වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ ද ලක්‍ෂපති නැත්නම්.......?

ඔබ ද ලක්‍ෂපති නැත්නම්.......?

ඩැනී බොයිල් නමැති සම්මානනීය සිනමාකරුවා ගේ ‘ස්ලම් ඩෝග් මිලියනර්’ නමැති විශිෂ්ට ගණයේ චිත්‍රපටය පසුගිය සතියේ මම යළිත් වතාවක් නැරැඹුවෙමි. ඒ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ බැවිනි. මේ චිත්‍රපටය මුල්වරට නැරැඹූ 2008 වසරේදී ද චිත්‍රපටයෙන් මා අතිශය තෘප්තියක් ලැබුව ද එම චිත්‍රපටයට පාදක වූ තරගය පිළිබඳ කිසිදු ආකාරයක දැනුමක් එකල මට නොවීය.

එහෙත් ඒ අවධියේම මගේ මිත්‍රයෙක් මේ තරගාවලිය පිළිබඳ මා දැනුවත් කරන්නට යෙදුණි. එය 1998 වසරේදී බ්‍රිතානයෙහි දී ආරම්භ වුණු අතිශය ජනප්‍රිය රූපවාහිනි වැඩ සටහනක් වන ‘එඩධ එචදබඵ බධ ඡඥ ච ර්ඪතතඪධදචඪපඥ’ නමැති ටෙලිවිෂන් දැනුම මිනුම වැඩසටහන බවය. ඩේවිඩ් බ්‍රිජස්, ස්ටීව් නයිට් හා මයික් වයිට්හිල් යන තිදෙනාගේ එකමුතුවෙන් ඇරැඹි මේ වැඩසටහන පළමුව සෙලඩෝර් සමාගම මඟින් ද, දෙවනුව සෝනි පික්චර්ස් ටෙලිවිෂන් සහ ‘ටු වේ ට්‍රැෆික්’ යන සමාගම් මඟින් ද නිපදවනු ලැබිණි. එමෙන්ම ඉහත කී සමාගම්වල අයිතිය යටතේ ඒ ලොවපුරා බොහෝ රටවල විවිධ නම් යටතේ ප්‍රති නිෂ්පාදනය කෙරිණ. කොටින්ම එය ලෝකයේ රටවල් 86 ක භාෂා 97 කින් ප්‍රති නිෂ්පාදනය වී විකාශය වන්නකි. ශ්‍රී ලංකාවේදී එය ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’ යනුවෙන් සිංහලෙන් ද, දෙමළ බසින් ‘උන්ගලි යාර් මහා ලක්ෂාධිපති’ සහ ඉංග්‍රීසියෙන් ‘හූ වෝන්ට්ස් ටු බී මිලියනර්’ වශයෙන් විකාශය කෙරෙයි. ඒ සිරස ප්‍රමුඛ ර්ඊඍ මාධ්‍යය ජාලය ඔස්සේය.

ඉන්දියාවේදී එය භාෂා අටකින් නිර්මාණය වන අතර හින්දි බසෙන් නිර්මාණය වන ‘කවුන් බනේගා ක්‍රෝර්පති’ වැඩසටහන මෙහෙයවනු ලබනුයේ සුප්‍රකට නළු අමිතාබ් භච්චන්ය. එම වැඩ සටහනේ අලුත්ම වටය පසුගිය ඉරිදා ඉන්දියාවේ සෝනි චැනලය මඟින් උත්සවශ්‍රීයෙන් විකාශය අරඹනු ලැබිණි. අපේ ලක්ෂපති වැඩසටහන පළමුව සුප්‍රකට නළු ලකී ඩයස් විසින් ද වර්තමානයේදී චන්දන සූරිය බණ්ඩාර ද මෙහෙයවනු ලබයි. ලොව පුරා මේ තරග මාලාව ඒ ඒ රටවලට ආවේණික සුළු වෙනස්කම් හැරුණු විට මුළු ලොව පුරාම විකාශය වනුයේ එකම රීතියක් අනුවය. එමෙන්ම එය මිනිස්සුන්ගේ වාසනාව උරගා බලන හුදු ලොතරැයියක් නොවේ. එය තමා සතු කියවීමේ, සොයා බැලීමේ නැතහොත් සහතිකයකට සීමා කළ නොහැකි අසීමිත දැනුම සොයා යන අපූර්ව වැඩ සටහනක් වෙයි.

මෙරට ගුවන් විදුලිය පමණක් මුල් බැසගෙන තිබූ අවධියේ එනම් මගේ ළමා වියේදී මා සිත්ගත් වැඩසටහන් කිහිපයක් මතකයේ නිදන්ව ඇත්තේය. ඒ අතර ‘ගුරුගේ මැණික් වාසනා උදාව’, ‘දැනුමයි මිනුමයි’, ‘පුළුවන් නම් දිනා ගන්න’ වැනි වැඩසටහන් අතිශය අසීමිත ශ්‍රාවක ප්‍රතිචාර ලැබූ ඒවා විය. අද මෙන් දැනුම සුලබව සොයා ගත නොහැකි එකල ඒ වැඩසටහන් අප වැනි දරුවන්ගේ සාමාන්‍ය දැනීම දියුණු කිරීමට මහෝපකාරී වූ බව එදා ඒ වැඩසටහන් නිර්මාණය කළ මිනිසුන්ට ගෞරවයක් ලෙස ප්‍රකාශ කළ යුතුය.

දැනුම සුලබ මෙකල ලක්ෂපති වැනි වැඩසටහන් දැනුම පුළුල් කරන්නට පමණක් නොව ඒ පිළිබඳ තක්සේරුවක යෙදෙමින් අපූර්ව තරගාවලියකට ද අප පොලඹවනු ලබයි. මා ටෙලිවිෂන් යන්ත්‍රයට ප්‍රිය කරන්නේ එය චිත්‍රපට නැරැඹීම සඳහා තිබෙන හොඳම විකල්ප මාර්ගය ලෙස සලකන බැවිනි. බොහෝ සම්මුඛ සාකච්ඡා, වාද පිටි, ඕලාරික ටෙලි නාට්‍ය ද නිසා ටෙලිවිෂනයේ විකාශය වන බොහෝ වැඩසටහන් නැරැඹීම අතහැර දමා කලක් ගත වී ගොසිනි.

සමස්තයක් ලෙස ටෙලිවිෂන් යන්ත්‍රයට විනා එහි විකාශය කරනු ලබන බොහෝ වැඩසටහන් ගැන මගේ වැඩි ආදරයක් නැත. එබැවින්ම ඒ බොහෝ දේට මා ඇබ්බැහි වීද නැත. එහෙත් ටෙලිවිෂනයේ මා අතිශය ප්‍රිය කරන වර්තමාන වැඩසටහන වී ඇත්තේ “ඔබ ද ලක්‍ෂපති මම ද ලක්‍ෂපති” වැඩසටහනය. මේ වැඩසටහන කෙරෙහි මගේ බැඳීම කෙතරම්ද යත් සිකුරාදා රාත්‍රී 9.00 ට එය විකාශය වන කාලය ඇතුළත වෙනත් කිසිදු රාජකාරියක් සඳහා සහභාගි වන්නේ නැත. යම් හෙයකින් එසේ කළ නොහැකි වී නම් ඉන්පසුව හෝ අදාළ වැඩසටහන නැරැඹීමට තරම් මම ඊට බැඳී සිටිමි.

එයට පෙර ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශය කළ සම්මානනීය නළු රවීන්ද්‍ර රන්දෙණිය විසින් මෙහෙය වන ලද ‘මයින්ඩ් ස්ටාර්’ වැඩසටහන ද එබඳුම මගේ පි‍්‍රයතම වැඩසටහනක් වූයේය. එහෙත් එහි අනුග්‍රාහක භවතුන් විසින්ම එය අකාලයේ මරා දැම්මේය. ලක්‍ෂපති වැඩසටහන පිළිබඳවද එබඳුම කාරණාවක් සිදුවෙමින් පවතී. එනම් එය මේ වර්තමාන වැඩසටහන් මාලාවෙන් පසු නතර කෙරෙන බව දැනගන්නට ලැබීමය. හැමදාම එකාකාරී වැඩසටහන් ටෙලිවිෂනයේ හෝ කවර මාධ්‍යයක හෝ පැවැතිය යුතු යැයි මා විශ්වාස කරන්නේ නැත.

එහෙත් වර්තමානයේ දී මෙරට සියලු ටෙලිවිෂන් මාධ්‍යයන් සිය වැඩසටහන් බහුතරයක් ගොඩනංවනුයේ මිනිසුන්ට කාලකණ්නි දසාවක් ඉස්මතු කරවමිනි. ටෙලිවිෂන් නරඹන ප්‍රේක්‍ෂකයා පිළිබඳ තීරණය ගනු ලබනයේ ඒවායේ හිමි කරුවන් හෝ වැඩසටහන් නිෂ්පාදකවරුන් නොව අලෙවි නිර්ණායක සැපයුම් කරුවන් ය. ඔවුන් බොහෝ විට මවා පෙන්වා දෙන්නේ මෙබඳු වැඩසටහන් ජනපි‍්‍රයත්වයෙන් හීන ඒවා බවය. මාර්ක් ට්වේන් නම් අග්‍රගණ්‍ය සාහිත්‍යකරුවා වරක් පවසා සිටියේ ලෝකයේ මුසාවන් තුන් වර්ගයක් ඇති බවය. මේ තුන් වර්ගයේ බොරු වනුයේ පොඩි බොරු, ලොකු බොරු සහ සංඛ්‍යා ලේඛන යන්නය. ට්වේන්ගේ මතයට මා එකඟ වන්නේ බොහෝ මාර්කටින් රිසච් කරන ඇත්තන් මගේ මිත්‍රයන් බැවිනි.

අවාසනාව නම් කවර හෝ තත්ත්වයක් යටතේ වුව ද හොඳ දේ වර්ධනය නොවීමයි. ගොයම් පැළ පීදෙනවාට වඩා ඉක්මනින් වල් පැලෑටි පැතිරීම සාමාන්‍ය සිරිතකි. ‘ලක්‍ෂපති’ හෝ ‘මයින්ඩ් ස්ටාර්’ අනුකරණය කරන්නට කිසිවකු හෝ උත්සුක නොවූවද වෙනත් වැඩසටහනක් කොපි ගසන්නේ එබෝලා පැතිරෙනවාටත් වඩා වේගයෙනි.

මෙරට ලක්‍ෂපති වැඩසටහන් මාලාවේ මා දුටු අපූර්වත්වය නම් එහි දිනන්නට වාසනාවක් මෙන් දැනුමද ප්‍රධාන වශයෙන් පිහිටිය යුතු බවය. වාසනාව නිසා කනා ෂොට් එල්ල කොට තරමක් හෝ ප්‍රගතිය පෙන්වන ඇත්තෝ එහි සිටිති. එහෙත් දැනුම මිටි කොට පැමිණෙන්නෙක් එහි ‘හොට් ෂීට්’ එකෙහි අසුන් ගත් පසුව ඇඟට නොදැනෙන උණුසුමක් නරඹන ප්‍රේක්‍ෂකයාට ලැබෙන බවය. පවුලේ සෑම කෙනෙක්ම ස්වකීය දැනුම මිනුම අනුව ටෙලිවිෂන් යන්ත්‍රය ඉදිරියේ වුවත් තරග වදිති. ශෝකජනක සිදුවීම නම් විභාග සහතික කරපින්නා ගත් බොහෝ දෙනෙකු ගේ සාමාන්‍ය දැනුම තඹ දොයිතුවක් හෝ අගය කළ හැකි මට්ටමක නොතිබීමය.

අපේ සිනමාව සම්බන්ධයෙන් ද වඩා හොඳ නිර්ණායකයන් දැන ගැනීමට ලක්‍ෂපති කදිම වැඩසටහනක් වූයේය. ඒ අපේ සිනමාව සම්බන්ධ බොහෝ දෙනාගේ දැනුම ඉතා අල්ප බැව් ඒ වැඩසටහන් කිහිපවරක්ම පෙන්වා දී ඇති නිසාය. එනම් සිනමාව සම්බන්ධ සාමාන්‍ය මිනිසුන්ගේ ඇති උනන්දුව හෙමින් දිය වන බවය. ලක්‍ෂපතියෙහි කෙළවර ඇත්තේ මුදල් ත්‍යාගයක් දිනා ගැනීමය. සාපේක්‍ෂව ගත් කල එහි ඇති මුදල ස්ටාර්ස්ලාට ලැබෙන තෑගි මුදල හා සසඳද්දී ලොකු ගණනක් නොවේ. වර්තමාන සමාජයේ දැනුම යනු ප්‍රාග්ධන සාධකයකි.

එහිදී ඒ දැනුම මිල කිරීම කිසිසේත්ම වරදක් නොවේ. එහෙත් ඒ දැනුම ලබාගත හැක්කේ බලහත්කාරයෙන් නම් නොවේ. දැනුම යනු අප වටා ඇති දෙයකි. ලෝකය පිළිබඳ අපගේ අවධානය දැනුම ලෙස මතකයෙහි තැන්පත් වේ. ‘ස්ලම් ඩෝග් මිලියනර්’ චිත්‍රපටයේ ජමාල් මෙන්ම පසුගිය ලක්‍ෂපති වැඩසටහනක ලක්‍ෂ 10 ක් ලැබූ චන්දිමා පතිරගේ නම් දිරිය කාන්තාව ද ප්‍රේක්‍ෂකයා ඉදිරියේ සනිටුහන් කළේ එකී ධර්මතාවයි. දැනුම යනු සහතිකයකට සීමා කරන්නක් නොවන වග වටහා දිය යුත්තේ ළමා වියේ දීමය. අවාසනාව නම් ටෙලිවිෂනය ගැන යක්ෂයාගේ යන්ත්‍රය යැයි මොරදෙන වැඩිහිටියන් කුහකත්වයෙන් යුතුව මෙබඳු වැඩසටහන් අගය නොකිරීමය. එබඳුම ස්ටාර්ස්ලා වීරයන් කොට පෙන්වන මවුපියන් තම දරුවන් වැඩසටහන් නැරඹීම කෙරෙහි යොමු කරන්නේ කලාතුරකිනි.

අපගේ බොහෝ පාඩම් මාලා ගැබ්ව ඇත්තේ විභාගයකට කරුණු ලියන්නට පමණක් යැයි පවසන්නේ මා නොවේ. රට පිළිගත් අධ්‍යාපන විශේෂඥයන්ය. ළමා වියේ බාල ස්ටාර්ස්ලා නිර්මාණය කොට ඔවුන්ගේ මුළු අනාගතයම අඳුරු කරන වැඩසටහන්වලට මවාදෙන ජනපි‍්‍රයත්වය ලක්‍ෂපති හෝ මයින්ඩි ස්ටාර් වැඩසටහනකට ලබාදෙනු මා දැක නැත. ස්ටාර්ස්ලාට ලබාදුන් මාධ්‍ය ඉඩකඩ චන්දිමා ලබාගත් දැනුමෙහි ගෞරවය වෙනුවෙන් වෙන්කර දෙන්නට අපේ බොහෝ මාධ්‍ය මඟින් කටයුතු කළේ නැත. ඇය තරගයට මුහුණ දුන් අයුරුත්, ඇය දැනුම ලබාදුන් අයුරුත්, ඇය ජීවිතයට මුහුණ දෙන අයුරුත් අතිශය ආදර්ශය බව මගේ හැඟීමය. ලක්‍ෂපති වැඩසටහන ඔස්සේ ඉස්මතු කරන එක් කාරණයක් නම් ජීවිතය දිනන්නට මිනිසුන්ට ඇති හැකියාව පිළිබඳය.

අවසාන වශයෙන් ලක්‍ෂපති මෙහෙය වන මා හිතවත් චන්දන සූරියබණ්ඩාරට එක් දෙයක් කිය යුතුය. ‘මයින්ඩ් ස්ටාර්’ වැඩසටහන ට මෙන් ‘ලක්‍ෂපති’ වැඩසටහනට අකල් මරණයක් උරුම කර නොදිය යුතු බවය. ‘ලක්‍ෂපතිය’ මිනිසුන්ගේ දැනුම සමඟ ගනුදෙනු කරන ගෞරවණීය වැඩසටහනක් හෙයිනි. තොග ගණනේ විදේශීය වැඩසටහන් අනුකරණය කරන ටෙලි විෂන් මාධ්‍ය ඇති රටක එසේ අනුකරණය ලද අග්‍රගණ්‍ය වැඩසටහනක ගෞරවය හා උණුසුම තවත් කලක් පවත්වාගෙන යෑම යුතුකමක් පමණක් නොව පින්කමක් යැයි එහි වටිනාකම දන්නා චන්දනට අමුතුවෙන් කිව යුතු නැත.