වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඔව්, මමත් සුදුසු නෑ අධ්‍යක්ෂණයට...

ඔව්, මමත් සුදුසු නෑ අධ්‍යක්ෂණයට...

අර්ජුන කමලනාත් කලකට පසු ‘සරසවිය’ සමඟ

වෘත්තිය ඇතුළේ කොයි චරිතයත් මට එකයි

ඉතිහාස රැල්ල දැන් ප්‍රේක්ෂකයන්ට අජීර්ණයි

සමාන්‍යයෙන් අර්ජුන කමලනාත්ගෙන් දෙයක් ඇහැව්වොත් කැත්තට පොල්ල වගේ උත්තර දෙනවා. ඒ ඔහුගේ හැටි. ඒ වගේම කාට වුණත් කියන්න තියෙන දේ මූණටම කියන්නත් අර්ජුන පැකිලෙන්නේ නැහැ. මේ හේතුව හින්දම ඔහුත් සමඟ ක්ෂේත්‍රයේ ඇතම් අය හිතවත්කම් පවත්වන්නේ හරිම අඩුවෙන්. කාලෙන් කාලෙට දේශීය සිනමාවේ අලුත් පරිච්ඡේදයන් සටහන් කරන්න අර්ජුන ගන්නා වෙහෙස අපමණයි. ඒවායේ සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත් ඔහු සිනමාව වෙනුවෙන්ම කට්ට කන කෙනෙක්. කලෙකට පස්සේ අර්ජුනට අපි ප්‍රශ්න පත්‍රයක් යොමු කළා.

‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ සිනමාපටයෙන් පස්සේ සිනමා අධ්‍යක්ෂවරයකු බවට ද පත් වුණ හින්දා ඒ පැත්ත පිළිබඳත් වැඩිපුර ඔහුත් එක්ක කතා කළා. හැබැයි වෙනදා වගේ නැතුව අර්ජුන අදහස් දැක් වූයේ හරිම පරිස්සමින් කියලයි අපට හිතුණේ.

* අර්ජුන පසුගිය කාලයේ ඔබ ටිකක් නිහඬ චරිතයක් වුණා. මොකද සද්දයක් බද්දයක් නැතව හිටියේ?

මෙහෙමයි. මම නිහඬව හිටියේ නැහැ. මම දිගටම රංගනයේ යෙදුණා. හැබැයි ඒ එකක්වත් තවම ආවෙ නැහැ. රංගනයෙන් දායක වූ නිර්මාණ අතර චිත්‍රපට හතරක් සහ එක් ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒවා ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබේවි. රජ හොරු චිත්‍රපටයෙන් පසු මා ඉන්න කිසිම නිර්මාණයක් මගේ රසික රසිකාවන් දකින්න නැතුව ඇති. ඒ හින්දම මාධ්‍යයටත් මං කතා කළේ අඩුවෙන්. මේ කරුණ මත මං නිහඬව ඉන්නවා කියලා හිතෙන්නට පුළුවන්. නමුත් එහෙම නැහැ. පහුගිය කලේ පුරාවටම රඟපෑව එක තමයි කළේ.

* ඔබ රඟපෑ නවතම සිනමාපට සහ ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මහරජ ගැමුණු. ජයසේකර අපොන්සුගේ තරුසොබා, තිෂූල දීප තඹවිටගේ අපිත් සූරයෝ සහ නිශාන්ත ද අල්විස්ගේ ඇලකණ්ඩියේ මාකස් තමයි චිත්‍රපට හතර. කවිත්‍රා මං කාලෙකට පස්සේ රඟපාපු ටෙලිය. එය අධ්‍යක්ෂණය කළේ ජෝශප් ජෙරම් පෙරේරා.

* මහ රජ ගැමුණු චිත්‍රපටයේදී ඔබව පළමු වතාවට ඓතිහාසික චරිතයකින් අපට හමු වෙනවා?

ඔව්. ජයන්ත මහත්මයා මීට වසර දෙක තුනකට උඩදී මෙම චිත්‍රපටය කරන්න හදද්දී මට කතා කළා. ඒ දීඝාභය කුමාරයාගේ චරිතයට. එහෙත් එම කාලයේදී චිත්‍රපටයේ වැඩ කටයුතු නැවතුණානේ. දෙවන වර ඔහු එය නිර්මාණය කරන කොට මට ලැබුණේ නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය. ඒ වෙනුවෙන්ම මං රැවුල වැව්වා. මේක වෙනමම චරිතයක් හින්දා චරිතය ඇඟට කාවද්දගෙන රඟපෑවේ. හේමන්ත රන්දුනු කියන මිත්‍රයාගේ මාර්ගයෙනුයි මට ජයන්ත මහත්මයාව මුණ ගැසෙන්නේ. බුද්ධික ජයරත්නත් මාව මෙම චිත්‍රපටයට සම්බන්ධ කරලා දෙන්න ගොඩක් මහන්සි වුණා.

* රැවුල වවා ගත්තු නිසා ඔබට නිර්මාණ කීයක් අතහරින්න වුණාද?

වාසනාවට එහෙම තත්ත්වයක් උදා වුණේ නැහැ. මම කලින් කියපු නිර්මාණවලින් කිහිපයකම මං රඟපෑවේ රැවුලත් එක්ක.

* ඔබ ඔය කියන විදිහට ඔබ එකිනෙකට වෙනස්ම වූ චරිත කිහිපයක් තමයි පහුගිය කාලේ රඟපාලා තියෙන්නේ. හිතෙන්නේ නැතිද දිගින් දිගටම එවැනිම වූ චරිත රඟපාන්න බොළඳ පෙම්වතාගෙන් මිදිලා?

අවංකවම කතා කෙරුවොත් මෙන්න මේක තමයි මං ඔය ප්‍රශ්නයට දෙන පිළිතුර. මට අමුතු චරිත රඟපෑමේ පිපාසාවක් නැහැ. එහෙම නළුවෙකු වෙන්නත් මට බැහැ. මේක මගේ වෘත්තිය. ඒ වෘත්තිය ඇතුළේ කොයි චරිතයත් මට එකයි. හෙට ඔබ කතා කළත් චිත්‍රපටයක රඟපාන්න මං එනවා. පිටපත මොකක්ද කතාව මොන වගේද, කවුද තව රඟපාන්න ඉන්නේ, කවදා විතර ද ෂූට් කරන්නේ, චරිතය සුදු ද කලු ද යන දේවල් මං අහන්නෙම නැති තරම්. මං විමසනනේ එකම එක ප්‍රශ්නයයි. ඒ මේ චරිතය වෙනුවෙන් මට කීයක් ගෙවනවද කියන එක.

* අර්ජුන කමලනාත් දැන් මුදලට පමණක් රඟපාන නළුවෙක් වෙලා?

මම විතරක් නෙවෙයි, බහුතරය එහෙම තමයි. හැබැයි මං වගේ ප්‍රසිද්ධියේ ඒ කාරණාව ගැන කියන්නේ නැහැ තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙයි කියලා. ඒත් හැමෝගෙම හිත යට තියෙන්නේ මුදල කියන අජීවී වස්තුව. කවුරුවත් පිනට රඟපාන නළුවා නැහැනෙ. ලංකාවේ බ්ලූ ෆිල්ම්ස් හැදෙන්නෙ නැහැ කියලා මා දන්නවා. ඒ හින්දා කතා කරන හැම චරිතෙටම මං යනවා මගෙ මුදල ලැබෙනවා නම්. ජීවත්වීම උදෙසායි එහෙම කරන්නේ.

* කොහොමද ඔබේ අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු?

ඒකේ නම ආශාවේ මායා. එය රූගත කොට සංස්කරණය කරලා දැන් ඉවරයි. නිෂ්පාදනය පැත්තෙන් යම් යම් ගැටලු ආවා. ඒවා නිරාකරණය කර ගන්නකම් ටිකක් ඉන්න සිද්ධ වෙනවා. ළඟදීම එය තිරගත කරන අපේක්ෂාවෙනුයි මේ දිනවල කාලය ගත කරන්නේ.

* ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ වගේ එයත් තාරුණ්‍යය නියෝජනය කරන චිත්‍රපටයක්ද?

ඔව්. හැබැයි වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වූවක්. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

* අදහසක් නැද්ද ඓතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කරන්න?

මෑත කාලයේ තිරගත වූ චිත්‍රපට අතරින් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ලාභ ලැබුවේ. එහෙව් තත්ත්වයක් මත දැවැන්ත ඉතිහාසගත නිර්මාණයක් සඳහා නිෂ්පාදකවරයකුව ක්ෂේත්‍රයට ගෙන්වා ගන්න මට බයයි. සියල්ලට ඉතිහාස කතා නිර්මාණය කරන්නත් බැහැනෙ. අනික දැන් ඉතිහාස රැල්ල ප්‍රේක්ෂකයින්ටත් අජීර්ණයි. ඊට වඩා හොඳයි මං දැන් කරන විදිහේ නිර්මාණ ඉදිරිපත් කරන එක.

* ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ සිනමාපටයේ තිරගතවීමෙන් අනතුරුව ඔබ සෑහෙන්න කලකිරීමෙන් හිටියා.

තවමත් ඒ කලකිරීම හිතේ තියෙනවා. අපි මහන්සි වෙලා වැඩ කළාම අත දෙනවට වඩා පයින් ගහන අය වැඩියි. එහෙම වුණයි කියලා චිත්‍රපට නොකර ඉන්න බැහැනෙ.

* මොකද රට යන අත ගැන හිතෙන්නේ?

ඒ ගැන නම් කතා කළ යුතුමයි. 2005 වසරට කලින් අපේ රටේ මිනිස්සු ගැන විදෙස් ජාතිකයින් හිතාගෙන හිටියේ හරි පහත් විදිහට. වෙන රටකට යද්දි ගුවන් තොටුපළවල්වලින් චෙක් කරන්නේ හොරෙක් ගානට දාලා. නළුවකු වුණ හින්දා අපිට පොඩි චාන්ස් එකක් තිබුණා එවනි තැන්වලදී. නමුත් අනෙක් සාමාන්‍ය මිනිස්සු හැමෝම ත්‍රස්තවාදියො ගානට දාල ඔවුන් පිළිගත්තේ. කිව්වට විශ්වාස කරන්න අද එහෙම නැහැනෙ. පහුගිය දිනෙක මම ඇතුළු නළු නිළියන් හත් දෙනෙකු ප්‍රංශයට ගියා නර්ථන ප්‍රසංගයක් සඳහා. එහෙ ගුවන් තොටුපළේදී අපි ශ්‍රී ලංකන්ස්ලා කියපු ගමන් එතැන හිටපු අය හිනා වෙලා They are Mr. Mahinda Rajapaksha’s Country’s People කියලා අනිත් අයට ඇහෙන්න කිව්වා. අපෙන් ප්‍රශ්න ඇහැව්වේ නැහැ. දඩි බිඩි ගාලා සීල් ගහලා ලියකියවිලි හදලා බොහොම ගෞරවයෙන් පිටත් කර හැරියා. අපිත් දැන් ජාත්‍යන්තරය පිළිගන්නා උදවිය නේද කියලා සියුම් ආඩම්බරයකුත් ඇති වුණා. එහෙම බලන කොට ජාතියක් වශයෙන් අපි බොහෝ සෙයින් ඉදිරියට ගිහිල්ලා. නමුත් මේ අතරේ අපේ මිනිස්සුන්ගේ යම් දුර්වලකමක් මා දකිනවා. ඒ මෙතෙක් තිබුණු එකමුතුකම පිරිහිලා තියෙන එක. අපි රේස් එකක් දුවන ගමන් ඉන්නේ. දුබලයො පාගෙන හැල්මෙ දුවනවා. ඉස්සර එහෙම නැහැ. දුබලයකු වැටුනද, එයාව නැගිට්ටපු ජාතියක්. අන්න ඒ විදිහට ආයෙත් හිතන්න ගත්තොත් ලෝකයේ කිසිම රටකට අපේ මේ ශ්‍රී ලංකාව දෙවැනි වෙන්නේ නැහැ.

* මෙවරත් ඔබේ සහය රජයට පළ කරනවාද?

අනිවාර්යයෙන්ම කොන්දේසි විරහිතව අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මං මගේ උපරිම සහාය ලබා දෙනවා.

* ඔහොම ඉන්න ගමන් ඡන්දෙත් ඉල්ලන්නකො?

දේශපාලනයට එන්න නම් තුන් හිතකවත් අදහසක් නැහැ. හැබැයි මට හොඳයි කියලා සහ රටට වැඩක් කරනවා යැයි විශ්වාස කරන පුද්ගලයින්ට උදව් කරනවා. ඒකයි අප ජනාධිපතිතුමන් වෙනුවෙන් සටනට බහින්නේ. මං වගේ කෙනෙක් දේශපාලනයට සුදුසු නැහැනෙ. මං ඉන්න ඕනෑ කලාව වෙනුවෙන්.

* හැබැයි දේශපාලනයට ඇවිත් තනතුරක් ලැබුණොත් ඉන් කලාවට මෙහෙවරක් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද?

අපි හිතාගෙන ඉන්නවා දේශපාලන තනතුරු ලබාගෙන සේවයක් කරන්න. ඒ මතයෙන් දේශපාලනයට ආව කලාකරුවෝ ඕනෑ තරම් ඉන්නවනේ. ඔවුනට අපි දොස් කියනවා වැඩක් කරන්නේ නැහැ කියලා. නමුත් ඒ තනතුරුත් එක්ක තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න බැහැ. නීති රීති, ප්‍රතිපත්ති තියෙනවා. ඉතින් මටත් එහෙම වෙන්න පුළුවන්. මහ ලොකු ප්ලෑන් ඇතුව දේශපාලනයට ඇවිත් මට වැඩක් කරගන්න බැරුව හිර වුණොත් ඒක මටත් හරි නැහැනෙ. ඒ හින්දා තියෙන ජනතා ආදරය තියාගෙන කලාකරුවකු විදිහට සේවය කරනවා.

* නිතර නිතර නොපෙනී, ජනප්‍රියත්වය තියාගන්න පුළුවන් වෙන්නේ කොහොමද ඔබට?

මම සද්ද නැහැ, ඒත් ජනප්‍රියයි. පාරකට බැස්සාම තියෙන ජනප්‍රසාදය ඉතාම ඉහළයි. මං ජනප්‍රියත්වය පවත්වා ගැනීමට කිසිම දෙයක් කරන්නේ නැති තරම්. ඒත් මං ජනප්‍රියයි. වාසනාව මල්ලි වාසනාව.

* කෝ ඔබේ පෙම්වතිය අමීෂා?

එයා හොඳින් ඉන්නවා.

* හැමදාම කල් දමන ඔබ දෙපොළගේ විවාහය සිදු වන්නේ කවදාද?

තවම දිනයක් නැහැ. අපි දෙන්නා බැන්දයි නොබැන්දයි කියලා වෙනසක් නැහැනෙ.

* අමිෂත් එක්ක ළඟදී නිර්මාණයකට දායක වුණාද?

ඔව්. අර මං කලින් කියපු කවිත්‍රා නාට්‍යයේ අමිෂා කෙල්ල මං කොල්ලා.

* ඔබ දැන් වැඩිපුර කාටවත් බනින්නේ නැහැ කියලා ආරංචියි?

ඔව්.

* මොකද කටේ සැර බාල වුණේ?

දැන් ඉස්සර තරම් කට ගහන්න යන්නේ නැහැ. එහෙම කරලා තේරුමක් නැහැ කියලා මට හිතෙනවා.

* ඒ මොකද?

මං දැන් ප්‍රවීණයිනෙ. කියන කියන හැම දේකටම ඔළුව පාත් කරගෙන ඉන්නවා. ඒකනෙ ප්‍රවීණයින්ගේ ගතිය.

* කාටද මේ මඩ පහර?

කිසිම කෙනෙකුට මඩ ගැහැව්වේ නැහැ. මං කියන්නේ ඇත්ත.

* ඔබේ සැර වචන පාවිච්චි කරලා බොහෝ දේ දිනාගත්තා නේද?

මං එහෙම කරලා දිනාගත්තු දේවල් දායාද කළේ මේ ක්ෂේත්‍රයට. නමුත් එහෙම සටන් වැදිලා තේරුමක් නැහැ කියලා පසුකාලීනව හිතුණා. ඒකයි සද්ද නැතුව ඉන්නේ.

* එහෙම ඉන්න පුළුවන් ද ඔබට?

බැහැ. අමාරුයි. පහුගිය කාලේ ජාත්‍යන්තර තරු සල්ලි ගෙවල මේ රටට ගෙන්වලා උත්සවයක් පැවැත් වූවා. මං ඒවට කැමැති නැහැ. නමුත් ඒ අවනඩුව ගැන නොදැක්කා වගේ හිටියා. වෙන කරන්න දෙයක් නැහැනෙ. හැබැයි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන දේවල් නම් නිහඬව ඉඳගෙන හරි කරනවා.

* ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම ඔබට ලැබුණොත් මුලින්ම ගන්නා ක්‍රියා මාර්ග මොනවද?

චිත්‍රපට බෙදා හැරීම සංස්ථාව යටතට ගන්නවා. ඊට පස්සේ මණ්ඩල තුනකට බෙදලා එක හැන්දෙන් හැමෝටම සලකලා සම අවස්ථා හැමෝටම ලබා දෙනවා. තිර රචනය චිත්‍රපට සංස්ථාවට ගෙන්වලා එයට අනුව සංස්ථාව මඟින් බජට් එක හැදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එතකොට අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකයන්ව අන්දන්න බැහැනෙ. ඊට අමතරව කරන වැදගත්ම කර්යය මේකයි. හැමෝටම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න දෙන්නේ නැහැ. කවුරුන් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔහුට හෝ ඇයට කෙටි චිත්‍රපටයක් හදලා පෙන්වන්න සිද්ධ වෙනවා. එහි ගුණාත්මකභාවය මතයි එම අධ්‍යක්ෂවරයා චිත්‍රපටයක් හදන්න සුදුසු ද නැද්ද කියලා තීරණය දෙන්නේ. එතකොට ඉහළ මට්ටමේ චිත්‍රපට හැදේවි.

* වත්මන් තරුණ පරම්පරාව ඔබේ ප්‍රතිපත්තිවලට එකඟ වේවිද?

එකඟ වෙයි ද කියන්න මම දන්නේ නැහැ. නමුත් වෙන්න ඕනෑ පිළිවෙල ඒකයි. අපේ සිනමාව ගොඩ ගන්න නම් එවැනි ප්‍රතිපත්ති අවශ්‍යයි. ඒ ක්‍රමය ගෙනාවේ ඩී. බී. නිහාල්සිංහ මහත්මයායි. ඒ කලේ තමයි හොඳ චිත්‍රපට හැදුණේ.

* එහෙම බලන කොට ඔබත් සුදුසු නැහැ නේද අධ්‍යක්ෂණයට?

ඔව්. මමත් සුදුසු නැහැ අධ්‍යක්ෂණයට. මොකද මම කෙටි චිත්‍රපට හදලා නෙවෙයිනේ අධ්‍යක්ෂණයට පිවිසුණේ. නමුත් මම සභාපති වුණොත් මමත් ඒ පිළිවෙලට තමයි අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ.