හොඳ නම් කාටවත්ම බැහැ අයුතු බලපෑම් කරන්න. ඒකට හොඳ පෞරුෂයක් ගොඩ නඟාගෙන හිටියා නම් හරි.

* ආදර දෑසක් රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි ඊළඟට මං අහන්නේ?

මට ගොඩක් සීන්ස් තිබුණේ අංජලී කියන පුංචි බබත් එක්ක. මේ දවස්වල අංජලීගේ දත් හැලිලා. බොරු දත් කුට්ටමක් දාගෙනයි රඟපාන්නේ. දවසක් දෙල්කඳ පොලේදී වැරැදිලා ඒ දත් කුට්ටම කුණු බාස්කට් එකකට වැටිලා. ඉතින් සෑහෙන වෙලාවක් යනතුරු ඒක හෙව්වා. තව දවසක් මට මරු වැඩක් වුණා. ඊට කලින් දා මං හොඳටම නිදි මරලා උන්නේ. කැමරාව ඉස්සරහා නින්ද යනවා. බොහොම අමාරුවෙන් එදා රඟපෑවේ.

* තිලිණි සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපට නරඹනවාද?

ඔව්.

* අන්තිමේට නරඹපු සිංහල චිත්‍රපටය මොකක්ද?

ඇහැළෙපොළ කුමාරිහාමි.

* චිත්‍රපටය බලලා මොකද හිතුණේ?

ඇහැළෙපොළ කුමාරිහාමි චිත්‍රපටයේ තිර පරීක්ෂණයට මමත් යන්න සූදානම් වුණා. ලස්සනට ඔසරියක් එහෙම ඇඳගෙන ගෙදරින් එළියට බහින්න හැදුවා විතරයි මගේ මාමා නැති වුණා කියලා ආරංචියක් ලැබුණා. එදා ඊට සහභාගි වෙන්න බැරි වුණා. චිත්‍රපටය නරඹද්දී හිතුණා අනේ එදා තිර පරීක්ෂණයට යන්න ලැබුණා නම් මේ චිත්‍රපටයේ මමත් ඉන්නවා නේද කියලා.

* තිලිණි රඟපාන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරුන් කවුද?

ශාන්ත සොයිසා, වී. සිවදාසන්, බෙනට් රත්නායක.

* තිලිණිගේ පෞද්ගලික විස්තර කියමු?

මගේ ගම මහවැව තොඩුවාව. දැනට පදිංචි වෙලා ඉන්නේ මාරවිල. ඉගෙන ගත්තේ මාදම්පේ සේනානායක ජාතික පාසලේ.

* කොහොමද තිලිණිගේ ඉදිරිය?

ටෙලි නාට්‍ය දෙකකට ඇරැයුම් කළා. ඒ වගේම චිත්‍රපටයකටත් කතා කළා. ළඟදීම ඒ වැඩ කටයතු ආරම්භ වේවි.