වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




දහදිය සිත්තම ඇඳි හසෝදන

දහදිය සිත්තම ඇඳි හසෝදන

හසෝදන ප්‍රභාෂ්වර කොටුගොඩ කලා ක්ෂේත්‍රයට වසර විසි පහක පමණ කාලයක් පුරාවට දායකත්වය ලබා දෙන කලා ශිල්පියෙක්. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට ක්ෂේත්‍රය තුළ වගේම නිදහස් ලේඛකයෙක් ලෙසත් කලා ලොව සිය හැකියාවෙන් ඔප කරන හසෝදන ප්‍රභාෂ්වර නිවේදකයෙක් ලෙසත් කා අතරත් ජනප්‍රියයි.

හසෝදන ඒ වෙනුවෙන් පසුගිය දවසක ඇගැයීමටත් ලක් වුණා නේද?

ඒ ගැන හරිම සතුටුයි. පොඩි කාලේ ඉඳලාම මම නිවේදන කටයුතුවලට දායකත්වය ලබා දෙනවා. හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මම නිවේදන කටයුතු කරනවා. මගේ ඒ හැකියාව තමයි පසුගියදා ඇගැයීමට ලක් වුණේ. 2013 වසරේ ‘දහදිය සිත්තම’ වැඩ කරන ජනතා කලා උළෙලේ දී නිවේදන අංශයේ ප්‍රථම ස්ථානය මට හිමි වුණා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව තමයි එය සංවිධානය කළේ.

ඔබ කලා අංශයේ අංශ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා?

වේදිකා නාට්‍ය සඳහා මම සම්බන්ධ වුණේ වසර විසි පහකට පමණ ඉහතදීයි. පරාක්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවී’, ජයලාල් රෝහණගේ ‘ ලෝකා’, උදිත ගුණරත්නගේ ‘අවමානව’, අරුණ ගම්මුණිගේ ‘සුරපුර’ වැනි නාට්‍ය ගණනාවකටම දායකත්වය ලබා දුන්නා. ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්ෂේත්‍ර සඳහා දායක වුණේ කලා අධ්‍යක්ෂණයෙන්. ‘රණ හංසි’, ‘සීතල ගිනි කඳු’ චිත්‍රපට සඳහා දෙවන සහාය අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළා.

ඒ වගේම දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් ලේඛකයෙක් විදියට කටයුතු කරනවා.

ඔබ වෘත්තිමය කලාකරුවෙක් විදියට ද කටයුතු කරන්නේ?

කලා කටයුතුවලට මම ගොඩක් ළැදියි. ඒ වුණත් මම දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. මගේ බිරිඳ දිල්හානි සුරංජි. ඇය නිසා තමයි මට රාජකාරි කටයුතුª වගේම කලා කටයුතුත් සාර්ථකව කරගෙන යන්න ශක්තියක් වෙන්නේ.

ඉදිරිය කොහොමද සැලසුම් කරලා තියෙන්නේ?

නිවේදන අංශයෙන් තවදුරටත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවස්ථාවක් ලැබුණොත් රංගන ක්ෂේත්‍රයේත් ඉදිරියට යන්න කැමැතියි. 0775291699 මගේ දුරකථන අංකයයි. ඊට අමතරව මම දහම් පාසල් මට්ටමෙන් ළමුන්ට නිවේදන පුහුණුවීමත් කරගෙන යනවා. ඒ තුළින් තවත් දක්ෂයන් රැසක් බිහි කරන්නට මම බලාපොරොත්තු වෙනවා.