වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මං නිසා අක්කාට අවස්ථාව අහිමිවන්නේ කොහොමද

මං නිසා අක්කාට අවස්ථාව අහිමිවන්නේ කොහොමද

අනෝමා වික්‍රමරත්න

පසුගියදා නිමාව දුටු සිහින සක්මන ටෙලි සිතුවමේ බබා මෝනාව ඔබට මතකද? අනෝමා වික්‍රමආරච්චි නම් වූ ඇය තමයි එම චරිතයට පණ පොවනු ලැබුවේ. මේ වන විට ටෙලි නාට්‍ය ගණනාවකින්ම ඇගේ රුව ඔබට සමීප වුණා.

මම ක්ෂේත්‍රයට එන්නේ විවාහ වුණායින් අනතුරුවයි. 2004 වසරේ මම විවාහක රූ රැජන තරගයට ඉදිරිපත් වුණේ මහා ලොකු බලාපොරොත්තු කරපන්නාගෙන නෙවෙයි. නමුත් තරගකරුවන් එකසිය හයක් පරාජය කරලා මම විවාහක රූ රැජන වුණා. මෙම තරගයෙන් අනතුරුව මට සරත් ධර්මසිරි මහත්මයාව හමු වෙනවා. ඔහුගේ ඇරැයුමින් ඔහුගේ ගිනි කිරල්ලි චිත්‍රපටයේ මං නිළියක් වුණා. පසුව සරත් මත්තමයාගේම භේරුණ්ඩ පක්ෂියා සහ වසන්ත ඔබේසේකර මහත්මයාගේ ආගන්තුකයා චිත්‍රපටවලට රංගන දායකත්වය සැපයුවා. රංගනයට ආව මුල් කාලයේම එවන් වූ අධ්‍යක්ෂවරුන් දෙපොළක් යටතේ රඟපාන්න ලැබීම මා ලද වාසනාවක්. එම දර්ශන තලයන්හි කාලය ගත කරලා රංගනය ගැන යම්තාක් දුරට ඉගෙන ගත්තා. අනතුරුව සෝමරත්න දිසානායක මත්මයාගේ සමනල තටු චිත්‍රපටයටත් එක් වුණා.

චිත්‍රපටවල රඟපපා ඉන්න කාලේ මට පුංචි තිරයටත් සම්බන්ධ වන්න ආසාවක් ඇති වුණා. අනේ මටත් ටෙලි නාට්‍යයක රඟපාන්න ඇත්නම් කියලා හිතුණු වාර අනන්තයි. ඔහොම අවස්ථාවක් හොය හොයා ඉන්න කොට සුදත් රෝහණ මහතාගේ කටු ඉඹුල නාට්‍යයේ සුද්දි නම් වූ චරිතයක් ලැබුණා. මම එය නිරූපණය කළේ නොතිත් ආසාවෙන්. චක්‍රායුධ, මහතලා හටන, කිඳුරංගනා, ගැහැනු ළමයි, පිපෙන මල් මම රංගන දායකත්වය සැපයු ටෙලි නාට්‍ය කිහිපයක්. ඒ් අතර සිහින සක්මන ටෙලි නාට්‍ය මට ඉතා විශේෂයි. මම එහි බබා නෝනා. මාව වඩාත් මිනිස්සු අතරට ගියේ බබා නෝනා නිසා. මට දුරකතන ඇමතුම් දෙන වැඩි දෙනෙකු මට ආමන්ත්‍රණය කරන්නේ බබා නෝනා නේද මේ කියලා. මම මේ මොහොතේ සිහින සක්මන අධ්‍යක්ෂතුමාට මෙන්ම නිෂ්පාදකතුමන්ට තුති පුදනවා. අනුර මාධව ජයසේකරගේ සූරියභානු නාට්‍යයෙත් මා සැලකිය යුතු චරිතයක් කළා. ඒ වාගේම මන්දෝදරී, වෙද මුදියන්සේ, තරු මුතු වැස්ස වැනි ටෙලි නාට්‍යවලින් මගේ රංගන හැකියාව ඉදිරියේදී දැක බලා ගත හැකියි.

මගේ අක්කත් රංගන ශිල්පිණියක්. ඇය සරසවිය පත්තරේ පළ වූ පුවත්පත් ලිපියක කියලා තිබුණා මම නිසා එයාට අවස්ථා අහිමි වුණා කියාලා. එයා අසූ ගණන්වල ඉඳලා රඟපානවා. මම රඟපාන්න එන්නේ 2004 දී. ඉතින් කොහොමද මම නිසා එයාගේ අවස්ථා නැති වෙන්නේ. ඒක හරිම බොරු කතාවක්.

මගේ ගම කඩවත. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනුයි අධ්‍යාපනය ලැබුවේ. පාසල් කාලයේ ඉඳලම රඟපෑවා. එක්තරා අවස්ථාවකදී මට වේදිකා නාට්‍යයක පිරිමි චරිතයක් ලැබුණා රඟපාන්න. මම කිසිම චකිතයක් නැතුව රඟපෑවා. මම එම නාට්‍යයේ රංගනය වෙනුවෙන් සම්මානයට ද පාත්‍ර වුණා. ඒත් පාසලෙන් අයින් වෙලා කාලෙකින් රඟපෑවේ නැහැ.

මේ වන විට මා යම් තැනක සිටිනවා නම් ඒ සරත් ධර්මසිරි, අනුර මාධව ජයසේකර, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සනත් රෝහණ, චතුර ජයතිලක ඇතුළු පිරිසගේ උදව්වෙන්. ඔවුනට බෙහෙවින් මා තුති පුදනවා. මට ඕනෑ මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඒ වගේම නිෂ්පාදිකාවක් විදිහට කලඑළියට එන්නත් මා බලාපොරොත්තු වෙනවා.