වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න

දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න

එදා මෙදා ජනපි‍්‍රය ගීය ගැයූ සිසිර ප්‍රනාන්දු

ප්‍රසංගය අද B.M.I.C.H.

මා කුඩාකල ශ්‍රවණය කළ මේ ගීතය කාලයකට පසුව නැවතත් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවුණා. ඒ කුඩාකාලයේදී මේ ගීය ගැයූ ඔහුගේ ස්වරයෙන්ම. සිසිර ප්‍රනාන්දු කියන මීට වසර 30 කට පමණ පෙර මේ ගීතය ගැයූ ඒ කුඩා ළමයා දැන් වැඩිහිටියෙක්. අද 6.30 ට B.M.I.C.H. එකේදි ඔහු සූදානම් වෙන්නේ ‘අහස් වියන යට’ සී.ඩී පටය එළි දක්වන්න වගේම ප්‍රසංගයක් තබන්නයි.

‘දණ ගාද්දි ඇවිදින්නට’ ගීතය ගැයීමේ අවස්ථාව ඔබට හිමි වන්නේ කෙසේද?

ඒ කාලයේ ගුවන්විදුලියේ තිබුණු ළමා වැඩසටනට සහභාගි වුණේ මගේ තාත්තත් සමඟයි. ඔහු කුඩා කාලය්දීම මගේ දක්ෂතා හඳුනා ගත්තා. ඒ දක්ෂතා වර්ධනය කිරීමේ අදහසෙන් ඔහු මාව එකල තිබුණු ළමා වැඩසටහන්වලට සහභාගි කෙරෙව්වා. ඒ වනවිටත් ගුවන් විදුලියේ තිබුණු ළමා වැඩසටහනට මම ගීත කිහිපයක්ම ගයලා සිටියේ. ඒ අතරෙදියි හදිස්යේම වගේ මේ ගීතය ගයන්න ලැබෙන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් කියන ප්‍රවීණ ගේය පද රචකයාට කියා දහවල් කෑම කන අවස්ථාවේ ලියා ගත්ත මේ ගීතය එදිනම ගයන්නත් සිදු වෙනවා. ඒ වගේම ජනපි‍්‍රයත් වෙනවා. ඒ ගීතයේ ජනප්‍රිය බව එදා පටන් අද පම්පරාව දක්වාම විහිදී යනවා.

ළමා ගීත ගැයුවාට පස්සේ ඔබ බොහොම නිහඬයි. ඇයි ඒ?

කුඩා කාලයේ ගීත ගැයුවාට පස්සේ මගේ අවධානය යොමු වෙලා තිබුණේ අධ්‍යාපන කටයුතු වර්ධනයක් කර ගැනීමටයි. ඒ සඳහා මා වඩාත් මහන්සි වුණා. මේ නිසාම තාත්තාත් ගායනය, සංගීතය කටයුතු සඳහා මාව උනන්දු කරන අදහස අත හැරියා. පළමුව කළ යුත්තේ අනාගතය සාර්ථක කර ගැනීම බවයි එකල මා සිතුවේ. ඒ අනුව අද වන විට මම කටුනායක ගුවන් තොටුපලේ බහුජාතික සමාගමක කළමානාකරුවෙක් ලෙස සේවය කරනවා. ඒ නිසා මේ කාලය ඇතුළේ මගේ ගායනයේ නිහඬ බවක් තිබුණු බව සත්‍යයක්. කාලයක් තිබුණු ඒ නිහඬ බව බිඳින්නයි මා මේ සූදානම් වෙන්නේ.

එහි ඇරැයුම සනිටුහන් වන්නේ කුමන කාරණයක් ඔස්සේද?

රැකියාවේ කටයුතු කරගෙන ඉන්න අතරතුර හදිස්සියේම මට සුමනා ජයතිලක මහත්මිය කතා කළා. ඒ මේ ගීතය ‘හදමාමා‘වැඩ සටහනකට ගයන්නයි. ඒත් මා ඇගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ වැඩිහිටියෙක් වන මට, එදා හඬෙන්ම ගීතය ගයන්නට නොහැකි නිසයි. එත් ඈ අපූරු කතාවක් කිව්වා. ඒ කාලයේ ළමා ගීත ගයපු බොහෝ දෙනෙක් මේ වැඩසටහනට සහභාගි වන බවයි. වැඩසටහනට සහභාගි වීමත් සමඟ ලැබුණු ප්‍රතිචාර මා පුදුමයට පත් කළා. ඒ ලැබුණු ප්‍රතිචාරත් සමඟ මා ධෛර්යමත් වුණා. ඒ අනුවයි මා නැවත ගයන්නට පටන් ගන්නේ. එදා බෙහොම දෙනෙක්ගෙන් නැවත ගයන්න කියලා ආරාධනවක් ලැබුණත් ඊටත් වසර හත, අටකට පස්සෙයි මගේම කියලා ගීත කිහිපයක් ගයන්නේ. ඒ සියල්ල සිද්ධ වෙන්නේ යාඵවන්ගෙන් වගේම කලා ලොවේ සිටින හිතහොඳ බොහෝ දෙනෙකුගේ දිරිගැන්වීම නිසා.

‘අහස් වියන යට’ සී.ඩී. පටය පිළිබඳ යමක් කියමුද?

මෙහි ගීත 17ක් ඇතුළත් අලුත් ගීත කිහිපයක් වගේම මේ වනවිට රූපවාහිනියේ හා ගුවන් විදුලියේ ප්‍රචාරණය වුණු ගීත කිහිපයකුත් සී.ඩී. පටයට ඇතුළත් කළා. ‘දණ ගාද්දි ඇවිදින්නට’ ගීතයත් මේ සමඟම සී.ඩී පටයට ඇතුළත් වෙනවා. එහි නව සංගීත සංයෝජනය කළේ රෝහණ වීරසිංහ යි. එහි තනුවෙහි කිසිම වෙනසක් සිදුවුණේ නැහැ. ගීතය වර්තමානයට ගැළපෙන විදියට යම් පද කිහිපයක්ද වෙනස් වුණා. ඒ හැරෙන්නට වෙනත් කිසිම වෙනසක් සිදුවුණේ නැහැ. සී.ඩී පටයේ ගීත ලියා දුන්න සහ සංගීතයෙන් උදව් කළ රෝහණ වීරසිංහ, සුරේෂ් මාලියද්ද, මහින්ද බණ්ඩාර, බණ්ඩාර ඇහැළියගොඩ , බන්දුල නානායක්කාරවසම්, සනත් ප්‍රනාන්දු පියතුමා, තිස්සසිරි පෙරේරා, පුණ්‍යසිරි මහවත්ත, අමරසිරි පීරිස්

ආදී බොහෝ ප්‍රවීණ ශිල්පීන් සෑමදෙනාටම මා තුති පුද කරනවා. මා තනු නිර්මාණය කළ පද රචනා කළ ගීත කිහිපයක්ද මෙහි ඇතුළත් බවත් කිව යුතුයි.

දණ ගාද්දි ඇවිදින්නට“ ගීතය ශ්‍රාවකයන් අසා ඇත්තේ ඔබගේ කුඩාකාලයේ ස්වරයෙන්. වර්තමානයේදී ඒ ගීතය ඇසෙන ස්වරයත් සමඟ ශ්‍රාවකයන්ගේ සිත්වල යම් වෙනසක් සිදුවේවිද?

මේ ගීතය මා කුඩාකාලයේදී ගයද්දී ගැයුවේ එහි අර්ථය ගැන කිසිම හැඟීමෙන් නොවෙයි. ඒහෙත් අද වනවිට ඔබ අසන ගීතය මා ගයන්නේ ගීතයේ අර්ථය උද්දීපනය වනු අයුරෙන්. එහි සිදු වී තිබෙන අපුරු වෙනස මගේ ගීතවලට ආදරය කරන රසිකයන් බාර ගනීවි කියන අදහසෙයි මා ඉන්නේ.

ගායකයෙක් සංගීතය හැදෑරිය යුතුමද?

ගායනයේදී සංගීතය හැදෑරීම වැදගත් වෙන්නේ ගීතයක් ගායනා කරන්නේ කොහොමද කියන එක තමන්ටම දැනෙන්නයි. සහජ හැකියාවෙන් ගී ගයපු අය ඕනෑ තරම් අපේ ඉතිහාසයේ ඉන්නවා. ඒක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා මා හිතනවා. හැකියාවත් සමඟ සංගීතය පිළිබඳ දැනුම හොඳ ගායනයක ආරම්භයක්.

අද පැවැත්වෙන ප්‍රසංගය ගැන පැවසුවහොත්

මා මේ ප්‍රසංගය පවත් වන්නේ දිගු කාලයක නිහැඬියාවකින් පසුවයි. එදිනට ප්‍රසංගය සඳහා බොහෝ කලාකරුවන් පිරිසක් සහභාගි වේවි කියලා මා සිතනවා. ඒ වගේම මගේ ගීතවලට ආදරය කරන රසික - රසිකාවන් රැසකුත් සහභාගි වේවි. ප්‍රසංගය මෙහෙය වන්නේ මගේ මිතුරෙකු වුණු සමන් අතාවුදහෙට්ටියි. බොහොම සුන්දර ලෙස පැවැත් වෙන මේ ප්‍රසංගය නරඹන්න සියලු දෙනාටම මා ආරාධනා කරනවා.