වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




එතන කරණම් ගහන්න බැරි බව මට තේරුණා

එතන කරණම් ගහන්න බැරි බව මට තේරුණා

සුනිල් පෙරේරා

අසංක දේවමිත්‍ර පෙරේරා සමඟ විවෘත කතාබහක...

ගී පද රචකයන් වෙනුවෙන් අඛණ්ඩ මාසික වැටුපක් ගෙවන ගායන ශිල්පීන් හෝ සංගීත කණ්ඩායම් ලොව ඇතත් අපේ මේ පුංචි රටේ එබඳු කලා ශිල්පියකු මා දන්නා තරමින් සිටින්නේ එක් අයෙකු පමණි. ඒ අන් කිසිවකුත් නොව සුනිල් පෙරේරාය. නැතහොත් ජිප්සීස් සුනිල්ය.

සුනිල් හා ජිප්සීස් තරම් විචාරකයන්ගේ ඇනුම් බැනුම්වලට ලක් වූ,විවේචන එල්ල වූ ගායකයකු හෝ සංගීත කණ්ඩායමක් ගැන ද මා අසා නැත. එහෙත් ‘ජිප්සීස්’ලා ඒවා විඳ දරා ගත්තේ සිනහමුසු මුහුණෙනි. එපමණක් නොව තමන්ව පතුරු ගැසූ විචාරකයන්හට තෑගි බෝග ලබා දීමට තරම් ඔවුන් කාරුණික විය. ‘ජිප්සීස්’ලාගේ හැටි එහෙමය. ගල් මුගුරු පහරින් අඩුවක් නොවූ අපේ සංගීත ලොවේ ඵල ඇති රුක ඔවුන්මය.

ජිප්සීස් පිළිබඳ නැවත සමාජයේ කතාබහක් ගොඩ නැඟී ඇත්තේ ‘කොත්තමල්ලි’ ගීතයත් සමඟිනි. එය මේ වන විට බාල, තරුණ, මහලු කොයි කාගේත් මුවඟ රැව් දෙන ජනප්‍රිය ගීතයක් වී තිබේ. සුනිල් පෙරේරා අද අප ‘සරසවිය’ මැද පිටු අතරට කැඳවා ගත්තේ එවන් පසුබිමක් තුළ වුව ද එය ‘කොත්තමල්ලි’වලට එහා ගිය විවෘත කතාබහකි.

‘කොත්තමල්ලි’ නිසා ‘ජිප්සීස්’ ආයෙත් ජනප්‍රිය වුණා නේද?

ඔව්. ‘කොත්තමල්ලි’ ගීතය විවිධ තරාතිරමේ අපේ රසික, රසිකාවන් ආදරයෙන් වැළඳ ගත්තා. ජිප්සීස්ලා ක්ෂේත්‍රයට ඇවිත් ලබන අවුරුද්ද වෙන කොට අවුරුදු හතළිස් පහයි. ඒක හැකියාවට වඩා වාසනාවක් විදිහටයි මම හඳුන්වන්නේ. කොච්චර හැකියාවක් තිබුණත් පින කියන එක නැතිනම් කෙනකුට ඉදිරියට යන්න අමාරු වෙනවා. කරදර වෙනවා. පින තිබුණොත් ඒවා මග හැරෙනවා. දැන් මම එහෙම ලොකු දක්ෂතා ඇති පුද්ගලයෙක් නෙමෙයි.

ඔබනේ එහෙම කියන්නේ?

මට වැඩිය දක්ෂතා තියෙන ළමයි ඉන්නවා. ඔය දෙරණ ඩ්‍රීම් ස්ටාර්, සිරස සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝවල අය අපට වැඩිය දක්ෂයි. නමුත් ඔවුන්ට ඉදරියට යන්න ශක්තිය ලැබෙයි ද කියලා අපට දැන්මම කියන්න බැහැ. පින තියෙනවා නම්, වාසනාව තියෙනවා නම් දක්ෂතාවත් එක්ක ඉදිරියට යන්න පුළුවන් වෙයි.

ආරම්භයේ පටන්ම ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නොයෙක් කඩඉම් ගීත තිබුණා. ‘ළිඳ ළඟ සංගමය’, ‘නෝනෙ මගෙ සුදු නෝනේ’, ‘කුරුමිට්ටෝ’, ‘දැන දැන වැරැදි කරනවා’, ‘ලුණු දෙහි’, ‘සිංඤොී්රේ’, ‘අයි ඩෝන්ට් නෝ වයි’ වැනි ගීත. නමුත් ‘කොත්තමල්ලි’ එහෙම ගීතයක් නොවෙයි නේද?

ඒ ගීතය අපි සීරියස් විදිහට හිතලා කරපු නිර්මාණයක් නෙවේ. ඔය කොත්තමල්ලි ගෙන්නන මනුස්සයා පියල්ගේ හොඳ යාළුවෙක්. අමල් කියලා. මේක එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් අපි නිකං ගිහිල්ලා කියපු සිංදුවක්. ඊට පස්සේ මේක නිකං ජොලියට වගේ කරලා දැම්මා. එහෙම නැතිව හිතලා, මතලා මහන්සි වෙලා කරපු නිර්මාණයක් නෙවේ.

නමුත් ජනප්‍රිය වුණා?

හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අහම්බෙන් වුණත් රසිකයෝ ඒක පිළිගත්තා.

‘ලුණු දෙහි’, ඊළඟට ‘කොත්තමල්ලි’, දැන් මෙහෙම යන කොට සුනිල් පෙරේරා කුස්සියේ තියෙන සේරම කුළුබඩු ටික ඉවර කරයි ද දන්නේ නෑ?

නෑ . . නෑ . . නෑ . . ඔය අහම්බෙන් කෙරුණාට එක දෙයක් කියලා එහෙම යොමුවක් නැහැ. දැන් එන්න තියෙන ගීත ඊට වඩා වෙනස්. ලිංගිකත්වය හරහා නිර්මාණය වුණ ගීත, එතකොට මේ දාසය දෙනෙක් ද කොහෙද බැඳපු කෙනෙක් මේ ළඟදි අහු වුණේ. ඒ ගැන ගීතයක් තියෙනවා. අපේ රටේ ඉන්න හොරු, තක්කඩි ගැන කියැවෙන ගීතයක් අපි හැදුවා. ඒක ‘මගඩි රජා’ කියලා. ඒවා සේරම මේ සමාජයේම තියෙන දේවල්. පංගුවක් ගීත ලියනවා නෙවෙයි ලියවෙනවා.

‘ජිප්සීස්’ලා හාස්‍යයට, උපහාසයට වැඩිපුර කැමැති සංගීත කණ්ඩායමක්?

ඒක තමයි අපේ අනන්‍යතාවය. අපි හාස්‍යයට කැමැතියි. ආදර ගීත කිව්වා කියලා එදා මට ලොකු ආකර්ෂණයක් හිමි වුණෙත් නෑ. මම හිතන්නේ නෑ අද ඇති වෙයි කියලත්. එහෙම නම් තරුණ කාලේ තියෙන්න එපායැ. ගෑනු ළමයින්ට ගීත කිව්වා මම ඒ කාලේ.

මා සතුටෙන් බව, නිලුපුල් සුවඳ උරා, ඔබ දුටු ඒ මුල් දිනේ වගේ ළයාන්විත බොහොම ආදරණීය ගීත?

ඔව්. ඒත් ජිප්සීස්ලාට එහෙම ලොකු ආකර්ෂණයක් ඒ ගීතවලින් හිමි වුණේ නෑ. හැබැයි ‘නෝනේ මගේ සුදු නෝනේ’ කියපු ගමන් ඒකෙ අමුතු ගැම්මක් ඇති වුණා.

ඊට පස්සේ විවාහක ගැහැනුන්ගේ ආකර්ෂණය නම් ලැබෙන්න ඇති?

ඔය ඔක්කොම වුණා. දැනටත් ඉල්ලනවා ඒ ගීතය. තාම ඉතින් මම වෙඩින්ස්වලට ගියාම එහෙම ඔය සිංදුව කියනවා. නමුත් ජිප්සීස් අනන්‍යතාතවය තමයි උපහාසාත්මක බව.

මම හිතන්නේ ෆ්‍රෙඩී සිල්වාගෙන් පස්සේ මේ උපහාසාත්මක ගීත කලාව වෙනස් අයුරකින් ඉදිරියට ගෙනිච්චේ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම?

උපහාසයට මම ඉස්සර ඉඳන් හරි කැමැතියි. පාසල් සමයේ මම ගොඩක්ම රස වින්දේ ‘විනෝද සමය’. ඇනස්ලි, බර්ටි, සැමුවෙල් එතකොට ගැමුණු විජේසූරිය, මර්සි එදිරිසිංහ ඔය කට්ටිය කරපු දේවල් පොඩි කාලේ ඉඳන් ගුවන් විදුලියෙන් අහනවා. ‘දැන දැන වැරැදි කරනවා’ ගීතය මම කලේ ඒ අය සම්බන්ධ කරගෙන.

ඇයි ‘ජිප්සීස්’ලා විශේෂයෙන් එවැනි ගීත කලාවකට යොමු වුණේ?

එහෙම යොමු වෙනවා කියලා කියන්න බැහැ. ඒක ඉබේම පිහිටපු දෙයක්. දැන් මිල්ටන් මල්ලවාරච්චිට තිබුණේ ආදර ගීතවලට ගැළපෙන හඬක්. ඉතින් මට එහෙම එකක් තිබුණේ නෑ. මට තිබුණේ වෙනත් අනන්‍යතාවක්. එහෙම විශේෂ දක්ෂතාවයක් ජිප්සීස් බෑන්ඩ් එකටම තිබුණේ නෑ.

ඒත් සුපිරි ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා වරක් මා සමඟ පැවසුවා අපේ පොප් ගායකයන්ගෙන් Top of the List සුනිල් පෙරේරා කියලා?

ඩෙස්මන්ඩ් මා ඉතාමත් ප්‍රිය කරන ගායන ශිල්පියෙක්. මම විශ්වාස කරන විදිහට වේදිකාවේ ඔහු පර්ෆෝම් කරපු විදිහට ලං වෙන්නවත් කවුරුත් නැහැ. He is the Best Performing Artist in Sri Lanka. මම හිතන්නේ එහෙමයි. ඉතින් ඩෙස්මන්ඩ් ගේ මුවින් මා ගැන එහෙම ප්‍රකාශයක් කිරීම ගැන මම ආඩම්බර වෙනවා.

වර්තමාන ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කර තිබෙන්නේ දක්ෂ, තරුණ සංගීත කණ්ඩායම්. මේ ප්‍රවණාතාව නිසා ‘ජිප්සීස්’ ඉවතට විසි වුණාද?

ඔබ කතා කරන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාව ගැන නේද?

ඔව්?.

‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමට පමණක් තනියම ගිහින් ප්‍රසංගයක් කරන්න බැහැ. අපි යනවා නම් ඒක විශාල මුදලක්. අපිත් එක්ක යනවා ‘ලුණු දෙහි’ නටන අය. ‘පිටි කොටපන්’ නටන අය. හතළිහක විතර පිරිසක් අපේ කණ්ඩායමට අයිතියි. හොඳ ප්‍රසංගයක් අපිට කරන්න මේ පිරිස අවශ්‍ය වෙනවා. එහෙම නැතිව ගිහින් බාගෙට ප්‍රසංගයක් කරන්න ජිප්සීස්ලාට බෑ. ඉතින් කවුරු හරි එවැනි මහා පරිමාණයේ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඒකට සූදානම්.

තරු පහේ මංගල සාද, ප්‍රිය සම්භාෂණවලටත් ‘ජිප්සීස්’ සහභාගි වෙනවා?

ඔව්. වෙඩින්ස්, එතකොට ගෙට් ටු ගෙදර්, ස්ටාෆ් පාර්ටිවලටත් අපි යනවා. ඒ ජාතියේ ඒවායෙන් අපට තිබෙන වැඩ ප්‍රමාණය හොඳටම ඇති.

එවැනි අවස්ථාවක ඔබ නන්දා මාලිනියගේ ‘කප් සුවහස් කල්’ ගිතය ඇය ඉදිරිපිට ගායනා කළා. ඇය ඒ ගීතය රස විඳි ආකාරයත් මම දුටුවා?

ඔව් . . ඔව් . . කොහෙදිද අසංක ඒ?

නදිනි ප්‍රේමදාස ගේ වෙඩිං එකේ.?

හරි මට මතකයි. නන්ද මාලිනීගේ ගීත වගේම වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වගේ අයගේ ගීත ඒ අවස්ථාවට ගැළපෙන පරිදි ගායනා කරනවා. හැබැයි ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් නම් අපි ගායනා කරන්නේ අපේ ගීත පමණයි.

ඔබ වැනි ප්‍රවීණ ගායන ශිල්පියකු අනුන්ගේ ගීත ගායනා කිරීම හොඳයි කියලා හිතනවාද?

නෑ, හොඳයි නෙවේ. ඒ අවස්ථාවට උචිත දේ අපි කරන්නේ. ගීත තියෙනවනේ වෙඩින්ස්වල ගායනා කළ යුතු ගීත. ඉතිං ක්ලැරන්ස්ගේ ගීත අපි ගොඩක් ගායනා කරනවා. හැබැයි එහෙම වෙන වෙන අයගේ ගීත ගයන්නත් මම ආසයි.

සුනිල් අයියට දැන් වයස කීයද?

දැන් හැට තුන ලබනවා.

තරුණ ගෑනු ළමයි දැන් ‘අංකල්’ කියද්දී දුකක් එහෙම හිතෙනවද?

මට තියෙන්නේ සතුටක්. මට මිනිබිරියෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ දරුවෝ දෙන්නෙක් විවාහ වෙලා. මගේ මිනිබිරියො මට කියන්නේ සීයා. සුනිල් සීයා. ඒ ගැන මට තියෙන්නේ දුකක් නෙවේ. පුදුම සංතෝෂයක්. ආඩම්බරයක්.

ඒ නිසා දැන් ගෝරිවලට පැටලෙන්නෙත් නෑනේ. ඒකටත් ටිකක් බයයි?

ඔව්. ඉතින් ටික, ටික මම වයසට යනවානේ. එක පාරම කොන්ඩෙ සුදු වෙන්න ගන්නවා. ඒ විපර්යාසය මුලින්ම ඇති වෙන කොට ටිකක් බයක් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් යථාවබෝධය ඇති වෙනවා. ඒ ධර්මතාවෙන් ගැළවෙන්න බෑ කාටවත්. මහලු වීම මට සුන්දරයි.

මම හිතන්නේ සමාජයේ වැඩි අවධානයට ලක් නොවුණත් සුනිල් පෙරේරා කියන්නේ හොඳ නළුවෙක්. රන්ජන් රාමනායකගේ ‘ලීඩර්’ චිත්‍රපටය නරඹන කොට මට හිතුණේ ඔබට මදාවි චරිත රඟපාන්න පුළුවන් නියමෙට කියලා?

තාත්තාත් මට කිව්වේ උඹට වැඩිය ගැළපෙන්නේ රඟපෑම තමයි කියලා. නමුත් ඉතින් අවාසනාවකට වගේ මට එහෙම ලස්සන රූපයක් හෝ කඩවසම් පෙනුමක් තිබුණේ නෑ.

හැබැයි හොඳ පෞරුෂයක් තියෙනවා ඔබට?

ඒක කෙසේ වෙතත් මගේ කාලයේ මම නළුවෝ හැටියට දැක්කේ හැඩ රුව තියෙන, උස එහෙම උදවිය. මට තේරුණා මට එතැන කරණම් ගහන්න බෑ කියලා. ඉතින් මට එතැනට යන්න පොඩි බයක් තිබුණා. අපේ අයියා හරි ලස්සනයි. නිහාල්. එයා උසයි, සුදුයි. ජිප්සීස් සංගීත කණ්ඩයමෙන් ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය තිබුණේ එයාට තමයි. මට කවදාවත් තිබුණේ නෑ.

ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැද්ද එතකොට?

මොකද නැත්තේ. අයියට විතරක් එහෙම ආකර්ෂණයක් ලැබුණු එකට මගේ කැමැත්තක් තිබුණේ නෑ. නමුත් ඉතින් මොනවා කරන්නද? මම තමයි මුලන්ම ගායකයකු වුණෙත්. ඒත් මට ගෑනු ළමයි කැමැති වුණේ නෑ. හැබැයි අයියට නොලැබුණු ගොඩක් දේවල් මට ලැබුණා. ඒක තමයි අපි දැනගන්න ඕනෑ. හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ. හැබැයි මට ලැබිලා තියෙන දේවල් ගැන මම සෑහීමකට පත් වෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ කන්ටෙන්ට්මන්ට් කියලා. ණය නැතිනම් කාටවත් බයත් නෑ. හිත බොහොම නිස්කලංකයි.

‘ජිප්සීස්’ නිසා සුනිල් පෙරේරා ජනප්‍රිය වුණාද, සුනිල් පෙරේරා නිසා ‘ජිප්සීස්’ ජනප්‍රිය වුණාද?

නෑ . . . ජනප්‍රියත්වය මුලින්ම ලැබුණේ ජිප්සීස්ලාටනේ. ජිප්සීස් හරහා තමයි මම ආවේ.

පසුකාලීනව හැබැයි ජිප්සීස් අභිබවා සුනිල් පෙරේරා ඉස්මතු වෙනවා?

ඔව්. ඒ වුණාට මම ජිප්සීස් නිෂ්පාදනයක්. අදටත් තනියෙන් ගිහින් මොනවා කෙරුවත්, ජිප්සීස් කියන දේ තමයි මගේ අංක එක. සුනිල් පෙරේරා වැඩක් නෑ. සුනිල් පෙරේරා කියන්නේ තනි පුද්ගලයෙක් විතරයි. ජිප්සීස් කියන්නේ ටීම් එකක්. ඒකයි වටින්නේ.

හැබැයි ඒ කොහොම වුණත් ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ සොඳුරු ආඥාදායකයා ඔබ?

මම ඉතින් නායකයා. එහෙම වුණා කියලා නායකයා තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නඟා ගන්න ගියොත් අර කණ්ඩායම කඩා වැටෙනවා. ඉතින් මගේ මූලික ප්‍රයත්නය කණ්ඩායම පවත්වාගෙන යාම. දැන් ඉදිරියේදී ගෘහස්ත ප්‍රසංග කිහිපයක් B.M.I.C.H. එකේ වගේ පවත්වන්න අපි ප්ලෑන් කරගෙන යනවා. හැබැයි ඉතින් තව අලුත් ගීත හැදෙන්න ඕනෑ.

ඇයි ජිප්සීස්ලාට හොඳ ගීත එකතුවක් තියෙනවානේ?

පරණ ගීත කිව්වම මිනිසුන්ගේ අර උනන්දුව ටිකක් මදි වගේ. ඕක දැක්කා අපි, අලුතෙන් එකක් ආපුවාම ගැම්ම වැඩියි. ඒක අපිටම තේරෙනවා.දැන් එහෙම අලුත් ගීත හදාගෙන, හදාගෙන යනවා. ඉතිං ඊට පස්සෙ අපේ බලාපොරොත්තුවක් තියෙනවා ගෘහස්ත ප්‍රසංග වේදිකාවට එන්න. හැබැයි එළිමහන් ප්‍රසංග නම් නෙවෙයි. ඒක අපිට එළිවෙනකල් කරන්න බෑ.

ගීතයක් නිර්මාණය කරද්දී කීප දෙනකු එකතු කරගෙන තමයි ඔබ, ඔබට අවශ්‍ය දේ ලියවා ගන්නේ?

ඔව්, බේසික් එක අපි දැම්මට පස්සෙ. ඒ කියන්නේ අදහස, වස්තු බීජය ඇති වුණාට පස්සෙ කීප දෙනෙක් එකතු කරගන්නවා. කාගෙන් හරි කමක් නෑ. ඔයාගෙන් ලයින් එකක් ආවොත් ඒකත් ගන්නවා. එහෙම නැතුව එක පුද්ගලයකු මතම අපි යැපෙන්නෙ නෑ.

නමුත් ඒ නිසා කාලෙන් කාලෙට විවිධ ගැටුම්, අර්බුද පවා මතු වුණා නේද?

එක එක්කෙනා ‘මේක මම තමයි කළේ. වැඩියෙන් මමයි ලිව්වේ’ වගේ ප්‍රශ්න එක එක කාලෙදි මතු කළා, සමහර ගීතවලදී. ඒක ඉතින් මම දන්නේ නෑ ලංකාවේ එහෙම පොඩි, පොඩි දේවල්වලටත් ඝට්ටන ඇති වෙන ස්වරූපයක් තියෙන්නේ. මමම බේසික් එක ලියපු දෙයක් තමයි බොහෝ විට ගී පද වැලක් විදිහට වර්ධනය වුණේ. ඒකට තමයි මම කැමති. හිටපු ගමන් ගෙදර ඉන්න සර්වන්ට් බෝයිගෙන් එන්න පුළුවන් මරු ලයින් එකක්.

එහෙමත් අරන් තියෙනවා ඔබ....?

ඔව්, මේ කොහෙවත් යන කෙනෙක් ‘සුනිල් අයියා දාන්නකෝ මේ කෑල්ල’ කියලා කිව්වා කියමුකෝ. බලනකොට හරියටම හරි. ඒක කාගෙන්ද එන්නෙ කියන එක නෙවෙයි ප්‍රශ්නය. මට හිතෙනවා නම් ගැළපෙනවා කියලා ඒක මම ගන්නවා.

කොහොම වුණත් ගීත රචකයන් හතර දෙනෙකුට මාසික වැටුපක් ගෙවන ලංකාවේ එකම ගායකයා ඔබ?

කවුද කිව්වේ?

ඔබෙන් වැටුප් ලබන කෙනෙක්ම තමයි?

ඒ මොකද දන්නවාද? ඒක තමයි වාසනා ගුණය කියන්නේ. අපි මේ අදටත් ගිහින් සිංදු කියන්නේ ගීත රචනා කරලා දුන්න නිසානේ. එතකොට ඒ විදිහට යුතුකම් කෙරෙන්න ඕනෑ. දැනට ඔබ කිව්වා වගේ ගීත රචකයෝ හතර දෙනෙකුට මම මාසික වැටුපක් ගෙවනවා රුපියල් 10,000 බැගින්.

සමහරු කාලෙකින් ගීතයක් ලියලත් නෑ?

දැන් හේමසිරි හල්පිට මිය ගිහින්. ඒත් ඔහු වෙනුවෙන් තවම මාසෙකට රැපියල් 10,000 ක් මම දෙනවා. ඒක ලොකු මුදලක්. හතර දෙනෙක් කියන්නේ 40,000 ක්. හැබැයි ඉතින් ඒක අපිට කොහෙන් හරි ආපහු ලැබෙනවා. චන්ද්‍රදාස ප්‍රනාන්දු, මැක්සි ජයවීර, බයිලා සැන්ටි අනෙක් ශිල්පීන් තිදෙනායි. ඊට අමතරව චන්ද්‍රා දේවාදිත්‍ය ගේ පුතාටත් අවුරුද්දකට ගාණක් දෙනවා.

ගීත රචක චන්ද්‍රදාස ප්‍රනාන්දු මා සමඟ පැවසුවා ඔහු පැලඳ සිටින උපැස් යුවළ පවා අරගෙන දුන්නේ ඔබ කියා?

ඔවි, ඉතින් ඒවා අපි කරන්න ඕනෑ මෙයා. ඒ දේවල් කළේ නැත්නම් හොඳ නෑ. මෙච්චර අපිට ශක්තියක් දීපු මිනිස්සුන්ට අපි යුතුකම් ඉටු කරන්න ඕනෑ. මේ ලැබෙන දේවල් බෙදෙන්න ඕනෑ. එතකොට තමයි අනෙක් අය සතුටු වෙන්නේ. හල්පිට ගේ බිරියට තාම ගෙයක් නෑ. චන්ද්‍රදාසට තාම ගෙයක් නෑ. අපිට ආදායම් වැඩිවෙන කොට ඒ දෙන මුදල තවත් වැඩි කරන්න ඕනෑ. මේ මිනිස්සුන්ට ඒ ශක්තිය අපි දුන්නේ නැත්නම් අපිට ලැබෙන ශක්තිය අඩු වෙනවා. මා විශ්වාස කරන්නේ ඒ ආගම.

තමන්ගේ ගීතයක් තව කෙනෙක් ගායනා කළත් අවි අමෝරා ගන්නා යුගයක් මේක. හැබැයි ඔබ ජිප්සීස් ගීත වෙනත් ගායන ශිල්පීන්ට ගායනා කිරීමට නීතිමය අවසරය පවා ලබා දුන්නා?

මෙතැන පොඩි ක්‍රියාදාමයක් තියෙනවා. බොහොම පොඩි මුදලක් අපි අය කරන්නේ. නීත්‍යානුකූලව ඒ අයිතිය අරගෙන ඒක වෙනස් කරලා ගායනා කරන්න කියලයි මම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේම දේකුත් මේකට එකතු කරන්න. නෑ ෙමිවා අයිති මටමයි, කාටවත් දෙන්නේ නෑ කියලා තමන් සන්තකේ තියාගන්න නරකයි. එහෙම වුණොත් ශක්තිය අඩු වෙනවා. මගේ ගීතයක් වෙන කවුරු හරි ගායනා කරනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්.

වෙළෙඳ දැන්වීම් කලාවේත් සුනිල් පෙරේරා තවම වයස දහ අටේ, විස්සේ තරුණ ගැටව් එක්ක අඩව් අල්ලනවා?

ඇත්තම කතාව කිව්වොත් මම එහෙම ලුක් එකක් තියෙන කෙනෙක් නෙවෙයි. දැන් කොච්චර ලස්සන කොල්ලෝ ඉන්නවද? කොච්චර දක්‍ෂයො ඉන්නවාද? නමුත් වාසනා ගුණය නිසා මට ඒ අවස්ථාවත් ලැබුණා. නැතුව මේ හැකියාවටම නෙවෙයි.

කාලයක් සුනිල් පෙරේරා කියන්නේ තමන්ගේ මතය එළිපිටම ප්‍රකාශ කළ බොහොම විවාද සම්පන්න චරිතයක්. අද පොඩ්ඩක් නිහඬයි වගේ නේද?

අදත් එළිපිට කතා කරනවා. ආගමික ප්‍රශ්න ගැන, සමාජයේ තියෙන අකටයුතුකම් ගැන, මගේ අවංක අදහස් ප්‍රකාශ කරනවා. මේ සමාජ ක්‍රමය වැරදියි. මට ලැබෙනවා නම් කතා නොකර අපි ඉමු. ඒක හොඳ නෑ. මට කරදරයක් නෑ කියලා, මගෙ නෝනට, දරුවාට කරදරයක් නෑ කියලා ආත්මාර්ථකාමී වෙනවා නම් ඒක යුතු නෑ. මගේ පුතාට හොඳ ස්කෝලයක් තියෙනවා නම් ඔයාගේ පුතාටත් ඒකම තියෙන්න ඕනෑ. ඒත් අද එහෙම වෙන්නෙ නෑනේ.

එහෙම නොවෙන්නේ ඇයි?

‘අයි ඩෝන්ට් නෝ වයි’. එහෙම වෙන්නේ ඇයි.? එතකොට තමයි වෛරය ඇති වෙන්නේ. අසමානතාවය ඇති වෙන්නේ. ඒක වැරදියි. ඒක හොඳ ක්‍රමවේදයක් නෙවෙයි.

සුනිල් අයියා දැන් වෙනදාටත් වඩා ආගම දහමට නැඹුරුයි වගේ?

උපතින් මම කතෝලිකයෙක් වුණත්, අද වෙනකොට බුදු දහම ගැනත් මම බොහෝ දේ අධ්‍යයනය කරලා තිබෙනවා. අපේ ජීවිතවලට යහපත් දර්ශනයක් තමයි බුදුන් වහන්සේ වදාරා තිබෙන්නේ. අනෙක් ආගම් පවා එහෙමයි. ඒත් අද විවිධ ආගමිකයන් අතර ඇති වී තිබෙන්නේ පිළිකුලක් වගේ හැඟීමක්. වෛරයක්. පන්සලෙන්, පල්ලියෙන් කළ යුත්තේ මේ දේවල් නැති කිරීමයි. එහෙම නොවන නිසා තමයි අද ආගම් අතර මම දකින විදිහට මේ අසමගිකම් ඇති වෙලා තියෙන්නේ. ‘අපේ ආගම මේ අයට වඩා හොඳයි’. හැමෝම අද හිතන්නේ එහෙම. නමුත් ශාස්තෘන් වහන්සේලා පෙන්වා දුන්නේ සියලුම දෙනා සමානයි කියලා.

ඔබ ඔය කතා කරන්නේ කලකීරීමෙන්ද?

දැඩි කලකිරීමක් හිතට දැනෙනවා. මම මේ ප්‍රශ්න දිහා බලන්නේ සුනිල් පෙරේරා විදිහට නෙවෙයි. මේ රටේ පුරවැසියෙක් විදිහට. මිනිසා සාරධර්මවලින් පිරිහෙන කොට ස්වභාවික විපත් සිදුවෙනවා කියලා ආගමේ දහමේ කියලා තියෙනවා. අද ගංවතුර ගලනකොට තව තැනක නියඟය. තව තැනක නාය යෑම්. ස්වභාව ධර්මයා පවා අද කෝප වෙලා ඉන්නේ.

ඔබේ කලාවෙන් සමාජයට මෙහෙවරක් සිදුවුණා යැයි කියා ඔබ සිතනවාද?

එහෙම මෙහෙවරක් කරන්න හිතාගෙන අපි කිසි දෙයක් කළේ නෑ. එහෙම වෙලා තියෙනවද කියන්නත් මම දන්නේ නෑ. මොකද මම එහෙම විමර්ශනය කරන්න නොයන නිසා. මට දැනුණ දේ මම කළා. මෙහෙවරක් වුණාද ඒකෙන් හානියක් වුණාද කියන එක තීරණය කරන්න ඕනෑ ජනතාව.

රසිකයකු, පේ‍්‍රක්‍ෂකයකු හැටියට නෙවෙයි සුනිල් පෙරේරා ගේ පුතා හැටියට ඔබ ගයාන් ගැන සතුටු වෙනවද?

ගොඩක් සතුටු වෙනවා.

ඔහුගේ ගායන ශෛලිය ගැන?

ශෛලිය හින්දා නොවේ. එයා එයාගෙම දෙයක් කරපු නිසා. එයාම සිංදුව ලියාගෙන ඒකට තනුවක් නිර්මාණය කරගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට යාම ගැන මම සතුටු වෙනවා. එතකොට ඔහුගේම අනන්‍යතාවක් ගොඩ නැගෙනවානේ. නැත්නම් තාත්තගෙ ගීත කිය, කියා ඉන්න තාත්තගේ රාමුවෙම ඉන්න කෙනෙක් වෙනවා මිසක් එතනින් එහාට දෙයක් නෑ.

දැන් තාත්තගේ සිංදු මේ පුතා කියන එකක් නැතිද කවදාවත්ම?

නෑ...නෑ... පුතා කියන්නේ නෑ. එයාට ඕනෑ එයාගෙම දෙයක් කරලා එළියට එන්න මිසක් මගේ හරහා ජනපි‍්‍රය වෙන්න නෙවෙයි. එහෙම කිසිම බලාපොරොත්තුවක් එයාගේ නෑ.

හොඳයි ඔබතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අපට පොඩ්ඩක් කියන්න?

මගේ බිරිය තමයි සුන්දරම, ළඟම හිතවතිය.

සුනිල් අයියගේ පරණ දේවල් මතක් කරලා ගෝරි දාන්නේ නැද්ද?

කිසිම දවසක නෑ. මම අතින් වැරදි සිද්ධ වුණා ඇයට. ඒක තමයි මම කියන්නේ ඒකත් වාසනාවට. වෙන ගෑනියෙක් එහෙම වුණානම් මාව මෙලහකට ගෙදරින් පන්නලා. නමුත් අපි දෙන්නා තාම ඉන්නේ අද ඊයෙ බැන්දා වගේ බොහොම ළෙන්ගතුව. ඇය බෞද්ධ. මම විතරයි අපේ පවුලෙන් බෞද්ධ කෙනෙක් බැන්දෙ. මගෙ ලේලි මුස්ලිම්. ඒත් අපි බොහොම සමඟියෙන් ඉන්නවා.

ආගමික සහජීවනය?

දැන් ජේසුස් වහන්සේ ගේ රූපය ළඟින් බුද්ධ රූපයක් තිබ්බම කොච්චර ලස්සනද? මුස්ලිම් මොනවා හරි සංකේතයක් තිබ්බොත් ඊටත් ලස්සනයි. ඒ හැම දෙයක්ම අගය කිරීමෙන් තමන්ට ශක්තිය ලැබෙනවා. හැම දෙයක්ම අගය කරන්න, ඊට ගෞරව කරන්න අපි ඉගෙන ගන්න ඕනෑ.

අපි දන්නවා සුනිල් අයියා සොමියට බර, ජොලි පොරක් ඉස්සර ඉඳළම. දැන් ටිකක් තැන්පත් වෙලාද?

මම කොහොමත් විනෝදෙන්ම තමයි ඉන්නේ. ගෙදරත් එහෙමයි. බිරිය, දරුවො, ලේලි මේ හැමෝම එක්ක විහිළුවෙන් තමයි ඉන්නේ. ඒකත් ලොකු වාසනාවක්, පිනක්.

දැන් ඩ්රින්ක් එකක් එහෙම දාන්නේ නැතිද?

දානවා.. දානවා.. එහෙම තමයි ඉතිං.

දුම්පානය නම් නවත්තලා වගේ..?

අඩු කරගෙන තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රොනික් සිගරට් එක හින්දා. මේක කෘත්‍රිම සිගරට් එකක්. නිකොටින් නෑ.

කොච්චර වත් පොහොසත් කම් තිබුණත් ඔබ තාම ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ නැහැ?

හෑන්ඩ් ෆෝන් පාවිච්චි කළොත් ඒක මගේ නිදහසට බාධාවක්. ඉතින් මම ඔෆිස් එකක් දාලා තියෙන්නේ ඒකනේ. හදිසි පණිවිඩයක් නම් මම කොතැන හිටියත් ඒ පණිවිඩය මට ලැබෙනවා.

ඒ වුණාට ඔබ අපිට නම් කියනවා රීලෝඩ් දාන්න කියලා නේද?

මේ මොබයිල් එක අවශ්‍යයි සමහරක් උදවියට. ඇත්තටම අවශ්‍යයි. එහෙම අයට ඉතිං රී, ලෝඩුත් අවශ්‍යයිනේ.