වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියංකාට අඩු රුධිර පීඩනය

ප්‍රියංකාට අඩු රුධිර පීඩනය

ප්‍රියංකා චොප්රා, මේරි කොම් අහසයි පොළොවයි මෙන් රුවින් අසමානය. එහෙත් ප්‍රියංකා වෘත්තීය හැකියාවෙන් ඔලිම්පික් පදක්කම්ලාභී මේරිට මොන තරම් සමීප වී තිබෙනවාද?

මේරිගේ බාල පුතු පවා දුරකථනයෙන් සිනමාපටයේ දර්ශන දැක තමන් රැවටෙන බව ඇයට පවසන්නීය. ‘මගේ ඉරියවු, කොණ්ඩා මෝස්තරය, ඇඳුම් සියල්ල ප්‍රියංකා සියයට සියයක්ම අනුකරණය කර තිබෙනවා. සිනමාපටය මේ තරම් ලස්සනට නිර්මාණය වේවියි සිතුවේ නැහැ.

අන්තර් ජාතික ටොරොන්ටෝ සිනමා උළෙලේ ‘මේරි කොම්’ පූර්ව දර්ශනයට ද චරිතයේ සැබෑ උරුමක්කාරිය සහභාගි වන්නීය.

භාග් මිඛා භාග් (2013) සිනමාපටය ද සැබෑ චරිතයක් වටා නිර්මාණය වූවකි. මිඛා සිං නම් ඒ සැබෑ පුද්ගලයාට ලාබයෙන් පවුම් 1 ක් ගෙවා තිබේ. මේරිට ද එවැනි ලාබයක් ලැබෙන බවට රාවයක් පැතිර ගිය ද එහි කිසිදු සත්‍යයක් නැති බව මේරිට අනුග්‍රහය දක්වන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසන්නේය. මේරි කොම් චරිතය රිදී තිරයේ නිර්මාණය කිරීමට අවසර දීම වෙනුවෙන් පුංචි සන්තෝෂමක් පමණක් ඇයට දී තිබේ.

ප්‍රියංකා මේ දිනවල රංගනයෙන් දායක වන්නේ ‘දිල් දදක්නේ දෝ’ සිනමාපටයටයි. සිනමාපටයේ රඟන බොහෝ දෙනකුට මෙන්ම ප්‍රියංකාට ද වෛරස් උණ සෑදිණි. කාර්යබහුල දින චරියාව නිසා ඇය වරින් වර අඩු රුධිර පීඩනයට ද ගොදුරු වන්නීය. ‘වොට්ස් යුවර් රාශී?’ (2009) දර්ශන තලයේදීත් ප්‍රියංකා අඩු රුධිර පීඩනය නිසා රෝගී වී තිබේ.