වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාව මත මේ රඟ දෙන්නේ යෞවනයන්ගේ සිහිනයයි

වේදිකාව මත මේ රඟ දෙන්නේ යෞවනයන්ගේ සිහිනයයි

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ නවතම කර්තව්‍ය වන්නේ බ්ලැක් බොක්ස් යොවුන් නාට්‍ය උළෙලයි. මෙම නාට්‍ය උළෙල මේ මස 27, 28, 29 දිනවල පස්වරු 3.00ට සහ 7.00ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

නූතන ජර්මානු යොවුන් නාට්‍ය නිෂ්පාදන ත්‍රිත්වයක් රැගත් මේ නාට්‍ය උළෙලේ දී එළි දැක් වෙන්නේ යෞවනයන්ගේ සිත් හි කාලයකට පටන් රැඳී සිහිනයකි. එහි අධ්‍යක්ෂවරු වන ශමික දිල්හාන් සහ රෙජී චන්දිම තම සිත් රැඳි සිහිනය පිළිබඳ මෙසේ කියති.

බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙලේ දී වේදිකා ගතවන නාට්‍ය මොනවාද?

‘ඔබ සහ මම’, ‘කැම් ඇන්ඩ් ප්‍රෙඩා’, ‘බොක්සර්’ කියන වේදිකා නාට්‍ය ත්‍රිත්වයයි මෙහිදී වේදිකා ගතවෙන්නේ. ‘ඔබ සහ මම’ කියන්නේ  Ingeborg Von Zadow’s ගේ ‘Me & You’ කියන නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. එය අධ්‍යක්ෂණය කරන්නේ ඩී.කේ. ආටිගලයි. ‘කැට් ඇන්ඩ් ප්‍රෙඩා’ කියන්නේ Katte & Freadha නාට්‍යයේ පරිවර්තනයක් වන අතරම එය අධ්‍යක්ෂණය කරන්නේ ශාමික දිල්ශාන්.

අනෙක් නාට්‍ය වන්නේ Lutz Hübner ගේ The Hart of Boxerනාට්‍ය ඇසුරෙන් රෙජී චන්දිම කරන ලද බොක්සර් නාට්‍යයයි. මේවා පිළිවෙළින් 27,28,29 කියන දිනවලදී වේදිකා ගත කිරීමට නියමිතයි. මේ සියලුම නාට්‍ය ජර්මානු නාට්‍ය ආශ්‍රයෙන් කරන ලද පරිවර්තනයි. යොවුන් නාට්‍ය නිෂ්පාදන ලෙසින් කරළියට පිවිසෙන අපගේ මේ කුළුදුල් සිහිනය එළි දකිනතුරු අප සිටින්නේ නොඉවසිල්ලෙන්. ඒ වගේමයි මේ නාට්‍ය ත්‍රිත්වය අපට ලෝකයේ ඕනෑම රටකට ගිහින් පෙන්වීමට හැකි අවසරය ලැබීමත් අප දකින්නේ යම් වාසනාවක් ලෙසයි.

ප්‍රොසීනියම් වේදිකාවත් සමඟ ගනුදෙනු කළ අධ්‍යක්ෂකවරයෙකුට බ්ලැක් බොක්ස් වේදිකාවත් සමඟ ගනුදෙනු කිරීම පහසුද?

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ප්‍රොසීනියම් වේදිකාව මත කෙරෙන රංගනයක් නරඹන්නයි. නමුත් බ්ලැක් බොක්ස් වේදිකාවේදී ප්‍රේක්ෂකයා හා රංගය අතර ඇති හිඩැස අවම කිරීමක් සිදු වෙනවා. එතනදි අපි කරන දේ ප්‍රේක්ෂකයාට සමීපව දැනෙනවා. රංගනයේදී අපි භාවිත කරන්නේ රඟ නොපා රඟපෑම කියන නන් ඇක්ටින් මෙතඩ් එකයි.

නළු නිළියන්ට හා ප්‍රේක්ෂකයන්ට මේ ක්‍රමය අලුත්ම අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි අධ්‍යක්ෂකවරු විදියට අපිටත් ඒක අලුත් අභියෝගයක් වුණා. මේ ප්‍රේක්ෂාගාරයක ඉන්නේ ප්‍රේක්ෂකයන් සියයක් පමණයි. එතනදි අපට තිබුණේ මෙතෙක් කල් ප්‍රොසීනියම් වේදිකාවත් සමඟ කටයුතු කළ අයව කොහොමද බ්ලැක් බොක්ස් වේදිකාවට රැගෙන එන්නේ කියන අභියෝගයයි. ඒ වගේම මේ නාට්‍යවලට අප නළු නිළියන් තෝරා ගන්නේ වැඩමුළුවක් තියලා. ඔවුන්ව මේ වේදිකාවට අනුගත කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ. අවසානයේ අපට තරමක් හෝ ඒ පිළිබඳ ජයක් අත්කර ගැනීමට හැකි වූ බවක් සිතෙනවා. අනෙක් කාරණය වෙන්නේ අධ්‍යක්ෂණය කියන්නේ නුහුරු නුපුරුදු කාර්යයක් වීමයි.

ජර්මානු නාට්‍ය පමණක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?

ලංකාවේ ඉන්න අපට ලෝකයක් සමඟ ගනුදෙනු කරන්න හැකි වෙන්නේ සෆීර් සර් නිසා. ඒ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලත් සමඟයි. ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඒ අයගේ නාට්‍ය පිටපත් තරුණයන්ට ලබා දෙන්නේ මේ හරහායි. අපේ ගුරුතුමා තීරණය කරනවා ඒ පිටපත් අපට ලබා දෙන්නට . ඒ විදියටයි ජර්මානු නාට්‍ය අපට ලැබෙන්නේ. අධ්‍යක්ෂණය ගැන සිහින දකිමින් සිටි අපට මේ තීරණය අපූරු අවස්ථාවක් උදා කළා.

ඒ වගේම මේ නාට්‍ය පිටපත්ම තෝරා ගැනීමට හේතු වුණු අනෙක් කාරණය වෙන්නේ නාට්‍ය පුහුණුවීම් මධ්‍යස්ථානයයි. අද වනවිට ලංකාවේ නාට්‍ය පුහුණු වීම් කරන්න ස්ථානයක් නොමැති අවස්ථාවක පුහුණුවීමේ මධ්‍යස්ථානයක් විදියට වගේම නාට්‍ය උළෙල තැබීමටත් නොමිලේ ලබාදුන් අවස්ථාව සත්‍ය ලෙසම අගය කළ යුත්තක්. සෆීර් සර් මේ ස්ථානයත් සමඟ වසර දාහතරක් සමඟ කරන ගනුදෙනුව ඔස්සේ ලැබෙන ප්‍රතිලාභවලට ඔහු අපට යොමු කරනවා. ඔහු මේ නාට්‍ය උළෙල හරහා පසු පෙළක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම තරුණ පරපුරට අතදීමක් ලෙසයි මේ කටයුතු කෙරෙන්නේ.

කොහොමද මේ නිර්මාණ අපේ සමාජය හා ගැළපෙන්නේ?

මේ නාට්‍ය ත්‍රිත්වයෙන්ම කතාබහට ලක්වෙන්නේ තරුණ ගැටලු පිළිබඳයි. අද බොහෝ විට නොවන දෙයක් ලෙස මා දකින්නේ තරුණයන් හා ඔවුන්ගේ ගැටලු ඉලක්ක කර ගනිමින් නිර්මාණ බිහිවීමයි. ඒ නිසා මේ නිර්මාණ කුමන රටකට අයත් වුවත් අපව නියෝජනය කිරීමම අපගේ සමාජයට ගැළපීමට ඇති මූලික හැකියාව ලෙස දකිනවා. අවසානයේ අපට කියන්නට තිබෙන්නේ එන්න අප සමඟ එකතුවෙලා යෞවනයන්ගේ ගැටලු පිළිබඳ කතා කරන යොවුන් නාට්‍ය උළෙල නරඹලා අලුත් අත්දැකීමක් විඳගන්න කියලයි.