වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




රෙබෙකාගේ ජීවිතයේ අවසාන දවස් කිහිපය ගැන

රෙබෙකාගේ ජීවිතයේ අවසාන දවස් කිහිපය ගැන

විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායකගේ මතකය

ඇය මරණය පිළිබඳ දැනගෙන සිටියා

රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මිය ගියේ පසුගිය සතියෙහිය. ඒ පිළිකා රෝගයට ගොදුරු වීමෙනි. එලෙස පිළිකා රෝගය නිසා මිය ගිය කලාකරුවෝ රැසක් කලා ක්ෂේත්‍රයෙහි සිටිති. ඔවුන් සියලු දෙනා පිළිබඳ මනා අත්දැකීම් ඇති, කලාවට හිතැති කලා රසිකයෙක් මෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් වන මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත දිසානායක රෙබෙකා පිළිබඳත් පිළිකාවට ගොදුරු වුණු අනෙක් කලා ශිල්පීන් පිළිබඳත් සරසවියට සිය මතක ගෙනහර පෑවේ මෙසේයි.

* රෙබෙකාව ඔබට මුණ ගැසෙන්නේ කුමන කාලයකද?

රෙබෙකාගේ රඟපෑම මා මුලින්ම දකින්නේ ‘වෙද හාමිනේ’ කියන ටෙලි නාට්‍යයෙන්. මීට වසර හතකට පෙර ඒ කියන්නේ 2007 දී තමයි ඈ මුලින්ම ප්‍රතිකාර ගන්නට රෝහලට පැමිණෙන්නේ. ඒ මනෝහාරි හේවාවසම් සමඟින්. ඒත් ස්කෑන් කරලා බලද්දියි වැටහුණේ මේක ගැබ් ගෙල පිළිකාවක් බව. ඒ වනවිටත් පිළිකාව ඉවත් කිරීමේ කාලය ගෙවිලා තිබුණත් ඉක්මනටම ප්‍රතිකාර ආරම්භ කළා. ප්‍රතිකාරවලට පිළිකාව පැතිරීමේ වේගය අඩු වුණත්, දිගටම වගේ ඇයට අපි සායනයට පැමිණීමට නියම කළා. ඈ අපි කියූ අයුරෙන්ම ඒවාට සහභාගි වුණා. එසේ පැමිණෙන අතරතුර මාව මුණ ගැසිලා කතාබහ කරලා යන්නත් ඈ අමතක කරන්නේ නැහැ. මේ සියලු කටයුතු අතර කලා කටයුතුවල නියැළෙන්නටත් ඇයට බාධාවක් ඇති වුණේ නැහැ.

* මේ රෝග තත්ත්වය නැවතත් වර්ධනය වීම ඇරැඹෙන්නේ කුමන කාලයෙහිද?

මේ විදියට ඈ වසර හතක් හොඳට ඉඳලා නැවතත් රෝහල් ගත වෙන්නේ ගිය මාසයේදීයි. ඒ ඇගේ colostomy එක බ්ලොක් වීම නිසා. එය නිවැරැදි කිරීමෙන් පස්සේ නැවතත් ඇය හතේ වාට්ටුවට ඇතුළත් කරනු ලබන්නේ විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහායි. එහෙත් මෙවර විකිරණ ප්‍රතිකාරවලින් කිසිදු ප්‍රයෝජනයක් වුණේ නැති තරම්.

එහිදී අප අදහස් කළේ වෙනදා ගෙඩියක් මෙන් වර්ධනය වූ පිළිකාව විකිරණ ප්‍රතිකාර මඟින් විනාශ කළ හැකි වුණත් මෙවර එසේ නොවී ඒ අයුරෙන්ම තිබුණු බවයි. මේ නිසා කළ හැකි එකම කාර්ය වූයේ කීමෝ තෙරපි සඳහා යොමු කිරීමයි. ඒ මඟින් රෝගියා බොහෝ දුක් විඳින අතරම දෙනු ලබන ඖෂධ නිසා නිදිමතත්, වමනයත් දිගින් දිගටම පවතිනවා. ඇයටත් ඒ කාරණය පොදු වුණා. මේ ප්‍රතිකාර කරන අතරතුරේදියි ඈ මිය ගියා කියලා මට බදාදා (13 වැනිදා) අලුයම 2.30 ට පමණ හතේ වාට්ටුව බාර හෙදිය කතා කරලා කියන්නේ.

* රෙබෙකා තමාගේ රෝගය නැවතත් සුවපත් නොවන වගක් දැනගෙන සිටියාද?

මා මෙන්ම ඇයත් මේ රෝගය පිළිබඳ හොඳින් දැනගෙන සිටියා. ඒ වගේම මෙවර රෝහලට පැමිණියාට පස්සෙ මරණය ඉක්මන් වන බවත් ඇය දැනගෙන සිටියා. ඒ අතරයි ඇය වෙනුවෙන් කලාකරුවන් පිරිසක් බෝධි පූජාවක් පැවැත් වූයේ. කොහොම නමුත් මේ මාසෙ 08 වැනිදා මම ඇයගේ සුවදුක් බලන්නට වාට්ටුවට ගියා. ඒ මට සරසවිය පුවත්පතේ කර්තෘතුමා කතා කරලා සුවදුක් කොහොමද කියලා බලන්න කළ ඇරැයුමෙන්.

නිදියගෙන හිටිය රෙබෙකා එක්වරම අවදි වුණා. මම ඒ වාට්ටුව බාර ප්‍රධාන හෙදියක් සමඟ ඇගේ ටිකට් එක බැලුවා. ඒ වනවිට කිසිම දෙයක් කරන්න ඉඩක් ඉතිරිව තිබුණේ නැති නිසා මා ඈ සමඟ කතා කළා. ඈ ගැන සරසවිය පුවත්පතේ ගිය ලිපිය ගැන මම ඈට කිව්වා. ඒ ගැන ඈ දැනගෙන තිබුණේ නැති නිසා මගේ අතෙන්ම පත්තරය අරගෙන ඒකෙ රෙබෙකා ඔබට ඉක්මන් සුවය ලැබේවා කියලා ලියලා දුන්නා.

ඈ පත්තරය අතට ගත්තේ බොහොම සතුටෙන්. ඒ විතරක් නෙවෙයි ඈ පත්තරයේ ගිය ලිපිය මුල ඉඳලා අගටම කියෙව්වා. ඇයගේ ජීවිතයේ ගතවන අවසාන දවස් ටික නිසා ඇයට කුමක් කිව යුතුදැයි මා දස අතේ කල්පනා කළා. ඒත් සමඟම මා ඇගේ ආගම කුමක්දැයි විමසුවා. ඈ දුන් පිළිතුර වුණේ මගේ අම්මා නම් ක්‍රිස්තියානි, ඒත් මම බෞද්ධ කියලයි. ‘ඔබගේ රඟපෑම නිසා බොහෝ දෙනෙක් සතුටු වෙනවා. ඒක ඔබට ලොකු පිනක්’ කියලත් ඇයට පැවසූ මා තෙරුවන් සරණයි කියලත් කිව්වා. ඒත් එක්කම මම ඈට පැවසුවේ මම ඔයාව බලන්න ආවේ දොස්තර කෙනෙක් විදිහට නොවෙයි, ඔයාගේ කලා රසිකයෙක් විදිහට කියලයි. එවිට ඇගේ දෙනෙතට නැඟුනේ කඳුළු පොකුරක්. එහෙම කියලා මා ඇගෙන් අවසන් වතාවට සමුගත්තා.

* රෙබෙකාව පමණක් නොවේ ඔබට කලා ලොවේ බොහෝ දෙනෙකු මේ රෝහලේදී මුණ ගැසිලා තිබෙනවා නේද?

ඇත්තටම ඔව්, මොනිකා රුවන් පතිරණ, හෙන්රි ජයසේන, සුනිල් පතිරණ, එච්. ඒ. පෙරේරා, හෙන්රි කල්දේරා, ජනේශ් සිල්වා, සතිශ් පෙරේරා, ට්‍රිලීෂියා ගුණවර්ධන, සෝමපාල ධර්මපි‍්‍රය ආදී කලාකරුවන් රැසක් ඒ අතර සිටිනවා. විශේෂයෙන්ම කිවයුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ ඔවුන් මැරණු ආකාරය පිළිබඳයි. මොනිකා රුවන් පතිරණ මිය යන්නේ පිළිකාව මොළය දක්වා පැතිර යෑමෙන්. හෙන්රි ජයසේනට තිබුණේ බඩවැලේ පිළිකාවක්. නමුත් ඔහු එයින් නොවේ මිය ගියේ. එච්. ඒ. පෙරේරාට තිබුණේ ගලනාලයේ පිළිකාවක්. සතිශ් මිය ගියේ ලියුකේමියාවෙන් (බීලා නොවෙයි) ආදී විවිධ හේතු කාරක මඟින්. ඔවුන් සියලු දෙනාම මරණයට බිය වී සිටියේ නැහැ.

එමෙන්ම මේ අය සම්බන්ධ දෛවෝපගත සිදුවීම් රැසක් ද ඇතුළත් වන බවත් කිව යුතුයි. රෙබෙකා පිළිබඳ කිව්වොත් ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේ ඈ රඟපාන්නේ පිළිකා රෝගීන්ට බෙහෙත් දෙන වෛද්‍යවරියක් ලෙසයි. ඈ සැබෑ ජීවිතයේදී මිය යන්නේ පිළිකා රෝගයෙන්. එවැනිම දෛවෝපගත අනෙක් සිදුවීමට ඇතුළත් වෙන්නේ සෝමපාල ධර්මපි‍්‍රයයි.

ඔහුත් සමඟ ‘රේඛාව’ චිත්‍රපටයේ රඟපාන්නේ මරීටල් ප්‍රනාන්දුයි. සේන සහ අනුලා ලෙස රඟපාන මේ දෙදෙනාගෙන් අනුලා සැබෑ ජීවිතයේදී මිය යන්නෙත් ලියුකේමියාවෙන්. ඊට වසර විස්සකට පමණ පසු එහි සේන ලෙස රඟපෑ සෝමපාල ද මිය යනුයේ ලියුකේමියාවෙන් වීම අපූරු දෛවෝපගත සිදුවීම් ලෙසයි මම දකින්නේ. පිළිකාව කියන්නේ බෝවෙන රෝගයක් නොවන බවද ඔබ මතක තබා ගත යුතු කරුණක්. ඒ වගේම අදටත් පිළිකා රෝගයෙන් සුවවී සිටින බොහෝ දෙනෙක් කලා ලොවේ සිටින බවත් පැවසිය යුතුයි.

* කලා කරුවන්ට පිළිකා වැළදීමේ ප්‍රවණතාවක් තිබේදැයි කියා විමසුවහොත්?

පිළිකාවට ජනපි‍්‍රය, අප්‍රකට, උස්, පහත් බේද නැහැ. නමුත් ඒ කර්මාන්තයේදී ඇතිවන නරක පුරුදු පිළිකාවලට බලපාන්න පුළුවන්. පළමු වැනි කාරණය වෙන්නේ දුම්වැටියයි. දෙවැනි කාරණය මත්පැන්. තුන්වැනි කාරණය වැරදි ආහාර රටාවයි. සතර වැන්න වැරදි ලිංගික ක්‍රියාකාරකම් බවයි අපට පෙනෙන්නේ. මේ මා පවසන්නේ කිසිවකුත් සමඟ අහිතකින් නොව ඒ සියල්ලෙන් පරෙස්සම් වීම වැදගත් නිසයි. එහි දී ආහාර රටා පිළිබඳ කිව්වොත් රතුපාට මස් වර්ග, තෙල් සහිත ආහාර කෑම හා පලා වර්ග, එළවළු අඩුවෙන් කෑම මේ සඳහා හේතුවිය හැකියි. මත්පැන් අඩු කිරීමත්, දුම්වැටි නම් කොහෙත්ම එපා කියන කාරණයයි මා පවසන්නේ. වෘත්තිය අවධානමක් තිබෙන රැකියාවක් කරන සියල්ලන්ම එවැනි වැරදි කාරණවලින් වැළකීම මඟින් තමන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කර ගන්නවා සේම දිගු කලක් ජීවත් වීමටද වාසනාවන්ත වෙනු ඇතැයි මා සිතනවා.