වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




එයාට සැරට කෑම ඕනෑ ඊට පස්සේ කරදරයක් නෑ

එයාට සැරට කෑම ඕනෑ ඊට පස්සේ කරදරයක් නෑ

ධනංජයගේ පෙම්බරිය ශෂිනි සරසවියට කියන රහසක්

‘අපූරුවට කැපෙන යුවළ‘

ඔවුන් දෙදෙනා දකින බොහෝදෙනකුට සිතෙනු නොඅනුමානයි. ඒ යුවළෙන් ඒක අයෙක් රසිකයන්ගේ හදවත බැඳගත් සොඳුරු රංගන ශිල්පියෙක්. හේ ධනංජයයි. ඔහුගේ හදවත සොරකම් කළ ඈ ශෂිනි සිරිවර්ධන. සති කිහිපයකට පසුව ඈ ඩුබායි රටේ ඉඳලා හැකි ඉක්මනින් තමන්ගේ කැදැල්ල බලා පියාසර කළා. ඒ බොහොම බලාපොරොත්තු සිතේ පුරවාගෙන. ඇගේ ආදරණීයයාත් ඈ එනතුරු මඟ බලාගෙන සිටියා. ඈ වගේම බලාපොරොත්තු ගොන්නක් සිතේ ගුලි කරගෙන.

‘‘ශෂිනිත් සමඟ ගෙවුණු පසුගිය දින කිහිපය ගෙවීලා ගියේ බොහොම ඉක්මනට‘‘

ධනංජය කිව්වේ ශෂිනි දෙස බලාගෙනම.

‘‘ඒ කාලය අපි දෙන්නා බොහොම සතුටෙන් කාලය ගත කළා‘‘

ශෂිනිත්, ධනංජයගේ කතාවට තම අදහස් එකතු කළා.

‘‘අලුත ගෙනා මනාමාලියේ ඉතිං කොහොමද“

මා විමසුවේ ශෂිනිගෙන්.

‘‘අලුත ගෙනා මනමාලි දැන් ගොඩක් පරණයි. අපි විවාහ වෙලා මේ අගෝස්තු 08 වැනිදාට වසරක් ගතවුණා. මේ ජීවිතේ සොඳුරු ලෙස ගලා ගෙන යනවා. ඒවගේම මට මගේ වගේම අම්මා, තාත්තා දෙන්නෙක් ලැබුණා. ධනංජයගේ වගේම ඒ දෙන්නගෙත් සෙනෙහසට මැදිවෙලා ගෙවන කාලය තරම් සුන්දර කාලයක් මගේ ජීවිතයේ තවත් උදාවෙලා නැති තරම්. ඒත් එක්කම වගකීම් රැසක් අපේ ජිවිතවලට පැවරිලා.’’

‘‘වෙනදා තනියම සිටිය ජිවිතයට තවත් කෙනෙක් ඇවිල්ලා. ඇයව හඳුනාගෙන වසර නවයක් තරම් කාලයක්. ඒ කාලයේ ඈ මගේ පෙම්වතියයි. දැන් ඈ මගේ බිරියයි. ඒ වගකීම හැරුණු විට තවමත් අපි දෙන්නා සුපුරුදු විදියට කාලය ගත කරනවා. වගකීම් රැසක් අපි දෙන්නටම තිබුණත් ඒ ගැන එතරම්ම හිතන්නේ නැතුව, නමුත් ඒවා ඉටුකරමින් ගෙවෙන ජිවිතය අපූරුයි.’’

ධනංජය පවසන්නේ වගකීම් නොහඳුනා ගෙන නොවෙයි. හඳුන ගත්තත් ඒවා හැම තිස්සේම ඔළුවට අරගෙන සිටින එක සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයට බරක් නිසා.’

‘‘ජීවිතය සැලසුම් කරන්නේ දෙන්නත් එක්කමද’’

‘මම ගොඩක් වෙලාවට ලංකාවට එන්නේ ඉඳලා හිටලා. ඒ අතර කාලයේ ධනංජයටත් විවේකයක් ලැබුණු ගමන්ම ඩුබායි එන්නේ තටු ලැබුණු කුරුලලෙක් වගේ ඉගිලිලා. ඒ කාලය බොහොම විනෝදෙන් ගත කරන්න අපි අමතක කරන්නේ නැහැ. මගේ අතෙන්ම උයපු කෑම ටිකක් කන්න එයා ඉන්නේ බොහොම කැමැත්තෙන්. ලංකාවේ සිටියත් එයාගේ ඇඳුම් තෝරන්න ඇතුළු හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අතෙන්ම තමයි. ’’

‘‘මොනවගේ කෑමද ධනංජය වැඩි පුරම කන්න කැමැති’’

“එයාට සැරට තමයි කෑම වර්ග තියෙන්න ඕනෑ. හදලා දෙන ඕනෑම දෙයක් එයා කනවා. මට කිසිම කරදරයක් කරන්නේ නෑ’’

මා ධනංජය දෙසට හැරුණේ බිරිය උයන ඒවා කන්න පුළුවන්ද කියලා අහන්න. ඊටත් පෙර ඔහු ඒ කාරණය හැඳීන ගෙන වගේ පිළිතුරු බැන්ඳා.

‘බිරින්දෑ විවාහ කර ගන්න පෙර මම කෑවේ අම්මාගේ අත්ගුණයෙන් උයපුවා. ඒ කෑම බොහොම රසයි. ඊට පස්සේ මම රසට කෑවානම් කෑවේ මගේ බිරින්දෑ උයපු කෑමයි. ඈටත් අපේ අම්මා වගේම රසට උයන්න හැකියි. ඒ ගැන මට ආඩම්බරයි.“

මේ අතර වාරයේ ශෂිනිගේ මුහුණට නැඟුණෙ අපුරු සිනහවක්. ඒ සිනාවේ මොකකදෝ දෙයක් හැංගිලා කියලා මට සිතුණා.

‘‘ ඒ ශෂිනිගේ සිනාව නැඟුණේ වෙන මොහොකටවත් නොවෙයි. එයා හැදුව කේක් එක ගැන මතක් වෙලයි. පසුගිය දවසක එයා කේක් එකක් හැදුවා. ඒක බේක් කළේ අලුත් අවන් එකක. දන්නේම නැතිව අවසානයේ කේක් එක කරවුණා. අන්තිමට ඉතිං මම කරවුණු කේක් කෑල්ලක් තමයි කෑවේ. නැත්නම් ශෂිනිගේ සිතට අප්සට් නේ“

ධනංජය සිහිපත් කළේ ශෂීනිට වුණු ඇබැද්දියක්.

‘‘ඇගේ මොනවගේ ගතිගුණ ද ඔබ අගය කරන්නේ.’’

‘‘ඇගේ ළග තිබෙන ගතිගුණ ගැන කියන්න ගියොත් මට කොළ කිහිපයක්ම ඕනෑ වේවි. කොහොම නමුත් ඈව මට දැනෙන ආකාරය ගැන මම මෙහෙම කියන්නම්. ඒ ඈ ළඟ තිබෙන සුවඳ හැමදාමත්ම මට දැනෙන වගයි. ඒ ජීවන සුවඳ ජීවිත කාලයේම මා ළඟ තිබේවි කියලා මා සිතනවා. ඈ මා ළඟ නැති වුණත් ඇගේ සුවඳ මට තනි රකිනවා. ඒ නිසා තනිකමක් දැනෙන්නේ නැහැ.’’

ඩුබායි රටේ එමිරේට් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් මෙහෙය වන නායිකාවක් විදියට ශෂිනි කටයුතු කරන්නේ ධනංජයගේ කැමැත්තත් ඇතිව.

“හැමදාම පියාසර කරමින් ඉන්නද කල්පනාව”

“ධනංජය එදා ඉදලම මගේ සිතේ ගුවන් සේවිකාවක් වෙන්න තිබුණු ආශාවට ඇහුම්කන් දුන්නා. ඉතිං ඒ නිසා කාලයක පටන් මා ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනවා. මේ හැමදේම නවත්තලා විවේකයක් ගැනීමට සුදුසුම කාලය ඇවිදින් කියලා මා සිතනවා. ඒ අනුව ටික දවසකින් රැකියාවෙන් ඉවත් වී ලංකාවේම නවතින්නත් අදහසක් ද තිබෙනවා. ඒක ඉදිරියේදී ක්‍රියාවට නැගේවි.’’

“මොකද එහෙම හිතන්නේ?”

“දැන් අපේ කැදැල්ලට තුන්වැන්නෙක් අරගෙන එන්නත් කාලය හරි. ඒ වගේම ළඟදීම කොළඹ පදිංචියට එන්නත් අපි දෙන්නා හිතාගෙන ඉන්නවා. ඒක මේ වසර අවසාන වන්නට පෙර සිදුවේවි”

ධනංජයගේ ස්වරයත් සමඟ නැඟුණු ස්ථීර සාර බව ස්ථීරයි. ‘රතු අහස’ ‘බ්‍රහ්ම මූර්තිය’ වගේ ටෙලි සිත්තම් ඔස්සේ රසික හදවතට අමතන ධනංජයගේ රංගනය ගැන ශෂිනි කියන්නේ මොනවද?

“මම ධනංජයව හඳුනා ගන්නා විට ඔහු මෙතරම් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. හය හතර නොතේරෙන කාලයේ ඇතිවුණු ආදරය නිසාම ඔහු ප්‍රේමවන්තයගේ චරිතය කරන කාලයේ මගේ සිතේ පුංචි තරහක් ඇති වුණු අවස්ථා නොතිබුණා නෙවෙයි. ඒ හැම වෙලාවෙම මා විමසුවේ ඇයි ඔයා එයාට ගොඩක් ළං වුණේ කියලා. ඒත් ඔහු ඒ ගැන පැහැදිලි කළාට පස්සේ ප්‍රශ්නය විසඳුනා. ඒත් ඊට පස්සේ රඟපෑව චරිත ගැන මම දැන් ඔහුගෙන් අහන්නේ ඇයි ඔයාට ඒ ප්‍රේම චරිතයේදී ඊටත් වඩා දෙයක් කරන්න තිබුණා නේද කියලයි. ඒ නිසා අපි දෙන්නට දෙන්නාගේ අවබෝධය උපරිමයෙන් තිබෙනවා.”

ධනංජය ශෂිනිව තුරුලු කර ගත්තා. ඒ අතර මාලන් අයියාගේ කැමරාවේ ඒ අපූරු දසුන් කැමරා ගත වුණා. මේ අපූරුවට කැපෙන යුවළට සමුදුන්න අපි සෙමෙන් සෙමෙන් පිය නැඟුවා. ඒ සරසවියට.