වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් පවුල් ගස්

අලුත් පවුල් ගස්

අනිල් කපූර් සිතන්නේ බොලිවුඩයේ පැවති තාරකා අධිරාජ්‍යය අවසන් කියාය. එහෙත් එය සත්‍යයක් නොව මුසාවකි. කපූර්ලා, බච්චන්ලා, ඛාන්ලා බොලිවුඩයේ මුල් බැසගෙන ඇත්තේ මුලිනුපුටා දැමිය නොහැකි තරමට ගැඹුරටය. සිනමා කර්මාන්තයේ 60% ක්ම සිටින්නේ මේ පරපුරවල සාමාජික සාමාජිකාවන්ය.

සමහර පරම්පරා අතු ශාඛා විහිදන්නට ගන්නේ දැන්ය. ජැකී ෂෙරෝෆ් මේ දිනවල පුතු ටයිගර් ෂෙරෝෆ්ගේ සිනමා සාර්ථකත්වයේ සතුට විඳිමින් සිටින්නේය. සනී ඩියොල් සිය වැඩිමල් පුතු කරන්ට රඟන්න හොඳ සිනමාපටයක් ගැන විමසිලිමත්ය.

ගෝවින්ද සිය දියණිය නර්මදා සිනමාවට බෞතීස්ම කර තිබෙන්නේ ‘ටීනා අහුජා’ නමිනි. සුනිල් ෂෙට්ටි සිය දියණියට පූර්ණ සහයෝගය දෙන්නේය. ඔහුගේ දුව අතියාගේ කුලුඳුල් රංගනය 2015 දී නැරඹීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබේ.

විනෝද් ඛන්නා දැන් නළුවකු පමණක් නොව දේශපාලනඥයකු ද වෙයි. ඔහුගේ පුතුන් වන රාහුල් සහ අක්ෂාහේ ද රංගන ශිල්පීන්ය. නස්රුදීන් ෂා යුවළගේ පුතුන් වන ඉමාද් සහ විවාන්ට රංගන උමතුවෙන් ගැලවීමක් නැත.

ශක්ති කපූර් දියණිය වන ශ්‍රද්ධා කපූර් දැන් ජනප්‍රිය තාරකාවක වී අවසානය. ශ්‍රද්ධාගේ බාල සොයුරු සිද්ධාන්ත් ද හරවත් චරිතයක් සොයමින් සිටින්නේය.

කමල් හසන් දියණිය ශෘති හසන් පියා මෙන් නොව වඩාත් ඇලුම් කරන්නේ බොලිවුඩයටයි. ඇයගේ සොයුරිය අක්ෂාරාගේ පළමු රංගනය ලබන වසරේදී කලඑළි දකී.