වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




රොම්ලස් ගී ප්‍රසංගය 23 දා

රොම්ලස් ගී ප්‍රසංගය 23 දා

‘මල් පෙත්තක පන් හිඳකින්’, ‘ඇයි නාවේ මා සොයලා’ ආදී ජනප්‍රිය ගීත රැසක් ගැයූ ගායන ශිල්පී ජේ. ඒ. රොම්ලස් පෙරේරාගේ අඩ සියවසක සෞන්දර්ය චාරිකාව නිමිති කර ගනිමින් ඔහු ගයන රසාලිප්ත ගීතාවලියෙන් රස ගැන්වෙන ‘ඒක පුද්ගල ගී මියැසිය’ මේ මස 23 වැනිදා පස්වරු 6.00 ට පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

පිළියන්දල ගුණවර්ධන පදනමේ සාදර අනුග්‍රහයෙන් රස ගැන්වෙන මේ ගී මියැසියේදී රොම්ලස් ගායන ශිල්පියා ගැයූ ජනප්‍රිය ගීත 22 ක් පමණ ගායනා කිරීමට නියමිතය. මේ ප්‍රසංගයේ සංගීතය සපයන්නේ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයයි.

1960 දශකයේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රොම්ලස් පෙරේරා ශ්‍රාවකයන්ගේ හදවතෙහි ගී ගයා නොමැකෙන මතක සටහනක් තැබූවෙකි. එදා මෙදාතුර කැසට් පට හා ගී තැටි 20 කට පමණ තම මියුරු ස්වරය එක් කළ මොහු කලක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළේය. ‘කලියුග කාලේ’, ‘කවුද හරි’’, ‘ඉඳුනිල්’, ‘ඇමැතිකම’ යනාදී චිත්‍රපට කිහිපයකම පසුබිම් ගී ගැයූ මේ ගායන ශිල්පියාට දශක පහක් තිස්සේ ගුවන් විදුලියට කළ සේවය වෙනුවෙන් උපහාරයක් ද පිදිණි.

ඒ ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුගේ ජනප්‍රිය ගී 14 කින් සමන්විත ‘පැතුම් සමුදුරේ’ නම් ගී තැටියක් නිෂ්පාදනය කර එළි දැක්වීමෙනි. ඊට අමතරව කතරගම මහා දෙවොලේදී බැතිමතුන් රැසක් මධ්‍යයේදී රූපවාහිනියේ ‘හද රුඳි ගී’ වැඩසටහනට ඔහු ගැයූ ‘රුහුණු කතරගම කඳදෙව් සාමිනේ’ නම් ගීතය රූගත කෙරිණි. රොමිලස් ගැයූ ‘පැතුම් සමුදුරේ, ‘නීල ජලේ’ , ‘පැතුම්බර නෙත්’, ‘ නීලනුවන්’ යන ගීත ද රසිකයන්ගේ මතකයේ තැන්පත් වූ ගීත කිහිපයකි.